පාරිසරික අභියෝගයට මුහුණ දෙන්නේ කෙසේද? | දිනමිණ


 

පාරිසරික අභියෝගයට මුහුණ දෙන්නේ කෙසේද?

එක්සත් ජාතීන්ගේ ආසියානු ශාන්තිකර කලාපීය පරිසර අමාත්‍යවරුන්ගේ සහ පරිසර ආයතන ප්‍රධානීන්ගේ මෙවර සමුළුව ආසියානු ශාන්තිකර කලාපීය රටවල් 40ක් නියෝජනය කරන පරිසර අමාත්‍යවරුන් ඇතුළු ඉහළ පෙළේ නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් සිංගප්පූරුවේ මරීනා බේ සෑන්ඩ්ස් ප්‍රදර්ශන සහ සම්මේලන මධ්‍යස්ථානයේ දී පැවැත්වේ. එහි ප්‍රධාන දේශනය පැවැත්වීමේ කාර්යභාරය හිමිවූයේ පසුගිය සිව් වසර තුළ පරිසරය පිළිබඳ ජාතික මෙන්ම ජාත්‍යන්තර අවධානයට ලක්කර සියලු රටවල් ප්‍රායෝගික ලෙස පරිසරය සුරැකීමේ කාර්යයට නායකත්වය දුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාටය.

අපට ස්වභාවයෙන්ම උරුම වූ ස්වාභාවික පරිසරය මිනිසා විසින් විනාශ කර දමනු ලබන මොහොතක අප මුහුණ දෙන ගැටලු අතර ප්‍රධාන තැනක් ගන්නේ මිහිතලය උණුසුම් වීම, ඕසෝන් ස්ථරය හීනවීම, කාලගුණික විපර්යාසය, වනහරණය, කාන්තාරකරණය, ජල දූෂණය යනාදියයි.

රටක් වශයෙන් මෙම ගැටලුවලට මුහුණ දෙමින් මේ පාරිසරික අභියෝග ජයගැනීම උදෙසා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට අමතරව පාරිසරික ඇමැතිවරයා ලෙස පසුගිය සිව් වසර පුරා දැරූ උත්සාහය ජාතික වශයෙන් පමණක් නොව අන්තර්ජාතික වශයෙන්ද පැසසුමට ලක්විය. මෙරට පරිසර සුරක්ෂාව වෙනුවෙන් කරන ලද මෙහෙයත් ආසියාකරය ඒ වෙනුවෙන් උනන්දු කරවීමත් උදෙසා ජනාධිපතිවරයා ජාතික මෙන්ම අන්තර්ජාතික පරිසරවේදීන්ගේ ඇගයීමටද ලක්විය.

‍පරිසරය වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිදුකරන ලද මෙහෙය වරෙක ඉන්දීය ජනාධිපති රාම්නාත් කෝවින්ඩ්ගේ මෙන්ම එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ලෙස සිටි බෑන් කී මූන් ගේද ඇගයීමට ලක්ව තිබුණු අතර පසු කලෙක සෙසු රාජ්‍ය නායකයන්ගේද පැසසුමට ලක්වීම මෙරටට ලැබුණු මහත් කීර්තියක් ලෙස සැලකිය හැකිය.

2015 වසරේ ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වුණු එක්සත් ජාතින්ගේ දේශගුණික විපර්යාස සමුළුව වැදගත් වන්නේ එය පරිසරය පිළිබඳ ජාත්‍යන්තර අවධානයට ලක්කිරීමට සමත්වීම නිසාය. ඒ වනවිට පොදු රාජ්‍ය මණ්ඩල නායක සමුළුව සිය උත්කෘෂ්ඨ පරමාර්ථයක් ලෙස යොමු වූයේද ලෝක දේශගුණික විපර්යාසය පිළිබඳවය. එහෙත් මේ සියල්ලට වඩා පැරිස් සමුළුව පැවැත්වූයේ ලොවම දේශගුණික හා කාලගුණික විපර්යාස පිළිබඳ දැවැන්ත අභියෝගයකට මුහුණ පා සිටින මොහොතකය. ලෝක දේශගුණික විපර්යාස හමුවේ වැදගත් සන්ධිස්ථානයකට පැමිණීම අරභයා පැවැති පැරිස් සමුළුවට සහභාගිවීම සඳහා එහි ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එදා මහත් අභිමානයෙන් පිළිගනු ලැබුවේ එවකට එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් හා ප්‍රංශ ජනාධිපති ප්‍රංශුවා ඕලන්දේ ඇතුළු අමාත්‍යවරුන් විසිනි.

