සංගීතෙට ගල් ගසා යකා නැටූ ගැටවු 30ක් කොටු | දිනමිණ

සංගීතෙට ගල් ගසා යකා නැටූ ගැටවු 30ක් කොටු

බණ්ඩාරවෙල මහජන ක්‍රීඩාංගණයේදී පෙරේදා ( 23 ) රාත්‍රි පැවති සංගීත සංදර්ශනයක් අවසානයේදී සංගීත කණ්ඩායමට ගල් මුල්වලින් පහරදී වේදිකාව කඩා විනාශ කළ බව කියන ප්‍රේක්ෂක තරුණයන් තිස්දෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

ප්‍රදේශයේම තරුණයන් පිරිසක් දිවයිනේ ප්‍රසිද්ධ සංගීත කණ්ඩායමක් සමඟ ගායකයන් ගෙන්වා එම මහජන ක්‍රීඩාංගණයේදී මුදලට සංදර්ශනය පවත්වා තිබේ. සංගීත සංදර්ශනය එදින රාත්‍රි 8.30ට ආරම්භ කර රාත්‍රි 10ට අවසන් කිරීමට යාමේදී තවත් ගීත ගයන්නැයි කියා ඉල්ලීම් කළත් වාදකයන් හා ගායකයන් එය ප්‍රතික්ෂේප කිරීමත් සමඟ කුපිත වු ප්‍රේක්ෂකයන් ගල්, බෝතල්, පුටු, පොලු මුගුරුවලින් සංගීත කණ්ඩායමට හා වේදිකාවට ප්‍රහාර එල්ල කර තිබේ.

ප්‍රේක්ෂකයන් කළහකාරී ලෙස වේදිකාවට ප්‍රහාර එල්ල කරද්දී වේදිකාවේ සිටි වාදකයන් හා ගායකයන් දිවගොස් බේරී තිබෙන බව පොලීසිය කියයි. සිද්ධියෙන් කිහිප දෙනෙකු සුළු තුවාල ලබා ඇති බවත් සංගීත උපකරණවලට හානි සිදුවී වේදිකාව සම්පුර්ණයෙන්ම විනාශ වී තිබෙන බවත් පොලීසිය කියයි.

අත් අඩංගුවට ගත් සැකකරුවන් තිස්දෙනා බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

බණ්ඩාරවෙල ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන ජයතිලක මහතාගේ උපදෙස් මත නිලධාරීහූ පරීක්ෂණ පවත්වති.

ඌව පළාත් සමූහ ප්‍රසන්න පත්මසිරි


නව අදහස දක්වන්න