තරුණ ජවයට ජීවය දෙන්න වෘත්තීය අධ්‍යාපනය ශක්තිමත් කරමු | දිනමිණ

තරුණ ජවයට ජීවය දෙන්න වෘත්තීය අධ්‍යාපනය ශක්තිමත් කරමු

ශ්‍රී ලාංකේයීය ජාතියේ අනාගතය සාර්ථකව ගොඩනැඟීම යනුවෙන් අදහස් කරනුයේ වෙන කිසිවකුත් නොව, අපේ දරු පරපුරේ ආර්ථික, සාමාජයික සෞභාග්‍ය උදාකිරීම වේ. මේ වනවිට ශ්‍රී ලාංකේයීය තරුණ පරපුරට සුරක්ෂිත රටක් උරුම වී තිබේද? යන්න විවාදාපන්න මාතෘකාවක් බවට පත් වී තිබේ.

එනමුත්! මේ විවාදාපන්න මාතෘකාව තවදුරටත් එකිනෙකාගේ පටු අදහස් උදහස් අතර දෝලනය කරමින් තබනවාට වඩා සැබැවින්ම මුල කී ලෙස අරුත් ගැන්වීම රජයේ අරමුණ වී තිබේ.

ඒ අනුව අප රටේ තරුණ පරපුර ව්‍යවසායකයන් ලෙස දිරිමත්කිරීමට වසර 2018 අයවැයෙන් රජය ඉලක්ක ගත වැඩපිළිවෙළක් හඳුන්වා දුන්නේ ය. මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා නීල - හරිත ආර්ථිකයක් ගොඩනැඟීමේ 2025 දැක්මට සමගාමීව මේ ජාතික වැඩපිළිවෙළ එළිදැක්වූවේ ය.

එම වැඩපිළිවෙළට අනුව අපේ රටේ තරුණ පිරිසට කිසිම අවස්ථාවක අපේක්ෂාභංගත්වයට පත්ව, කළකිරී ජීවිතය ගෙනයෑමට ඉඩ නොතැබීමට මූලිකකොට ගනු ලැබීය. ඒ අනුව වසර 13ක පාසැල් අධ්‍යාපනය අවසන් කළ වහාම තම කුසලතාවයන්ට ගැලැපෙන රැකියාවක් ලබා ගැනීමට සමාජයේ අවකාශ විවර කිරීමට මුල්තැන ලබා දුනි. ඊට අමතරව කිසිවෙකුගේවත් අතවැසියෙකු නොවී තම ජීවිතය සාර්ථකව ගොඩගැනීමට දක්ෂ, ඉදිරි දැක්මක් ඇති තරුණ පිරිසට අවශ්‍ය බලගැන්වීම නව වැඩපිළිවෙළ හරහා ලබා දුනි. ඒ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට රජය වසර 2018 අයවැයෙන් රුපියල්මිලියන 6000ක මුදලක් වෙන් කෙළේ ය.

අප රටේ තරුණ පරපුර රැකියා සඳහා සූදානම් කිරීමේ අරමු‍දලක් රුපියල් මිලියන 2500කින් ඇරඹීමටත්, යොවුන් සේනාංක වැඩසටහන සඳහා රුපියල් මිලියන 2000කුත්, තාක්ෂණික අධ්‍යාපනයට රුපියල් මිලියන 1000කුත්, අලුතින්ම විශ්වවිද්‍යාල කොලිජියක් කින්නියාවේ ඇරඹීමට රුපියල් මිලියන 50කුත් වෙන් කැරිණි.

‘එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා’ වැඩසටහන සාර්ථක කර ගැනීමට නම් මෙම ජාතික වැඩසටහනෙහි පාර්ශ්වකරුවන් ලෙස අප රටේ තරුණ තරුණියන් ඊට සහභාගී කරවීම අත්‍යවශ්‍ය වේ. කුමන සමාජ හා අධ්‍යාපන පසුබිමක පසු වුවද තම සහජ දක්ෂතාවයන් උපරිම ලෙස යොදා ගනිමින් සාර්ථකත්වයට ළඟාවීමට අපේ සියලු තරුණ ප්‍රජාවට සමාන අවස්ථා ලබා දීම සිදු කළ යුතුය.