ලෝකයේ ප්‍රධාන වශයෙන් හරිතාගාර වායු විමෝචනය සිදුකරන අමෙරිකා එක්‌සත් ජනපදය, චීනය, ඉන්දියාව වැනි රටවල මේ ගැන අවධානය යොමුකළත් නැතත් 2015 පැරිස්‌ දේශගුණික සමුළුව ඊට පෙර දේශගුණික සමුළුවලට වඩා ඉදිරිගාමී පියවරක්‌ විය. ඊට පෙර ලෝක දේශගුණික සමුළුවලින් ඉදිරිපත් කෙරුණු පොදු මානවවාදී සම්මුතීන් හිතුවක්‌කාර ලෙස ප්‍රතික්ෂේප කළ අමෙරිකා එක්‌සත් ජනපදය වැනි බලවත් රටවල් සිය අතපසු කිරීම් නිවැරදි කරගෙන හරිතාගාර වායු විමෝචනය සීමා කිරීම පිළිබඳ සම්මුතියකට එකඟතාව පළ කිරීම එම පැරිස්‌ සමුළුවේ දුටු විශේෂත්වය විය.

ප්‍රධාන පෙළේ ලෝක නායකයන් 147 දෙනකු සහභාගි වූ දේශගුණික සමුළුවට ගිය ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එහි ප්‍රධාන දේශනය පැවැත්වීමට සැලසීම එතුමන් පරිසරය වෙනුවෙන් කරන ලද කැප කිරීමට ජාත්‍යන්තරය දැක්වූ උපකාරයකි. ආරම්භයේ සිටම පරිසරයට ආදරය කළ පරිසරය වෙනුවෙන් මහත් කැප කිරීමක් කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද සිංගප්පූරුවේ මරීනා බේ සෑන්ඩ්ස් ප්‍රදර්ශන සහ සම්මේලන මධ්‍යස්ථානයේ දී එක්සත් ජාතීන්ගේ ආසියානු ශාන්තිකර කලාපීය පරිසර අමාත්‍යවරුන්ගේ සහ පරිසර ආයතන ප්‍රධානීන්ගේ මෙවර සමුළුවේ ප්‍රධාන දේශනය පැවැත්වීමට ලැබුණු අවස්ථාව මෙරටට හිමිවූ මහත් කීර්තියක් ලෙස සැලකිය හැකිය.

සංවර්ධනය වෙමින් පවත්නා රටක් ලෙස හා නිවර්තන කලාපීය දිවයිනක් ලෙස දේශගුණික විපර්යාසයේ බලපෑමට නිරන්තරයෙන් ගොදුරු වන රටක් විදිහට සිංගප්පූරුවේ දී පැවැත්වෙන ආසියානු ශාන්තිකර කලාපීය රටවල් 40ක නායකයන් අමාත්‍යවරුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන පරිසර අමාත්‍යවරුන්ගේ සහ ආයතන ප්‍රධානීන්ගේ සමුළුව අපට මෙන්ම මුළු ලොවටම වැදගත්ය.

මිහිතලය ආරක්ෂා කර ගැනීම සඳහා ලොව සියලුම රටවල් අනුගමනය කළ යුතු ක්‍රම හා විධි සහිත ඓතිහාසික ලියවිල්ලක් වූ පැරිස් සම්මුතිය ශ්‍රී ලංකාව තුළ තහවුරු කරමින් බලාත්මක කිරීමට කටයුතු කළ බවට වූ වාර්තාව එදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බෑන් කී මුන් මහතා වෙත පිළිගන්වනු ලැබීය. මෙම සියවස තුළ ගෝලීය උෂ්ණත්වය කාර්මීකකරණයට පෙර තිබුණු උෂ්ණත්වය මෙන් සෙන්ටිග්‍රේට් අංශක 02 කට වඩා අඩුවෙන් පවත්වා ගැනීම සඳහා සියලු රටවල් එක්සත් කිරීම මෙම සම්මුතියේ මූලික අරමුණ විය. ලොව අනාගත ඉදිරි ගමන හා ජනතාවගේ සුඛ විහරණය තීරණය කරන සුවිශේෂී සම්මුතියක් ලෙස මෙම සම්මුතියට ශ්‍රී ලංකාව ද අනුගතව සිටින අතර එම සම්මුතිය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර බලාත්මක නීතියක් බවට පත් කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කර තිබේ.

ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ලෙස මෙන්ම පරිසර අමාත්‍යවරයා ලෙස ජනාධිපතිතුමා අදාළ වාර්තාව එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී එක්සත් ජාතින්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා වෙත භාර දුන් අතර පරිසරය කෙරෙහි ඉතා සංවේ දී රාජ්‍ය නායකයකු වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ වෙනුවෙන් දක්වන ලද සුවිශේෂී කැපවීම මහ ලේකම්වරයාගේ විශේෂ පැසසුමටද ලක් විය.

පරිසරය සුරැකීම පිළිබඳ දේශීය මෙන්ම විදේශීය වශයෙන් අවධානයට ලක්වූවත් මෙරට එය ප්‍රායෝගිකව යථාර්ථයක් බවට පත්කළේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාය. වායු දූෂණ කළමනාකරණය පිළිබඳ අන්තර් ජාතික සමුළුවක් 2014 සහ පාරිසරික තිරසාර ප්‍රවාහනය පිළිබඳ ආසියානු කලාපීය සංසදය විසින් සංවිධානය කළ ඒකාබද්ධ ජාත්‍යන්තර සම්මන්ත්‍රණයක්ද 2014 නොවැම්බර් 19 සිට 21 දක්වා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වීය.

මුල්වරට 2001 වර්ෂයේ දී හොංකොං හි දී පැවැත්වුණු වායු තත්ත්ව ජාත්‍යන්තර සමුළුව ආසියානු කලාපය තුළ පිරිසිදු වාතය හා තිරසාර ප්‍රවාහන ක්‍රම තුළින් සෞඛ්‍යමත් සමාජයක් බිහිකරලීම උදෙසා වූ මීළඟ පරපුරෙහි විසඳුම් යන තේමාව යටතේ වායු තත්ත්ව කළමනාකරණය පිළිබඳ අන්තර් ජාතික සමුළුව ආසියාවේ පැවැත්වූ විශාලතම සමුළුව එය වන අතර ඊට ආසියාවෙන් හා ලෝකයේ අනෙකුත් රටවල්වලින් 500කට වැඩි නියෝජිතයින් පිරිසක් සහභාගී වී ඇත. එහි දී ප්‍රවාහනය, බලශක්තිය, කර්මාන්ත, පිරිසිදු ඉන්ධන හා රථ වාහන, වායු තත්ත්වය හා දේශගුණික විපර්යාස යන ක්ෂේත්‍ර පිළිබඳව ඒ ඒ රටවල ප්‍රතිපත්තීන් හා මිනුම් දඬු කෙරෙහි සුවිශේෂී අවධානයක් යොමු කරමින් නවතම පර්යේෂණ සහ ඒවායේ ප්‍රතිඵල මත පදනම්ව සාකච්ඡා කෙරිණි.

මේ ආකාරයෙන් ජාතික හා ජාත්‍යන්තර වශයෙන් පරිසරය හා සම්බන්ධ සමුළු ගණනාවක් පැවැත්වුවද ශ්‍රී ලංකාවේ පමණක් නොව මුළු මහත් ආසියාවේම පරිසරය පිළිබඳ සුවිශේෂි අවධානයක් ඇති කිරීමට හැකි වූයේ 2015 ජනවාරි මස 9 වැනිදා ජනාධිපති ධුරයට පත්ව පරිසර විෂය ද සිය භාරයට ගෙන සිදුකරන ලද මෙහෙය නිසාය. පරිසරය වෙනුවෙන් ජාත්‍යන්තර කීර්තියක් දිනා අද දිනයේ සිංගප්පූරුවේ මරීනා බේ සෑන්ඩ්ස් ප්‍රදර්ශන සහ සම්මේලන මධ්‍යස්ථානයේ සිට එක්සත් ජාතීන්ගේ ආසියානු ශාන්තිකර කලාපීය පරිසර අමාත්‍යවරුන්ගේ සහ පරිසර ආයතන ප්‍රධානීන්ගේ සමුළුව අමතමින් ලොවට දෙන පණිවුඩය ගැන රාජ්‍ය නායකයෝ අවධානයෙන් බලා සිටිති.

නව අදහස දක්වන්න