උතුරු නැඟෙනහිර ජනතාවට නිවාස දස දහසක් ඉදිකිරීමේ ව්‍යාපෘතියක් | දිනමිණ

උතුරු නැඟෙනහිර ජනතාවට නිවාස දස දහසක් ඉදිකිරීමේ ව්‍යාපෘතියක්

සිතාරා සේනානි

ආරක්ෂක හමුදා භාරයේ පවතින උතුරු නැඟෙනහිර ජනතාව සතු ඉඩම් යළි ඔවුන් වෙත පැවරීම සම්බන්ධයෙන් නොපමාව කටයුතු කරන බවටත් ඒ ජනතාව වෙනුවෙන් නිවාස දස දහසක් ඉදිකිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන බවටත්, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තම සංවිධානයට දැනුම් දුන් බව

ඉඩම් අයිතිය සඳහා ජනතා සන්ධානය වෙත පසුගියදා (22) එම සන්ධානයේ සාමාජික සඳුන් කුඩුගල මහතා පවසයි.

නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශය මේ වාර්තාව සැකසීමේදී උතුරු නැඟෙනහිර ආරක්ෂක හමුදාවල අදහස් ද සැලකිල්ලට ගනු ඇති බවට අගමැතිවරයා මෙහිදී සඳහන් කළ බවත් සඳුන් කුඩුගල මහතා කියයි.

උතුරේ ජනතාගේ මේ ඉඩම් ගැටලුව සම්බන්ධයෙන්, ඉඩම් අයිතිය සඳහා ජනතා ව්‍යාපාරයේ නියෝජිතයන් පිරිසක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අගමැතිවරයා පෙරේදා හමුවී පැවැත්වූ සාකච්ඡාවේදී මේ බව ප්‍රකාශ කළ බවද ඒ මහතා සඳහන් කරයි. එම සාකච්ඡාවට උතුරේ ඉඩම් අහිමි ජනතාවගේ නියෝජිතයන් කිහිපදෙනකු ද සහභාගි වූ බවත් ඒ මහතා පවසයි.

සඳුන් කුඩුගල මහතා මේ බව පැවසුවේ ඉඩම් අයිතිය සඳහා ජනතා ව්‍යාපාරය කොළඹ සමාජය හා සාමයික කේන්ද්‍රයේදී පසුගියදා (22) පැවැති මාධ්‍ය හමුවේදීය.

ඒ මහතා එහිදී මෙසේ ද පැවසීය.

ආරක්ෂක හමුදා පවරා ගෙන ඇති ඉඩම් නැවත එම ජනතාව වෙත ලබා දෙන බව යහපාලන ආණ්ඩුව බලයට පත්වූ පසු ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් ප්‍රකාශ කළා. මේ ඉඩම් ඒ ජනතාව පාරම්පරිකව බුක්ති විඳි ඉඩම්. ඉඩම්වලින් යම් ප්‍රමාණයක් මේ වනවිට ජනතාව වෙත නැවත පවරා දී ඇතත්, තවමත් පවරා නොමැති ඉඩම් විශාල ප්‍රමාණයක් තිබෙනවා. කෙප්පාපිලව් ප්‍රදේශයේ ජනතාවගේ ඉඩම් තවමත් ලබා දී නෑ. මේ නිසා තම ජීවනෝපාය මාර්ග අහිමිවීමෙන් ඔවුන් විශාල ගැටලුවකට මුහුණ දී තිබෙනවා. ඒ ජනතාව තමන්ගේ ඉඩම් ඉල්ලා උද්ඝෝෂණ ගණනාවක් කළා. අදට (25) පෙර මුලතිව් දිස්ත්‍රික්කයේ මෙවැනි ඉඩම් යළි ඒවායේ අයිතිකරුවන්ට පවරා දෙන බවට දිසාපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා. මේ ජනතාව අරගල කරන්නේ තමන්ගේ ඉඩම් අයිතිය වෙනුවෙනුයි.

ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ සාමාජික පරිසරවේදී සජීව චාමිකර මහතා -

යුද්ධයෙන් පසු සංවර්ධන කටයුතු මුවාවෙන් උතුරු නැඟෙනහිර ජනතාව සතු ඉඩම් රජයට ලබා ගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බව කීය. ආරක්ෂක අංශවලට අමතරව රජයේ ඇතැම් ආයතන ද යුද්ධයෙන් පසු උතුරේ ජනතාව සතු ඉඩම් විවිධ ව්‍යාපෘති සඳහා පරිහරණය කරමින් සිටින බවත් සඳහන් කළේය.

තම ඉඩම් අහිමිව ඇති කෙප්පාපිලව් ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් මේ අවස්ථාවට එක්වූ එම ප්‍රදේශයේ කාන්තාවන් දෙදෙනකු අදහස් දක්වමින් තමන් ඉල්ලා සිටින්නේ වෙනත් කාගේවත් ඉඩම් නොව තමන්ට අයිති ඉඩම් පමණක් යැයි පැවසූහ. ඒවා තමන් වෙත ලබා නොදෙන්නේ නම් එම ඉඩම් වෙත බලහත්කාරයෙන් ඇතුළු වී පදිංචිවීමට තමන් මේ වනවිට තීරණය කර ඇති බවද ඔවුහු පැවසූහ.

ඉඩම් අයිතිය සඳහා ජනතා සන්ධානයේ සාමාජික ඇන්ටන් ජේසුදාසන් මහතා ද අදහස් දැක්වීය.

ඡායාරූපය- රංජිත් අසංක

 


නව අදහස දක්වන්න