පොලීසිය සක්‍රිය නොවීමෙන් රිය අනතුරු පාලනය කරන්න බෑ | දිනමිණ

පොලීසිය සක්‍රිය නොවීමෙන් රිය අනතුරු පාලනය කරන්න බෑ

නිමල් රාජපක්ෂ

රථවාහන වැරදි සඳහා කොතෙක් නීති ගෙනාවත් පොලීසිය සක්‍රිය නොවීම නිසා රිය අනතුරු පාලනය කළ නොහැකි බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

දැනට තිබෙන නීතිවල සුළු සංශෝධනයක් කළ යුතු බවත් ,වැරදි කරන රියැදුරන් නීතියේ රැහැනට ගැනීම සඳහා අවශ්‍ය උපකරණ භාවිතා නොකිරීම කනගාටුවට කරුණක් බවද කීය.

පොලීසිය අනිවාර්යයෙන්ම බීමත් රියැදුරන් නීතියේ රැහැනට ගත යුතුවුවත් මේ වන විට එම ක්‍රියාවලිය නිසියාකාර සිදු නොවීම නිසා රිය අනතුරු බහුලව සිදු වෙනවා.අධික වේගය ,වමෙන් ඉස්සර කිරීම ,දුම්රිය හරස් මාර්ගවල ගේට්ටු වසා තිබියදී ඒ හරහා ධාවනය කරන්නන්ට විරුද්ධව දැඩී නීති ක්‍රියාත්මක කළ යුතුය.

නමුත් බීමත් රියැදුරන් කොටු කරගැනීමට උපකරණ තිබුණත් හෙරොයින් ,ගංජා වැනි මත්ද්‍රව්‍ය භාවිතා කළ අය කොටු කරගැනීමට මෙතෙක් උපකරණ භාවිතා නොකිරීම බොහෝ අනතුරුවලට මුලික සාධකයකි.

මීට පෙරද රථවාහන වැරදි හයක් සඳහා දැඩි දඩුවම් පමුණුවන ලෙස ඉල්ලා සිටියත් එවකට වැඩිකළ දඩ මුදල පැවැති රජයන් මගින් ඉවත් කර ගැනිණි.

අධික වේග සීමා වර්ග කර දඩ පැනවිය යුතුය.ඒ වගේම තිබෙන නීති ප්‍රමාණවත් වුවත් රියැදුරන් නිතර නිතර වැරදි කරන බැවින් රථ වාහන සඳහා දැඩි දඩුවම් පැමිණවිය යුතු බව තම සංගමයද කැමැත්ත ප්‍රකාශ කරයි.මෙහිදි වේග සීමා වර්ග කර පැයට කිලෝමිටර් 80-90-100 යන ආකාරයට වර්ග කර ඒ සඳහා පනවන දඩ මුදල වේගය අනුව කාණ්ඩවලට බෙදා දඩ මුදල් අයකළ යුතුය. වැරදි කරන බොහෝ රියැදුරන් නීතියේ රැහැනට ගැනීම සඳහා කැමරා පද්ධති සවිකළ යුතුය .එසේ නොකර දඩ මුදල් පමණක් වැඩි කිරීමෙන් අහිංසක රියැදුරන්ටද මේ දඩමුදලට යොමු වන බැවින් පොලීසිය නිසියාකාර සක්‍රීය කරන්නේ නම් රිය අනතුරු අවම කර වීනීත රියැදුරන් පිරිසක් බිහිකළ හැකි බවද ගැමුණු විජේරත්න මහතා පැවසීය.


නව අදහස දක්වන්න