ජාතික වෙසක් උළෙල තොටගමුව පුරාණ රජ මහා විහාරයේ දී | දිනමිණ

ජාතික වෙසක් උළෙල තොටගමුව පුරාණ රජ මහා විහාරයේ දී

මෙවර ජාතික වෙසක් උත්සවය ගාල්ල දිස්ත්‍රික්කයේ තෙල්වත්ත තොටගමුව පුරාණ රජ මහා විහාරස්ථානය කේන්ද්‍ර කොට ගෙන ඉතා උසස් අන්දමින් පැවැත්වීමට බුද්ධ ශාසන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

මෙම උත්සවය සඳහා රජයේ සියලුම අමාත්‍යාංශවල සහයෝගය අපේක්ෂා කරන බව බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන ඇමති ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා පැවසීය.

තොටගමුව පුරාණ රජමහා විහාරස්ථානයෙහි පැවැති රැස්වීමකට සහභාගී වෙමින් ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය. දෙපාර්තමේන්තු නිලධාරීන් අරලියගහ මන්දිරයට කැඳවා උත්සවය සම්බන්ධයෙන් තවත් සාකච්ඡාවක් පවත්වන බවත්, උත්සවය සාර්ථක කර ගැනීම සඳහා එක් එක් අමාත්‍යාංශවලට පැවරෙන රාජකාරි පෙබරවාරි මස 5වැනි දා වන විට ආරම්භ කළ යුතු බවත් ඇමැතිවරයා කීය.

රාජ්‍ය අනුග්‍රහය ඇතිව ජාතික වෙසක් උත්සවයක් පැවැත්වීමෙන් රජය බලාපොරොත්තු වන්නෙ රටේ බෞද්ධ ප්‍රබෝධයක් ඇති කිරීම බවත්, එමගින් යහපත් සමාජයක් බිහි කරන්න අවස්ථාව උදාවන බවත් හෙතෙම කීවේය.

මහා සංඝයාවහන්සේගේ උපදෙස් හා අවවාද අනුශාසනා මේ වැදගත් කාර්යය සාර්ථක කර ගැනීමට විශේෂයෙන් ම අවශ්‍ය වන්නේ යැයි ද ඇමැතිවරයා පැවැසීය.

මෙම උත්සවයට සමඟාමීව තොටගමුව රත්පත් විහාරස්ථානයේ අඩුපාඩු සම්පූර්ණ කොට විහාරස්ථානය ප්‍රතිසංස්කරණ කිරීමටත්, එහි යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමටත්, ප්‍රදේශයේ විහාරස්ථාන පනස් නමයක් ප්‍රතිසංස්කරණය කිරීමටත්, ප්‍රදේශයේ දහම් පාසල් වැඩි දියුණු කිරීමටත් ජනාධිපතිවරයාගේත් අගමැතිවරයාගේත් සම්පූර්ණ සහාය ලැබෙන බව ඇමැතිවරයා පැවැසුවේය.

තෙල්වත්ත තොටගමුව පුරාණ රජමහා විහාරස්ථානායේ සම විහාරාධිපති රෑකඩහේනේ ඉන්ද්‍රසාර හිමියෝ කතා කරමින් තම විහාරස්ථානයේ ආරක්ෂාව තකා විහාරස්ථානය වටා තාප්පයක් ඉදි කිරීමටත් මෙම විහාරස්ථානය පූජා භූමියක් ලෙස නම් කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත්, ජාතික වෙසක් උත්සවය සාර්ථක කර ගැනීමට තමන් වහන්සෙලාගේ පූර්ණ සහාය ලබා දෙන බවත් පැවසූහ.

මෙම සාකච්ඡාවට රත්පත් රජමහා සම විහාරාධිපති පිටුවල බුද්ධසිරි හිමියන් ප්‍රධාන ප්‍රදේශයේ මහා සංඝයාවහන්සේ ද, අමාත්‍යවරුන්වන වජිර අබේවර්ධන, ගයන්ත කරුණාතිලක, බෞද්ධ කටයුතු පිළිබද කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම, ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ, පුරාවිද්‍යා කොමසාරිස් මණ්ඩලවත්ත යන මහත්වරු ද, ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන් ද, ත්‍රිවිධ හමුදා ප්‍රධානීන්ද ඇතුළු රාජ්‍ය නිධාරීන් විශාල පිරිසක් සහභාගී වූහ.

අම්බලන්ගොඩ සමූහ ආර්. ඤාණදාස

නව අදහස දක්වන්න