ළමා නිවෙසින් පැනවිත් පාරේ රවුම් ගැසූ පොඩ්ඩා පොලිස් භාරයට | දිනමිණ


 

ළමා නිවෙසින් පැනවිත් පාරේ රවුම් ගැසූ පොඩ්ඩා පොලිස් භාරයට

ළමා රැඳවුම් මධ්‍යස්ථානයකින් පලායමින් සිටි බවට සැකකරන වයස අවුරුදු නමයක කුඩා දරුවකු අනුරාධපුර ශාන්ත ජෝශප් වටරවුම ආසන්නයේ අතරමංවී සිටියදී රථවාහන රාජකාරියේ නිරතවූ පොලිස් නිලධාරියකු විසින් පොලිස් බාරයට ගෙන වැඩිදුර පරික්ෂණ සඳහා මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයට බාර දුන්නේය.

අනුරාධපුර මූලස්ථාන පොලිසියේ රථවාහන අංශයේ සේවයේ නියුතු පොලිස් කොස්තාපල් 28222 ආර්.එස්.යූ.කුමාරසිංහ මහතා උදෑසන පාසල් රාජකාරිය නිමකර නැවත පොලිස්ථානයට පැමිණෙමින් සිටියදී අනාරක්ෂිත අන්දමින් ප්‍රධාන මාර්ගය ආසන්නයේ රැඳී සිටි දරුවකු පිළිබඳ අවධානය යොමුවී ඇති අතර ඒ මහතා දරුවා ගෙන් ප්‍රශ්න කළ අවස්ථාවේ තමන් අතරමංවී ඇති බව පැවසීම නිසා පොලිස්ථානයට රැගෙන ඒමට කටයුතු සිදුකර තිබිණි.

දරුවා පොලිස් ස්ථානයට රැගෙන ඒමෙන් අනතුරුව රථවාහන අංශයේ උප ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක පාලිත නිශ්ශංක මහතාට බාරදුන් අතර ඒ මහතා දරුවාගෙන් ප්‍රශ්න කිරීමට පෙර පොලිස් ස්ථානයේ ආපන ශාලව වෙත ගෙන ගොස් උදෑසන ආහාරය ලබාදීමට කටයුතු කළේය. පසුව දරුවාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී ඔහු කැකිරාව ප්‍රදේශයේ පදිංචිකරුවකු බව පැවසූ අතර මව තමන් හැරගොස් ඇති බවත් පියා නාවික හමුදාවේ කොළඹ පිහිටි කඳවුරක සේවය කරන බවත් පැවසුවේය.

අනුරාධපුර නගරයේ පාසලක ඉගෙනුම ලබන බව හා නම ඔහු විසින් පොලිසියට පැවසු අතර කුමන ස්ථානයක දැනට නවාතැන් ගෙන සිටින්නේද යන්න සම්බන්ධයෙන් බාලවයස්කරුගෙන් ප්‍රශ්න කරනු ලැබුවත් ඔහු ඒ පිළිබඳ හෙළි නොකළ අතර ළමා රැඳවුම් මධ්‍යස්ථානයක දරුවකු බවට පොලිසිය සැකපහල කළේය. දරුවා අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයට භාරදීමෙන් පසුව එහි ස්ථානාධිපති උප පොලිස් පරික්ෂිකා පී.යමුනා කාන්ති මෙනවිය විසින් දරුවා අනුරාධපුර නගර ආසන්නයේ පිහිටි ළමා රැදවුම් මධ්‍යස්ථානයක බව අනාවරණය කරගෙන තිබිණි.

රැදවුම් මධ්‍යස්ථානයේ පවතින යම් ගැටළුවක් හේතුවෙන් කුඩා දරුවා පලායාමට උත්සහක නිරත වන්නට ඇති බවට පොලිසිය සැකකරන අතර දරුවාගෙන් ප්‍රකාශ ලබාගෙන ඔහු අදාළ ආයතනයට බාරදීමට කටයුතු කරන බව පොලිසිය පැවසුවේය. අනුරාධපුර නගරය පිළිබඳව කිසිදු දැනීමක් නැති දරුවා යම් හෙයිකින් පොලිස් නිලධාරියාගේ ඇස නොගැටුනේ නම් අනතුරකට පත්වීමට ඉඩ තිබූ බව පොලිසිය පැවසුවේය.

අනුරාධපුර මධ්‍යම විශේෂ

නව අදහස දක්වන්න