ශ්‍රී ලංකාව නැවත ලේ ගංගාවක් බවට පත් නොවන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් රටට අවශ්‍යයි | දිනමිණ

ශ්‍රී ලංකාව නැවත ලේ ගංගාවක් බවට පත් නොවන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් රටට අවශ්‍යයි

සමන්මලී ප්‍රියශාන්ති

ශ්‍රී ලංකාව නැවත ලේ ගංගාවක් බවට පත් නොවන ආකාරයෙන් ජාතික සංහිඳියාව, සමානාත්මතාවය, නීතියේ ආධිපත්‍යය මත පදනම් වු නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් රටට අවශ්‍ය කරන බව සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති එකමුතුවේ සමකැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා පැවැසීය.

ඒ මහතා මේ බව පැවසුවේ සාධාරණ සමාජයක් සඳහා වු ජාතික ව්‍යාපාරයේ කාර්යාලයේ දී ඊයේ (24) පැවැති මාධ්‍ය හමුවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ඒ මහතා මෙසේද කීවේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කිරීමට පත් කළ එක් කමිටුවක් විසින් සකස් කරන ලද යෝජනා පසුගිය දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් වුණා. මේ කමිටු යෝජනා අල්ල ගෙන විශාල මඩ ගැහිල්ලක් කරනවා. මහින්ද රාජපක්ෂ මහතා පසුගිය දා ඒ ගැන ඔහුගේ අදහස ඉදිරිපත් කළා. විමල්, ඩලස්, ගම්මන්පිල වැනි අයත් මේ යෝජනාවට එරෙහි ජනමතය අවුස්සන් හදනවා. විවිධ කාරණා කියමින් සිංහල බෞද්ධ ජනතාව අවුස්සනවා. මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය නිවේදනය එහි කූටප්‍රාප්තිය ලෙස දකිනවා. අපේ රටට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය බව එක්සත් ජාතික පක්ෂය පිළි ගෙන තිබෙනවා. මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාව සිටියදී එය පිළි ගෙන තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණත් එය ඉල්ලනවා. ටී.එන්.ඒ, මනෝ ගනේෂන්, ඩග්ලස් දේවානන්ද, රවුෆ් හකීම්, රිෂාඩ් බදියුදීන් වැනි සියලු කණ්ඩායම් අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඉල්ලා සිටිනවා. එසේ තිබියදී අද මේ යෝජනාවලට විරුද්ධ වෙමින් විවිධ මත ප්‍රකාශ කරන විපක්ෂයේ අයට අවශ්‍ය තමන්ට බලය ලබා ගැනීමේ දේශපාලන අවශ්‍යතාව ඉටු කර ගන්නට උත්සහ දැරීම පමණයි.

මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 19 වතාවක් සංශෝධනය වුණා. ඒ සියල්ල එක් කර අලුත් දේවල් ද එක් කර අපේ රටට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍යයි. අපේ රට 88, 89 කාලේ ලේ හැලුවා. දශක තුනක් ලේ හැලුවා. එවැනි ලේ ගංඟාවක් නැවත නොහලන්න නම් ජාතික සංහිඳියාව, සමානාත්මතාවය, නීතියේ ආධිපත්‍යය මත පදනම් වු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍යයි. නීතියේ ආධිපත්‍ය සමානාත්මතාවය නැති නිසයි 88-89 කාලේ ලේ හැලුවේ. ජාතීන් අතර සමානාත්මතාවය නැති නිසයි දශක තිහක් යුද්ධ කෙළේ.

මහින්ද රාජපක්ෂ මහතා සර්ව පාර්ශ්වික කමිටුවක් පත් කලා මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ සභාපතිත්වයෙන් යුක්තව. බලය බෙදන්න ඕනේ, ජාතික සංහිඳියාව මත පදනම් ව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගේනන ඕනේ, පළාත්වලට වෙනම ලයිස්තුවක්, මධ්‍යම පළාතට වෙනම ලයිස්තුවක් දෙන්න ඕනේ කියලා ඒ කමිටු වාර්තාවේ තිබෙනවා. එසේ තිබියදී මේ යෝජනාවලිය රට විනාශ කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කියලා කියනවා. සංඝයා වහන්සේලාගෙන් මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලීමක් කරනවා මේ ගැන මැදිහත් වෙන්න කියලා. ඒ නිසා ස්වාමීන් වහන්සේලා යොදා ගෙන 2020 දේශපාලන සිහිනය ව්‍යවස්ථාව මුලික කර ගන ජයග්‍රහණය කරන්න උත්සහ දරනවා. හින්දු පුවත්පත සමඟ පැවැති සාකච්ඡාවකදී මහින්ද රාජපක්ෂ කිව්වේ 13 ට එහා ගිය විසඳුමක් දෙන්න ඕනෙ කියලා. 13 කියන්නේ අර්ධ පෙඩරල් මට්ටමක් තිබෙන දෙයක්. මීට එහා කියන්නේ මොකක්ද, එසේ කියපු කෙනා අද කියනවා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරලා හාමුදුරුවන්ට ඇස් අරගෙන ඉන්න කියලා.

