ලුණාව නිවාස ව්‍යාපෘතිය බලහත්කාරයෙන් අයිතිකර ගැනීමට ඉඩ නෑ | දිනමිණ

ලුණාව නිවාස ව්‍යාපෘතිය බලහත්කාරයෙන් අයිතිකර ගැනීමට ඉඩ නෑ

මොරටුව , ලූණාව බලප්‍රදේශයේ නිවාස ව්‍යාපෘතියේ නිවාස , අනවසරයෙන් සහ බලහත්කාරයෙන් අයිතිකර ගැනීමට කිසිසේත්ම ඉඩ නොතබන බව නිවාස , ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු ඇමැති සජිත් ප්‍රේමාදස මහතා පැවසී ය.

ඒ මහතා මේ බව පැවසුවේ සෙත්සිරිපාය නිවාස , ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ දී ඊයේ (24) පැවැති ශ්‍රව්‍යාබාධිත රජිත අසංක ක්‍රීඩකයා සඳහා අඟුලාන “සයුරුපුර “ මහල් නිවාස ව්‍යාපෘතිය මඟින් නිවසක් ප්‍රධානය කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීවේ ය.

එක්තරා කොටසක් මෙම සංවර්ධන ක්‍රියාදාමය බලා ඉන්නට බැරිව තැරව්කරුවෝ යොදවා බලහත්කාරයෙන් , ජඩ බලයෙන් නිවාස අත්පත් කර ගැනීමේ ක්‍රියාවලියක නිරත වෙනවා. මෙය මොරටුව ලූණාව බල ප්‍රදේශයේ සිදු කෙරෙමින් පවතිනවා.

සාමාන්‍ය මිනිහාට , පොඩි මිනිහාට දෙන්නට තිබෙන මෙම නිවාස රාජ්‍ය බලය තිබුණු කාලයේ දී රටේ සින්නක්කර අයිතිය තබාගෙන කටයුතු කල සමහර පුද්ගලයන් විසින් ඔවුන්ගේ ගෝලයෝ , නගරාධිපතිවරු , සභාපතිවරු යොදවා රජයේ මහල් නිවාස අමු අමුවේ කොල්ල කන්න හදනවා නම් රටට යන කළ මොකක් ද?

පොඩි මිනිහාට ලබා දීමට තිබෙන මහල් නිවාස සඳහාතැරැව්කරුවෝ යොදවා කරන මෙම නින්දිත ක්‍රියාදාමය හෙලා දකිනවා. රටේ ජනතාවට කියනවා මේ අයගේ සැබෑ මුහුණුවර දැන්වත් හඳුනාගන්න කියලා.

මේ වන විට ඒ සඳහා ආරක්ෂක ආංශ නිලධාරීන් යොදවා තිබෙනවා. මේ ආකාරයට අනවසරයෙන් , බලහත්කාරයෙන් නිවාස අයිතිකරගන්න හදනවා නම් එම ක්‍රියාවන්ට කිසිසේත් ම ඉඩ තියන්නේ නැහැ. ඒ අයව නීතිය හමුවට ගෙනැවිත් නීතිය ක්‍රියාත්මක කරන බව කියනවා.

මේ ආකාරයට නින්දිත ක්‍රියාකරන , හැසිරෙන ක්‍රමවේදය පරාජය කරන කාලය ඇවිත් තියෙනවා.

චන්දිමා කරුණාරත්න


නව අදහස දක්වන්න