වාර්ෂිකව උසස්පෙළ විභාගය සඳහා ලක්ෂ 3ක් පමණ පෙනී සිටින අතර ඔවුන්ගෙන් ජාතික විශ්වවිද්‍යාලවලට ඇතුලත් වන්නේ 30,000 ක් පමණි. ආර්ථික වශයෙන් සවිමත් පවුල්වල ළමයින් 10,000 ක් පමණ අධ්‍යාපනය සඳහා වාර්ෂිකව විදේශගත වෙනවා. තවත් 60,000 ක් පමණ රාජ්‍ය නොවන උපාධි පිරිනමන උසස් අධ්‍යාපන ආයතනවලට ඇතුලත් වේ.

ඒ අනුව, අපේක්ෂා භංගත්වයටත්, කලකිරීමටත් පත් වුණු විවිධ කුසලතා හා හැකියාවන් ඇති 200,000 ක් පමණ අපට ඉතිරි වේ. එසේ වුවද, අපගේ අධ්‍යාපන ක්‍රමයේ පවත්නා දැඩි බව සහ ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමට නොහැකිවීම මත සෑම සිසුවකු සතු අනන්‍ය හැකියාවන් හඳුනාගැනීමට හැකිවී නැත. පවත්නා ක්‍රමය අසමත් වී ඇති මුත් ශිෂ්‍යයා අසමත් වී නොමැත. රටේ සුභසිද්ධිය සඳහා බොහෝ තරුණ තරුණියන්ගේ සහජදක්ෂතාවයන් උපයෝගී කරගත හැකිය. එසේම, ඔවුන්ගේ අදහස් සහ ශක්තීන් ශ්‍රී ලංකාවේ සංවර්ධනය මෙහෙයවනු ලබන යාන්ත්‍රණය විය යුතුය. ඒ අනුව, රජයේ ක්‍රමෝපායන් පහත පරිදි වේ.

‘වසර 13ක අධ්‍යාපනය’ - සාමාන්‍ය පෙළ විභාගයේ දී කුමන විෂය ධාරාවකින් අධ්‍යාපනය ලබා ප්‍රතිඵලය කුමක් වුවද,වෘත්තීය හා නිපුණතා පුහුණුවට අවධානය යොමු කරමින් තරුණ ප්‍රජාවට වසර 13 ක අධ්‍යාපනයක් ලබාදීම තහවුරු කිරීම පිණිස ප්‍රාථමික හා ද්විතියික අධ්‍යාපනය සඳහා ආයෝජනය කිරීම.

‘ජාත්‍යන්තර තලයේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය’ - නවීන විෂයමාලා, පර්යේෂණ පහසුකම් සහ ප්‍රමිතිකරණය පිළිබඳව අවධානය යොමු කරමින් විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා ආයෝජනය කිරීම.

‘වෙළඳපලට යොමුවුන වෘත්තීය පුහුණුව’ - වෙළඳපල ඉලක්ක කළ උසස් තත්ත්වයේ පුහුණු පාඨමාලාවන් නිර්මාණය කිරීම සඳහා වෘත්තීය පුහුණු ආයතන සංවර්ධනය කිරීමට ආයෝජනය කිරීම.

‘එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා’ දැක්ම තුළ අපගේ තුන් වැදෑරුම් ප්‍රවේශය මගින් කිසිඳු යෞවනයෙකු අත් නොහැරෙනු ඇත.

