තාවකාලික කණ්ඩායම් අටවාගෙන ශ්‍රීලනිපය ආරක්ෂා කරගන්න බැහැ | දිනමිණ

තාවකාලික කණ්ඩායම් අටවාගෙන ශ්‍රීලනිපය ආරක්ෂා කරගන්න බැහැ

චමීර ඇල්ලදෙණිය

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එක්ව දේශපාලන ගමනක් යා හැකිනම් අනෙක් සියලුදෙනාටත් එක්ව වාම දේශපාලන කඳවුර ශක්තිමත් කළ හැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ සභාපති හිටපු ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති ශාන්ත බණ්ඩාර මහතා පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරක්ෂිත කිරීම තාවකාලික කණ්ඩායම් සකස් කිරීමෙන් සිදු කළ නොහැකි බවත් එයින් සිදු වන්නේ එජාපයේ අරමුණු ඉටුවීමක් බවද ශාන්ත බණ්ඩාර මහතා පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ ඊයේ (24) පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් එසේ කී සභාපතිවරයා ඉදිරියේදී බහුතර කැමැත්ත මත බිහිවන දැවැන්තම ප්‍රගතිශීලි කඳවුර සූදානම් ව ඇති බවද කීවේය.

එහිදී අදහස් දැක්වූ ශාන්ත බණ්ඩාර මහතා

රට ඉදිරියේදී විශාල ප්‍රශ්න රැසක් තිබෙනවා. නමුත් ආණ්ඩුව ඒ පිළිබඳ කතා නොකර ව්‍යවස්ථාවක් පිළිබඳ වේදිකාවට ගෙනවිත් තිබෙනවා. අපිත් වෙනම ව්‍යවස්ථාවකට අකමැත්තක් නැහැ. නමුත් රට බෙදන්නෙ නැතිව සියලු ජනතාවට සහන ලැබෙන විසඳුම් ලැබෙන ව්‍යවස්ථාවකට අප කැමැතියි. නමුත් එක්සත් ජාතික පක්ෂය 19 වන සංශෝධනය සම්මත කළ ආකරය අපි දැක්කා. අපි එදා එයට සහාය දුන්නා. නමුත් එදා පාර්ලිමේන්තුවේදී කතා කළ සාකච්ඡා කළ දේවල් නොවෙයි පනතෙ ලියවිල්ලට ආවේ. එ්කේ හොඳම උදාහණයක් තමයි 19 වන සංශෝධනය ගෙන එන වෙලාවේ එජාපය කිව්වේ සිටින ජනාධිපතිවරයාගේ ධුර කාලයෙන් පසුව පත්වන ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර පහකට සීමා කරනවා කියා. නමුත් එය 19 වන සංශෝධනයෙන් සම්මත වූ ලියවිල්ලෙ ආවේ වත්මන් ජනාධිපතිවරයා ද ඇතුළුව කියායි. ඒ නිසා තමයි අපි කියන්නේ මේ නව ව්‍යවස්ථා යෝජනාව පිළිබඳ අපට සැකයක් තිබෙනවා කියලා. මොවුන් රට බෙදන්නේ නැහැ කිව්වාට ඉන් පසු සමම්ත කරන ලියවිල්ල පිළිබඳ අපට විශ්වාසයක් නැහැ.