ඔරුමිත්ත නාඩු වචනය අල්ලගෙන බොරු ප්‍රචාර යනවා. විද්වත් කමිටුව තමයි මේ යෝජනා ඉදිරිපත් කළේ. ව්‍යවස්ථාව හදන්න මේ පාර්ලිමේන්තුවම කමිටුවක් බවට පත් කළා. ඒ ව්‍යවස්ථා සම්පාදන කමිටුවේ තව කමිටු 6 ක් පත් කළා. ඒ කමිටු හයට විෂයන් 6 ක් පැවරුවා. යෝජනා දෙන්න කිව්වා. තවත් අදහස් තිබෙන නිසා විද්වත් කමිටුවක් පත් කළේ. කමිටු හයක වාර්තා, විද්වත් කමිටු යෝජනා තිබෙනවා. මේ සියල්ල පාර්ලිමේන්තුව ඇතුළේ සාකච්ඡා කළ යුතුයි. මේ යෝජනා ගැන එසේ සාකච්ඡා කරන්න පුළුවන්කම තිබියදී හාමුදුරුවන්ට කියනවා අවධානයෙන් ඉන්න කියලා. නාමල් රාජපක්ෂ, ජෝන් සෙනවිරත්න, බන්දුල ගුණවර්ධන ඇතුළු මේ සියලු දෙනා කමිටුවේ ඉන්නවා. අවශ්‍ය යෝජනා දාලා අනවශ්‍ය දේවල් කපා දමලා අවසාන කෙටුම්පතක් සකස් කර ගන්න පුළුවන්. එය කැබිනට් අනුමැතියට දාලා පසුව නැවත පාර්ලිමේන්තුවට ගෙන්න අවශ්‍යයි. එය තුනෙන් දෙකෙන් සම්මත කරන්න ඕනේ. ඒ සඳහා 225 න් 150 ක් අවශ්‍යයි. පරාජය කරන්න අවශ්‍ය 76 ක් පමණයි. ඒකාබද්ධ විපක්ෂයේ 76 ට වැඩියෙන් ඉන්නවා. ඒ නිසා පාර්ලිමේන්තුවේ එය පරාජය කරන්න අවස්ථාව තිබෙනවා. එය ජයග්‍රහණය කළොත් ජනමත විචාරණයකට යනවා. එවිට තමයි ජනතාවට හොද නරක කියන්න පුළුවන් වෙන්නේ. පාර්ලිමේන්තුවේ අත් උත්සන්න ඒ අයට බැහැනේ. එසේ හැකියාව තිබියදී හාමුදුරුවරු අවුස්සමින් මේ රෙජිමය පරණ නාඩගම අලුත් විදිහකට රඟ දක්වමින් ඉන්නවා.

මේ අය රට ගැන හිතලාද කටයුතු කරන්නේ කියලා හිතෙනවා. සුදුසු ක්‍රියාවලියක් තිබෙනවා. ඒ අනුව කටයුතු නොකරන පාර්ලිමේන්තුවට ගෙනා විට ජනතාව අතරට ගෙන්න එපා.

දෙවන මන්ත්‍රණ සභාවක් ගැනත් මේ අය කියනවා. ඒකීය ලේබලය තිබියදී පෙඩරල් ගෙන එන්න පුළුවන්. හදිසි නීතිය දැම්මොත් අධිකරණ නියෝග ලබා ගෙන වළක්වන්න පුළුවන් වැනි දේවල් තමයි මේ අය කියන්නේ. සියලු පළාත්වලට සමානව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් වෙන්න ඕනේ. එහි වරදක් නැහැ. බලහත්කාරය නැතිව, සමානාත්මතාවය පදනම් කර ගෙන සහජීවන පදනම මත සිංහල, දෙමළ මිනිස්සු එකතු වෙලා තීරණ ගන්න කියලා කියන්නේ. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවෙන් පත් කරන එක නරක නැහැ. පාර්ලිමේන්තු ව්‍යවස්ථාදායකය ශක්තිමත් වෙනවා. . ජනාධිපති බලතල එක් පුද්ගයකුගේ අතට ගිහාම සිදු වන දේවල් ලංකාව වැනි රටවල් අත්විදිනවා.