රැකියා වෙළඳපොල මගින් අපේක්ෂා කරන කුසලතා නොමැතිවීම හේතුවෙන් තරුණ පරපුරට රැකියාවන් සොයා ගැනීම අපහසු වෙනවා. එම නිසා, තරුණ කණ්ඩායම් තුළින් පෞද්ගලික අංශය අපේක්ෂා කරනු ලබන විශේෂිත කුසලතා ඇතුලත් වන පරිදි මාස 3 සිට 6 දක්වා කාලයක පුහුණු පාඨමාලා ආරම්භ කිරීමට යෝජනා කොට ඇත. ඒ සඳහා ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යාංශය යටතේ පිහිටුවනු ලබන ‘රැකියා සඳහා සූදානම් කිරීමේ අරමුදලක්’ මගින් පහත කාර්යයන් වෙනුවෙන් මූල්‍ය පහසුකම් අප විසින් සපයනු ඇත. ඉදිරියේ දී හඳුන්වා දීමට නියමිත මෙවැනි පුහුණු පාඨමාලා සඳහා වැයවන පිරිවැය පුහුණුව ලබන කාලය තුළ මසකට රුපියල් 3,500 බැගින් වූ යැපුම් දීමනාවක් ගෙවීම සඳහා වැයවන පිරිවැය මාසික දීමනාවේ කොටසක් ලෙස රුපියල් 6,000ක් දක්වා මාස 6ක කාලයකට අදාළ පිරිවැය රජය දරනු ඇත. හවුල්කාර සේවා නියුක්තිකයා විසින් තවත් රුපියල් 10,000 ක දීමනාවක් ගෙවනු ඇත.

දැනටමත් යොවුන් සේනාංක මගින් පවත්වාගෙන යනු ලබන නිපුණතා සංවර්ධන පාඨමාලාවන් තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා රුපියල් මිලියන් 2,000 ක් වෙන් කරනු ලැබේ.

දැනටමත් රත්මලානේ හා කිළිනොච්චියේ පිහිටුවා ඇති සහ මාතර පිහිටුවීමට නියමිත ජර්මානු තාක්ෂණ විද්‍යාලයට අමතරව ස්විට්සර්ලන්ත සහ ජර්මන් රජයෙන් ලැබෙන තාක්ෂණික සහයෝගයෙන් මීළඟ වර්ෂ 3 ඇතුළත , තාක්ෂණික සහ වෘත්තීය පාසල් 5ක් බදුල්ල, මහනුවර, ත්‍රිකුණාමලය, රත්නපුර හා අනුරාධපුර නගරවල පිහිටුවනු ලැබේ. මෙම තාක්ෂණික පාසැල් මගින් සත්කාරක කළමනාකරණය, සිවිල්, විද්‍යුත් හා මෝටර් කාර්මික ඉංජිනේරු ආදී ක්ෂේත්‍රයන්හි ජාත්‍යන්තර මට්ටමේ පුහුණුවක් ලබාදෙනු ඇත.

තරුණ තරුණියන්ට උසස් පුහුණු අවස්ථා ඇති කිරීම සඳහා විශ්වවිද්‍යාල කොලිජියක් කින්නියාහි පිහිටුවනු ඇත.

අපගේ රජය විසින් ඉතිහාසයේ පෙර නොවූ විරූ මට්ටමේ,සම්පත් ප්‍රමාණයක් තරුණයන් බලගැන්වීම, සෞඛ්‍යය, අධ්‍යාපනය ඇතුළු සමාජ යටිතල පහසුකම් සඳහා වෙන්කර ඇත. 2018 වර්ෂයේදී රු.බිලියන 325 කට වැඩි මුදලක් වෘත්තීය අධ්‍යාපනය, උසස් අධ්‍යාපන සහ අධ්‍යාපනය සඳහා පමණක් වෙන් කර ඇත. අපගේ උපායමාර්ගය වනුයේ ඉදිකිරීම් සදහා වන ආයෝජනයන්ගෙන් ඉවත් වී, වඩාත් ගුණාත්මක වර්ධනයක් ඇති, වැඩි ප්‍රතිලාභ ලබාගැනීමට ඉවහල්වන තිරසාර උපාය මාර්ගවලට අවතීර්ණ වීමය.