මේ අවස්ථාවේ මේ පිළිබඳ කතා කරනවාට වඩා රටේ ප්‍රශ්න තිබෙනවා. ආණ්ඩුවට එය පෙනෙන්නෙ නැහැ. සේනා දළඹුවාගේ ප්‍රශ්නය විශාල ව්‍යසනයක් බවට පත් වෙලා. අනෙක් පැත්තෙන් වට්ටක්කා ගොවීන් වට්ටක්කා පාරේ හලා යන තැනට ඇවිත් තිබෙනවා. රජය ආහාර බෝග සුරක්ෂිත කිරිමට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර නැහැ. අතිරික්ත භෝග අස්වනු කාලයට ඒවා කල්තබා ගැනීමට කූල් රූම් ඉදිකිරීමට රජය කටයුතු කර නැහැ. අතිරික්ත අස්වැන්න කල්තබා ගැනීමට හෝ වෙනත් ආහාරයක් සකස් කිරිමට කෘෂිකර්මය සඳහා නව තාක්ෂණය යොදා ගෙන නැහැ. මේ පිළිබඳ අවධානය යොමු කිරීම වැදගත්. ජනාධිපතිතුමා සේනා දළඹු ව්‍යසනය මැඬලීමට ජනාධිපති කාර්යසාධක බළකාය හා පොලිස් විශේෂ කාර්ය බළකාය එක්ව වැඩසටහන් ක්‍රියාත්මක කිරිමට උපදෙස් ලබාදුන්නා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැටියට අපි ශක්තිමත්ව කටයුතු කරගෙන යනවා. ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් දිස්ත්‍රික්කවලට නව සංවිධායකවරුන් පත් කළා. ශ්‍රීලනිපය ශක්තිමත් කිරිම තුළිත් තමයි වාම දේශපාලනයේ අනාගතය තිබෙන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරකීමට නම් පක්ෂය තුළ හිඳිමින් කටයුතු කළ යුතුයි. වෙන පක්ෂ තාවකාලික කණ්ඩායම් අටවාගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරකින්න බැහැ. මෙය තේරුම් ගත යුතුයි. මෛත්‍රීපාල ජනාධිපතිතුමාට හා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාට එකතුවෙලා ගමන් යන්න පුළුවන් නම් අපි කවුද? ඒ නිසා අපේ තරම තේරුම් අරගෙන වැඩකළ යුතුයි. පක්ෂය ශක්තිමත් කිරීම තුළින් තමයි පක්ෂයට තනිවම මැතිවරණයකට ඉල්ලන්න පුළුවන්ද වෙනම ඉල්ලනවාද කියන එක තීරණය කරන්න පුළුවන් වෙන්නේ. එහෙම නැතුව තමන්ගේ පෞද්ගලික අරමුණු පදනම් කරගෙන කරන ක්‍රියාවලියෙන් රටට සේවක් කරන්න බැහැ. ඔවුන් ඊළඟ වර පාර්ලිමේන්තු එන්නෙ කොහොමද? පළාත් සභා එන්නෙ කොහෙමද? කියන එක තමයි හිතේ තිබෙන්නෙ. රට වෙනුවෙන් සේවය කරන්න කැමති නම් පොදු සන්ධානයකට යනවාට විරුද්ධ වෙන්න විදිහක් නැහැ. ඥානසාර හිමියන්ට නිදහස් ලබාදීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අවධානය යොමුව තිබෙනවා. එය ඉදිරි දිනයකදී සිදු වේවි. එයට අපට නිශ්චිත දිනයක් කියන්න බැහැ. අපිත් තරුණ පෙරමුණ විදිහට ඥානසාර හිමියන් නිදහස් කරන්න කියා ඉල්ලීමක් කරනවා.

එහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා තරුණ පෙරමුණේ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එරික් ප්‍රසන්න වීරවර්ධන මහතා

බණ්ඩාරනායක මහත්තයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහි කළාට පසුව පක්ෂය සෑම විටම බලයට ආවේ පොදු වාම සන්ධානයකින්. මැතිනියගෙ කාලේ සමඟි පෙරමුණින්, චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ කාලේ පොදු පෙරමුණින්, මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කාලේ එක්සත් ජනතා නිදහස් සන්ධානය නමින් බලයට පැමිණියා. ඒ වගේම ඉතිහාසයේ වමේ දැවැන්තම සන්ධානය තව නොබෝ දිනකින් බිහිවෙනවා. ඒ සමඟ එකතු වෙනවාද නැතිනම් එජාපය සමඟ එකතු වෙනවාද කියන එක සැවොම තීරණය ගන්න ඕන. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මත දරන සියලුදෙනාම මේ වාම නව සන්ධානයට එක් වෙයි කියා මා විශ්වාස කරනවා.

ඡායාරූපය නිරෝෂ් බටේපොළ


නව අදහස දක්වන්න