ඒ නිසා පෙඩරල් කතා අපට අවශ්‍ය නැහැ. සාකච්ඡා කරලා කරන්න පුළුවන් උපරිමය රට වෙනුවෙන් කරන්න අවශ්‍යයි. මේ ගැන සද්භාවයෙන් කටයුතු කරන්න කියලා අපි ස්වාමීන් වහන්සේලාගෙන් ඉල්ලීමක් කරනවා. එමෙන්ම මෙය වෙනස් කර ගන්න ඉඩ තිබියදී වැරදි පියවර ගෙන ජනතාව අවුස්සන්න එපා කියලා රාජපක්ෂ පාර්ශවයේ සියලු දෙනාගෙන් ඉල්ලීමක් කරනවා.

මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර මහතා,

අද අලුතෙන් ජනතාව තමන්ගේ සාක්ෂරතාවය ව්‍යවස්ථාව කියවීමෙන් හොඳින් වර්ධනය කර ගෙන තිබෙනවා. එය රටේ හොඳ තත්ත්තවයක් වගේම එය වර්ධනය කර ගත යුතුයි. මේ රජයත් ඉක්මණින් විය යුතු දේවල් වෙන්න ඇරලා කරනවා. ඒවා කළ යුතු වෙලාවේ කළා නම් මේ තරම් ප්‍රශ්න එන්නේ නැහැ. මේ පක්ෂවල දේශපාලන අභිමතය මොකක්ද, ජාතිවාදය ඇවිස්සීමෙන් ජනබලය ගන්න හදන අය තිබෙන කාරණා සඟවා වෙනත් කාරණා මතු කරනවා. අපේ ව්‍යවස්ථාව දැනටත් පෙඩරල් තමයි. බලය බෙදා ගැනීම හරි හැටි කරලා නැති නිසයි පෙඩරල් නොවී තිබෙන්නේ.

ඒ නිසා අපි සතුරෙක් ලෙස පෙඩරල් වචනය දකින්නේ නැතිව වෙනත් වචනයක් හදා ගෙන කටයුතු කරනවා නම් හොඳයි. අපි දෙමළ වචන සිංහල භාවිතයට අරගෙන තිබෙනවා. නමුත් නමෝ නමෝ තායේ කිව්වාම බය වෙනවා. ඔරුමිත්ත නාඩු කිව්වාම බය වෙනවා. අද දකුණේ චීන භාෂාවෙන්, ඉංග්‍රීසි භාෂාවෙන් පෝස්ටර් ගහන්න පුළුවන්. නමුත් දෙමළෙන් ගැහුවොත් ප්‍රශ්න ඇති වෙනවා. අපි හැසිරෙන්නේ අපට දෙමළ සම්භවයක් නැති ගාණටයි.

යහපත් ප්‍රජානත්ත්‍රවාදයට අනුව කටයුතු නොකර ජාතිවාදය අවුස්සන්නට කටයුතු කිරීමේ ක්‍රමය වෙනස් කළ යුතුයි. දේශපාලනඥයා ව්‍යවස්ථාව හදන්නේ නැත්නම් ජනතාව එකතු වෙලා ව්‍යවස්ථාවක් හදන්න අවශ්‍යයි. ඒ සඳහා ක්‍රියාවලියක් අවශ්‍ය නම් ඕනෑ තරම් ක්‍රියාවලීන් තිබෙනවා.