වසරක අධ්‍යාපනය

සිසු රක්ෂණ ක්‍රමය හඳුන්වාදීම සහ ශිෂ්‍යයන් සඳහා ටැබ්ලට් පරිගණක ලබාදීමෙන් අප විසින් දුන් පොරොන්දු ඉටුකර ඇත. අතිගරු ජනාධිපතිතුමා සහ ගරු අගමැතිතුමා විවිධ අවස්ථාවලදී පැහැදිලිව ප්‍රකාශ කර ඇති පරිදි රටේ සංවර්ධන උපාය මාර්ගයන්හි ප්‍රධාන අංගයක් ලෙස අධ්‍යාපනය හඳුනාගෙන ඇත. එම නිසා කිසිඳු පැකිලීමකින් තොරව මේ සඳහා සම්පත් වෙන් කරනු ඇත. එම නිසා, වසර 13ක අධ්‍යාපනයක් ලබා දීමේ අරමුණ ඇතිව අධ්‍යාපනය සඳහා වන අයවැය ප්‍රතිපාදන ව්‍යූහගතකර ඇත. රට තුළ විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු සහ වෛද්‍ය උපාධිධාරීන් බිහිකිරීමේ ප්‍රතිශතය එසේ නොවන පාඨමාලාවලට වඩා වැඩිකිරීමේ අරමුණ පෙරදැරි කොටගෙන එවැනි ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙනු ඇත.

ප්‍රාථමික හා ද්වීතියික අධ්‍යාපනය ප්‍රතිසංස්කරණ සඳහා ඇති ප්‍රබල ඉල්ලුම සපුරාලීමේ පාර්ශ්වකරුවෙකු ලෙස ජාතික අධ්‍යාපන ආයතනය ප්‍රතිව්‍යූහගත කරනු ලැබේ. එම අරමුණුගත ප්‍රතිසංස්කරණවලට පහත කරුණු ඇතුලත්ය.

විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු, වෛද්‍ය විෂයයන් ඉගැන්වීමේ ක්‍රමවේදය වෙනස් කිරීම

උසස් පෙළ විෂයය සංයුතියෙහි යෝජිත වෙනස්කම් මගින් ‍තෝරාගන්නා උපාධි පාඨමාලාව තීරණය වන අතර එය විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු, වෛද්‍ය විෂයයන් සමඟ කලා විෂයයන් ඉගැන්වීමේ අදහස තහවුරු කරන ආකාරයට සකස් කරනු ඇත. මේ තුළින් ශිෂ්‍යයන්හට ගණිතය සමඟ සංගීතය, විද්‍යාව හා නාට්‍ය කලාව වැනි විෂයයන් ඉගෙනගැනීමේ අවස්ථාව සැලසෙනු ඇත. නූතන ඉල්ලුමට සරිලන ආකාරයට උසස් පෙළ ශිෂ්‍යයින් නිර්මාණය කිරීමේ හැකියාව මේ තුළින් ලැබේ. 13 වසරක අධ්‍යාපනය යන්නට ගැලපෙන පරිදි විභාග සහ ඇගයීම් ක්‍රමවේදය ද ප්‍රතිසංස්කරණය කරනු ඇත.

අවශ්‍යතාවයට ගැලපෙන පරිදි විෂයමාලාව ප්‍රතිසංස්කරණය කරන අතර ගණිත කට්ටල සැපයීම සහ ගණිතාගාර වැඩි දියුණු කිරීමට කටයුතු කෙරේ.

ශිෂ්‍යයන්ගේ නිපුණතා හා දැනුම පරීක්ෂා කිරීම තුළින් අපගේ අධ්‍යාපන ක්‍රමය අන්තර්ජාතික ප්‍රමිතීන් හා සැසඳීමට හැකිවන පරිදි අන්තර්ජාතික ශිෂ්‍ය ඇගයීම් ක්‍රමවේදයක් හඳුන්වා දෙනවා ඇත.

