බුත්තල අනතුරින් කාන්තාවක් මරුට: එකම පවුලේ 5කට බරපතළයි | දිනමිණ

බුත්තල අනතුරින් කාන්තාවක් මරුට: එකම පවුලේ 5කට බරපතළයි

විවාහ මංගල්‍යයකට සහභාගිවී ආපසු යමින් සිටි එකම පවුලේ ඥතින් හය දෙනකු ගමන්ගත් සුඛෝපභෝගී වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ නුග ගසක වැදී සිදුවු අනතුරකින් විශ්‍රාමික හෙද නිලධාරිනියක මියගොස් තවත් පස් දෙනෙක් බරපතළ තුවාල ලැබූහ.

බුත්තල නගරය ආසන්නයේ පිහිටි හෝටලයක පැවැති විවාහ මංගල්‍යයකින් අනතුරුව ‍ගෝනගංආර ප්‍රදේශයේ පිහිටි මනමාලයාගේ නිවෙසට අ‍යකු බැස්සවීම සඳහා රැගෙන යමින් සිටින අතරතුර මේ අනතුර සිදුවී තිබේ.

බුත්තල කතරගම මාර්ගයේ කරවිල කොටුව ප්‍රදේශයේ දී පෙරේදා (23) සවස සිදුවූ රිය අනතුරකින් එම වෑන් රථයේ ගමන්ගත් හොරබොක්ක ඌව පැල්වත්ත ලිපිනයේ පදිංචි දිසානායක මුදියන්සේලාගේ නන්දාවති (61) නැමති විශ්‍රාමික හෙදියක මියගිය අතර මියගිය කාන්තාවගේ වැඩිමහල් සහෝදරිය වන කනවැරැල්ල, මාවුස්සාව, පස්සර පදිංචි ඩී. එම්. සිරියාවති (68), රියැදුරු වන හොරබොක්ක, ඌව පැල්වත්ත ලිපිනයේ පදිංචි දිසානායක මුදියන්සේලාගේ ජනිත් චන්දිමාල් දිසානායක (22) නැමති අය ද බරපතළ තුවාල ලබා තිබේ .

පී. බී. ලොකුබණ්ඩාර, පී. බී. දිසානායක නැමැති සහෝදරයන් දෙදෙනකු ද ,කනවැරැල්ල ,මාවුස්සාව ,පස්සර තැපැල් කාර්යාලයක සේවය කරනු ලබන එස්. එම්. වජිර නැමති අය තුවාල ලබා රෝහල් ගතකළ බව බුත්තල පොලිසිය පවසයි.

අධික වේගයෙන් පැමිණි මේ වෑන් රථය පාරන් ඉවතට පැන අසල තිබූ ගසක වැදී අනතුර සිදුවී ඇති බවත් එහි දී වෑන් රථයේ පිටුපස ඉහළට එසවී ඇති බවත් පිටුපස ආසනවල සිටි කාන්තාවන් දෙදෙනා ඉදිරිපස විදුරුවෙන් එළියට විසිවීමෙන් බරපතළ තුවාල ලබන්නට ඇති බවත් පොලිසිය සිදුකළ මූලික පරික්ෂණ වලදි අනාවරණය වි තිබේ.

මෙම අනතුර සම්බන්ධයෙන් බුත්තල පොලිස්ථානයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක චම්ලි පලිහේන මහතාගේ ප්‍රධානත්වයෙන් රථවාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක නවරත්න පොලිස් සැරයන් තිලකරත්න, පුෂ්පකුමාර, කොස්තාපල් සමන් ඇතුළු නිලධාරීහු පරීක්ෂණ සිදුකරති.

වැල්ලවාය විශේෂ ජී. අයි. ආර්. ගරුසිංහ


නව අදහස දක්වන්න