කුඩා කණ්ඩායම් කුමන්ත්‍රණ අසාර්ථකයි | දිනමිණ


 

කුඩා කණ්ඩායම් කුමන්ත්‍රණ අසාර්ථකයි

චමීර ඇල්ලදෙණිය

ආණ්ඩුව පෙරැළීම සඳහා කුඩා කණ්ඩායම් සිදුකරන කුමන්ත්‍රණ සාර්ථක නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසීය.

කුමන්ත්‍රණ යනු බලය වෙනස් කිරීම සඳහා උචිත ක්‍රමයක් නොවන බවද පෙන්වා දුන් සිල්වා මහතා වහලුන් පිරිසකට ආණ්ඩුවක් පෙරැළීමට කිසිදු හැකියාවක් නොමැති බවද කීය.

ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය ‘ලෙනින් කියවමු’ යන මැයෙන් සම්මන්ත්‍රණයක් කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පසුගියදා (22) පැවැති උත්සවයට එක්වෙමින් ප්‍රධාන ලේකම්වරයා කියා සිටියේය.

පාර්ලිමේන්තුව උත්තරීතරයි කියන පුද්ගලයන්ම පාර්ලිමේන්තුවේ උත්තරීතරභාවය කෙළසමින් සිටින බව කී සිල්වා මහතා හැමදාමත් පාර්ලිමේන්තුවේ උත්තරීතරභාවය වම විසින් සුරක්ෂිත කර තිබෙන බවද පෙන්වා දුන්නේය.

ධනවාදී පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය හා පාර්ලිමේන්තුව භාවිතා කරන්නේ ඔවුන්ගේ වාසියට බව කී ප්‍රධාන ලේකම්වරයා ඔවුන්ට වාසි අවස්ථාවන්වල සෑම මාසයේම මැතිවරණ පවත්වන බවත් අාවාස කාලයේ මැතිවරණ කල්දාන බවත් කියා සිටියේය.

එහිදී ප්‍රධාන ලේකම්වරයා මෙසේද කීය.

පාර්ලිමේන්තුව උත්තරීතරයි. කතානායකතුමා ඊටත් වඩා උත්තරීතරයි. සෙංකෝලය අතිශය උත්තරීතරයි. නමුත් එසේ කියන අයම තමයි කතානායකට කුණුහරුපෙන් බැන්නේ. සෙංකෝලෙ කැඩුවා. පාර්ලිමේන්තුවේ පුටු කැඩුවා. වයර් ගැලෙව්වා. මේ දිනවල පාර්ලිමේන්තුවේ උත්තරීතරභාවය රැක ගන්න කටයුතු කළේ වමේ පක්ෂ වන අපියි. ධනවාදී පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය, පාර්ලිමේන්තුව භාවිතා කරන්නේ ඔවුන්ට වාසි සහගත ආකාරයටයි. මැතිවරණ වාසි කලයට සෑම මාසයකම මැතිවරණ පවත්වනවා. මහින්ද රාජපක්ෂ කළේ ඒකයි. මැතිවරණ හොඳ නැතිනම් මැතිවරණ කල් දානවා.මේ ආණ්ඩුව කරන්නේ ඒකයි. මේ දෙකම දැන් ප්‍රතික්ෂේප කළ යුතුයි. සමාජවාදී පාලනයක් ගෙන ආ යුතුයි. ඒ සඳහා කටයුතු කරන්න පුළුවන්. ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ වමේ සමාජවාදී පක්ෂවලට පමණයි.

රුසියාවේ ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් විප්ලවයට උරදුන් අසහාය නායක වී. අයි. ලෙනින්ගේ 95 වැනි සංවත්සරය නිමිත්තෙන් මේ සම්මන්ත්‍රණය සංවිධාන කර තිබූ අතර ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ කැඳවුම්කරු ලාල් කාන්ත මහතා ජනතා විමුක්ති ‌පෙරමුණේ ප්‍රධාන ‌ලේකම් ටිල්වින් සිල්වා මහතා ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගී වූහ.

නව අදහස දක්වන්න