ජාතික සාම මණ්ඩලයේ විධායක අධ්‍යක්ෂ ජෙහාන් පෙරේරා,

මේ ව්‍යපාරයේ අවශ්‍යතාව අපි දැක්කේ පසුගිය දින 56 ක කාලයේදීයි. එහිදී අප මැදහත් වුණේ ප්‍රජාතන්ත්‍රවාදය රකින්නයි. ඒ කාලේදී අපි දැක්කා අපි එක් රැස්වීමෙන් යම් ශක්තියක් ලැබුණා. අපිට එකිනෙකාගේ හොඳ අදහස් දැන ගන්න ලැබුණා. අපිට යම් හැකියාවක් තිබෙනවා ඇත්ත කතා කරන්නට. අපි ජනතාවගේ ඡන්ද ගන්න ඉන්න ඇය නොවෙයි. අපි බලන්නේ ප්‍රජාතන්ත්‍රවාදය, ජාතික ගැටලුවට විසඳුම, හොඳ දේ කියන්නයි. ඉදිරියේදී අර්බුද කාරී තත්ත්වයන් එනවා. ඒ අවස්ථාවල ජාතීන් අතර සාමය ඇති කරන්නට අපට යුතුකමක් තිබෙනවා. ඒ නිසා මේ ව්‍යාපාරයේ කොටස්කාරයෙක් ලෙස මා එක්වෙලා ඉන්නවා.

වික්‍රමබාහු කරුණාරත්න මහතා,

පාර්ලිමේන්තුව තුළ සහ ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය හරහා සාකච්ඡාවක් ගෙන යාමට අද කටයුතු යොදා තිබෙනවා. එහිදී ව්‍යවස්ථාදායක සභාවක් පත් වීමටත් එකඟත්වය පල වී තිබෙනවා. මහින්ද රාජපක්ෂ ඇතුළු කණ්ඩායම. එමෙන්ම ඒ අය එම මෙහෙයුම් කමිටු තුළ වැඩ කරලා තිබෙනවා. අද ව්‍යවස්ථාවක් සකස් කර ගැනීමේ ක්‍රියාවලිය එන විට ඒ අයට වලිප්පුව හැදිලා. ඒ සාකච්ඡාව කඩා කප්පල් කරලා එය එළියේ රණ්ඩුවක් බවට පත් කර ගන්නට ඒ අයට අවශ්‍ය වෙලා තිබෙනවා. ඔවුන් පරාජය අද බාර ගෙන ඉවරයි. ව්‍යවස්ථානුකූලව පාර්ලිමේන්තුව හරහා ගෙන යන මේ සාකච්ඡාව ගෙන ගියොත් ඒකට සහභාගී වුණොත් අවසානයේ දී බලය බෙදීම වඩාත් ශක්තිමත් කරලා ජාතීන් අතර සමඟිය ඇති කරලා, මානව අයිතිවාසිකම් පිළිබඳ වඩා ශක්තිමත් ලියවිල්ලක් මේකට ඇතුළත් කරන බව දන්නවා. මේ ක පරාජය කරන්න ඒ අයට හයිය නැහැ. පරාජය කරන්න තෝරා ගෙන තිබෙන ක්‍රමය තමයි විනාශය. අපි සියලු දෙනා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න ඉන්න කණ්ඩායමක්. මහින්ද රාජපක්ෂ කණ්ඩායමත් සමඟ මේකට අද විවිධ අය සම්බන්ධ වෙලා ඉන්නවා. දෙමළ අය අවි ආයුධ එකතු කරනවා කියලා කියනවා. මේවා ප්‍රචාරය කරන්න බාර ගත්ත මාධ්‍ය ඉන්නවා. මුස්ලිම් අය බෞද්ධ පිළිම කඩනවා කියනවා. ආරක්ෂක අංශ සොයා ගන්නත් කලින් පත්තරවල පළ වෙනවා. අද මෙය භයානක තත්ත්වයක්. අපේ රටේ සැබෑ නිදහස වෙනුවෙන් වැඩ කළ ලසන්ත, එක්නැලිගොඩ වෙනුවෙන් මේ අය කෑගහන්නේ නැහැ. ජාතිවාදය අවුස්සන දේවල් තමයි ඒ මාධ්‍යත් කරන්නේ. මේ නිසා භයානක තත්ත්වයක් රටේ තිබෙනවා. ව්‍යවස්ථාවක් රටට අවශ්‍යයි. ඒකාධිපති ව්‍යවස්ථාව එන විට මා ඊට විරුද්ධ වෙලා හිර ගෙදර උන්නේ. අපිට මේ ප්‍රශ්නය අදත් මේ විදිහට එද්දි එය නවත්වන්න අපට වගකීමක් තිබෙනවා.

මෙහිදී ආචාර්ය පී.සරවනමුත්තු, ජාතික සාම මණ්ඩලයේ ව්‍යාපෘති කළමනාකරු සමන් සෙනෙවිරත්න මහත්වරු ද කතා කළහ.

ඡායාරූපය - විමල් කරුණාතිලක


නව අදහස දක්වන්න