ඇම්බැක්කේ උත්තරානන්ද නාහිමිට මහෝපාධ්‍ය තනතුරක් | දිනමිණ


 

ඇම්බැක්කේ උත්තරානන්ද නාහිමිට මහෝපාධ්‍ය තනතුරක්

දරුවන් හත් දෙනෙකුගෙන් යුතු පවුලක හතරවෙනි දරුවා ලෙස උපන් උත්තරානන්ද නාහිමිට කුඩා කල සිටම සසුන්ගත වීමේ මහත් ඕනෑකමක් තිබුණි.

උඩුනුවර ඇම්බැක්කේ ඒ.එම්.උක්කුබණ්ඩා හා ඒ.එම්.බණ්ඩාර මැණිකේ යන දෙපළට ද මවුපියන් වශයෙන් ඒ වුවමනාව තදින්ම තිබුණි.

ඒ අනුව,උඩුනුවර රංගම විදුහලේ හත්වැනි ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබමින් සිටියදී මවුපියන් විසින් 1959.10.30 දින තෙලබුගල විහාරාධිපති අපවත් වී වදාළ ශ්‍රී ලංකා මූලික රාමඤ්ඤ නිකායේ මහානායක නිකපිටියේ විමලවංශ නාහිමියන් වෙත සසුන්ගත කිරීමට භාරදෙන ලදී.

ඉන්පසු ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ ලේඛකාධිකාරි කහවන්දල පඤ්ඤාවංශ නාහිමිගේ අවවාද අනුශාසනා මත බණ දහම් පාඩම් කරමින් 1960.06.27 වැනි දින ඇම්බැක්කේ උත්තරානන්ද නමින් පැවිදි දිවියට ඇතුළත් විය.

උන්වහන්සේ නිකපිටියේ විමලවංශ,කහවන්දල පඤ්ඤාවංශ හා පිලපිටියේ ඥානවංශ ස්වාමීන් වහන්සේලාගේ ශිෂ්‍යයෙකු විය.

උන්වහන්සේ පැවිදි දිවියට පත්වීමට දින 08ට පෙර සිදුවූ පියාගේ හදිසි අභාවය උන්වහන්සේට දරාගත නොහැකි වේදනාවක් විය.

තෙලබුගල පිරිවෙනේ උසස් අධ්‍යාපනය ලැබූ ඒ හිමි ගුරුවරයෙකු වශයෙන්ද සේවය කළහ.

වර්ෂ 1966.07.22 දින උපසම්පදාව ලැබූ ඒ හිමියෝ දිවයිනේ නොයෙක් පළාත්වල වැඩ වෙසෙමින් ගම්වැසියන්ගේ ශ්‍රද්ධාව වැඩි වන සේ ආගමික කටයුතුවල නිරත වූහ.

බෞද්ධ ජනතාව අතර ප්‍රකට ධර්ම කථිකයෙකු වන උත්තරානන්ද නාහිමි උඩුනුවර මෙන්ම කන්ද උඩරට ප්‍රදේශයේ ජනතාව අතර මහත් ගෞරවාදරයට පත්වූ හිමි නමකි.

නාහිමියෝ පේරාදෙණිය ශ්‍රී සරණංකර විවේකාශ්‍රාමාධිපති වශයෙන්ද කටයුතු කරන අතර උඩුනුවර තෙලඹුගල නිග්‍රෝධකෙත්ත මන්තිංදාරාම මහ පිරිවෙනෙහි විශ්‍රාම ලත් නියෝජ්‍ය පරිවේනාධිපති ලෙසද කටයුතු කර ඇත.

උන්වහන්සේගේ ශාසනික සේවය අගයමින් ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහනායක නාහිමි ප්‍රමුඛ කාරක පාලක සංඝ සභා සම්මතයෙන් පිරිනමන ශාසන කීර්ති ශ්‍රී ශාසන සෝභන සිරි අත්තදස්සි විමලවංශ වංශාලංකාර ගෞරව නාමය සහිත මහෝපාධ්‍ය තනතුර පිළිබඳ අක්තපත්‍ර ප්‍රදානය කිරීමේ උත්සවය මේ මස 26 වැනි දින ප.ව.2.30ට උඩුනුවර බඹරදෙණිය ශ්‍රී අග්‍රබෝධි විහාරස්ථානයේ දී පැවැත්වේ.

ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහානායක නාපාන පේමසිරි නාහිමි ප්‍රමුඛ මහා සංඝරත්නයේ සහ මැති ඇමැතිවරුන්ගේ සහභාගිත්වයෙන් එම උත්සවය පැවැත්වේ.

රුවන්පුර සුදම්මවංශ හිමි ඇතුළු උත්සව සංවිධායක කමිටුව මේ උත්සවය සංවිධාන කරයි.

උත්තරානන්ද නාහිමි වැඩසිටින පේරාදෙණිය මහවැලි මාවත,පහළඊරියගම ජනතාවගේ උපහාර පිදීමේ උත්සවය අනිද්දා 27 ප.ව.3.00ට මහවැලි මාවත,පේරාදෙණිය ශ්‍රී සරණංකර විවේකාශ්‍රම විහාරස්ථානයේ දී පැවැත්වේ.ප්‍රදේශයේ සමාජ ක්‍රියාකාරිකයෙකු මෙන්ම සමාජ සේවකයෙකු ද වන ගාමිණී කොතලාවල මහතා ඇතුළු ගම්වාසීන් විසින් මේ උත්සවය සංවිධාන කර ඇත.

එස්.කේ.සමරනායක

නව අදහස දක්වන්න