අනාගත රැකියා සඳහා අපගේ ශිෂ්‍යයන් සූදානම් කිරීම අරමුණු කර ගනිමින් පාසැල් විෂය මාලාව සඳහා ජාන විද්‍යාව, කේතකරණය, රොබෝ විද්‍යාව සහ නැනෝ තාක්ෂණය ඇතුලත් කරනු ලැබේ. ගුරුවරුන් සඳහා අඛණ්ඩ වෘත්තීය සංවර්ධන වැඩසටහන් තවදුරටත් ක්‍රියාත්මක කරනු ලැබේ. E පෙළපොත් සංවර්ධනයත් සමඟ ඩිජිටල්කරණයේ මෙහෙයුම තුළින් ‘ස්මාර්ට් පන්ති කාමර’ සංකල්පය තවදුරටත් ශක්තිමත් කෙරේ.

ඉංග්‍රීසි මාධ්‍ය ගුරුවරුන් පුහුණු කිරීම සඳහාම කැපවුණු මධ්‍යස්ථානයක් මහරගම ගුරු අධ්‍යාපන ආයතනය තුළ පිහිටුවනු ඇත. ජාතික අධ්‍යාපන ආයතනය සතු සම්පත් මෙම යෝජිත ඉංග්‍රීසි අධ්‍යාපනය සඳහා කැපවන මධ්‍යස්ථානය සඳහා ද යොදා ගැනීමට අපේක්ෂිතය.

විශේෂ අවශ්‍යතා ඇති ශිෂ්‍යයින් සඳහාවූ ගුරුවරුන් පුහුණු කිරීම තවදුරටත් ශක්තිමත් කෙරේ. මේ සඳහා හාපිටිගම හා අඩ්ඩාලච්චේන විද්‍යා පීඨවල විශේෂ අවශ්‍යතා පුහුණු පහසුකම් වැඩි දියුණු කෙරේ.

විද්‍යාපීඨ තුළ ඉගෙනුම ලබන ශිෂ්‍යයන් සඳහා දැනට ගෙවනු ලබන මාසික දීමනාව රුපියල් 3,500 සිට රුපියල් 5,000 ක උපරිමයක් දක්වා වැඩි කෙරේ.

ජාත්‍යන්තර මට්ටමේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය

විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා රජයේ ආයෝජනය දිගින් දිගටම වැඩි වුවද,විවිධ කඩාකප්පල්කාරී බලවේග විසින් අපගේ විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාවගේ දීප්තිමත් අනාගතය විනාශ කිරීමට කටයුතු කරනු ලැබීම කනගාටුවට කරුණකි. මා මෙය දකින්නේ අපගේ රටේ අනාගතය කප්පමක් ලෙස ගෙන කටයුතු කිරීමක් වශයෙනුයි. මෙම රජය අධිෂ්ඨාන කර තියෙනවා තරුණයන් සඳහා නව අවස්ථාන් විවෘත කිරීමට. ඒ වෙනුවෙන් තාක්ෂණික, ඉංජිනේරු,වෛද්‍ය සහ ‍තෝරාගත් කළමනාකරණ සහ සමාජවිද්‍යා උපාධි වැඩසටහන් සඳහා පසුගිය දෙවසර තුළ විශ්වවිද්‍යාලයට ඇතුලත් කරගත් ශිෂ්‍ය සංඛ්‍යාව සියයට 20කින් වැඩිකරනු ලැබ ඇත. එමෙන්ම විශ්වවිද්‍යාලවල භෞතික යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම ද කර ඇත.

මේ අන්දමට අප රටේ තරුණ පරපුරේ වෘත්තිය හැකියාවන්, කුසලතා ඉහළට ඔසවා ඔවුන්ගේ සේවා නිමැයුම බලගැන්වීම තුළ රටට නව ආදායම් උපයා ගැනීම රජයේ අරමුණයි. මානව සම්පත් ශ්‍රමයට ඉහළ වැටුපක් ඉන් ලැබෙනු ඇත. ඒ තුළ අප රට අනාගත සෞභාග්‍යයක් කරා ගමන් කරන අතර, ඒ ගමන කිසිවෙකුටත් නතර කළ නොහැකි එකක්දවනු ඇත.


නව අදහස දක්වන්න