මිනුවන්ගොඩ රෝහලට නවීනතම ගිලන් රථයක් | දිනමිණ

මිනුවන්ගොඩ රෝහලට නවීනතම ගිලන් රථයක්

ජීවිතයත් මරණයත් අතර සටනකට මැදිවී සිටින රෝගීන්ගේ ජීවිත ආරක්ෂා කර දීම සඳහා රුපියල් එක්කෝටි අසූ ලක්ෂයක් වටිනා පහසුකම් සහිත අංගසම්පූර්ණ නව තාක්ෂණයෙන් යුත් ගිලන්රථයක් මිනුවන්ගොඩ රජයේ රෝහලට පරිත්‍යාග කිරීම ඉඩම් සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එඩ්වඩ් ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකැරිණි.

සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ කඩිනම් සෞඛ්‍ය සේවාවක් ජනතාවට ලබාදීමේ වැඩසටහන යටතේ රුපියල් කෝටි 285ක වියදමකින් මධ්‍ය රජයේ රෝහල්වලට හා පළාත් සභා රෝහල්වලට අති නවීන ගිලන්රථ ලබාදීමේ වැඩසටහන යටතේ 2019. 01.18 දින මිනුවන්ගොඩ රෝහලේ ප්‍රධාන වෛද්‍ය අධිකාරී වෛද්‍ය සිසිර විජේසුන්දර මහතාට නියෝජ්‍ය ඇමැති එඩ්වඩ් ගුණසේකර මහතා විසින් බාරදෙන ලදී.

දිවයිනේ පිහිටි පළාත් සභා රෝහල්116ක්ද මධ්‍ය රජයේ රෝහල් 34කටද ආයුර්වේද රෝහල් 2කටද මෙම නවීන ගිලන් රථ ලබාදීමට සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා තීරණය කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් මෙම නවීන ගිලන්රථය ලබාගැනීමට හැකි වූ බවත් ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂා කිරීමේ රජයේ ප්‍රතිපත්තිය යටතේ මෙම ගිලන්රථය ලැබුණු බවත්, පොදු දේපොළක් වශයෙන් ආරක්ෂාකර ගෙන පවත්වාගෙන යා යුතු බවත් ගිලන්රථය ප්‍රධාන වෛද්‍ය නිලධාරී තුමාට බාරදුන් අවස්ථාවේදී ඉඩම් පාර්ලිමේන්තු හා ප්‍රතිසංස්කරණ කටයුතු නියෝජ්‍ය ඇමැති එඩ්වඩ් ගුණසේකර මහතා පැවසීය.

මෙහිදී නියෝජ්‍ය ඇමැතිවරයා මිනුවන්ගොඩ රෝහලේ වාට්ටු ඒකකයක් හා ලේ බැංකුව, ශල්‍යාගාරය ඇතුළු අංශ ගණනාවක් මිනුවන්ගොඩ රෝහලේ වෛද්‍ය අධිකාරී වෛද්‍ය සිසිර විජේසූරිය මහතා සමඟ නිරීක්ෂණය කළහ.

මෙම නිරීක්ෂණ චාරිකාවේදී අනාරක්ෂිතව වාට්ටු අංක 1, 2 කාන්තාවන් සඳහා වෙන්වූ වාට්ටු සංකීර්ණය වෛද්‍ය අධිකාරී වෛද්‍ය සිසිර විජේසූරිය මහතා විසින් නියෝජ්‍ය අමාත්‍යවරියගේ විශේෂ අවධානයට යොමු කරවමින් දැල් ආවරණ මගින් හෝ ආරක්ෂාව සැලසෙන පරිදි සකස් කිරීමේ අවශ්‍යතාවය පෙන්වා දුනි.

විශේෂයෙන් වකුගඩු රෝගීන්ගේ යහපත පිණිස දැනට තිබෙන නොමේරූ ළදරු අංශය පවත්වාගෙන යන වාට්ටු කාමරය රුධිර කාන්දු කරණය කිරීමේ ඒකකයක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවය නියෝජ්‍ය ඇමැතිවරියට ප්‍රධාන වෛද්‍ය සිසිර ‍විජේසුන්දර මහතා පෙන්වා දුන්නේය. දැනට එවැනි අංශයක් පවතින්නේ වතුපිටිවල හා කොළඹ පමණක් වීම ඊට හේතුවයි.

මේ වන විට ශල්‍යාගාරයේ විදුලිබල පද්ධතිය සක්‍රියව පවතින බවත් ප්‍රධාන වෛද්‍ය නිලධාරී සිසිර විජේසුන්දර මහතා මෙහිදී කියා සිටියේය.

මේ අවස්ථාවට මිනුවන්ගොඩ නගර සභාවේ විපක්ෂනායක ශ්‍රීමාල් මාරසිංහ (එ.ජා.ප) මහතා ඇතුළු නාගරික මන්ත්‍රීවරුන්ද මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ විපක්ෂනායක අජිත් ඩෙස්මන් සිල්වා (එ.ජා.ප) මහතා ඇතුළු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් බස්නාහිර පළාත් සභා මන්ත්‍රී චමින්ද සිල්වා මහතාත් එක්ව සිටියහ.

උඩුගම්පොළ සමූහ


නව අදහස දක්වන්න