පාසල් සිසුන්ට තෑගිත් අරන් උත්තර ‍දේවි යාපනයට | දිනමිණ


 

පාසල් සිසුන්ට තෑගිත් අරන් උත්තර ‍දේවි යාපනයට

නිමල් රාජපක්ෂ

කොළඹ යාපනය කන්කසන්තුරේ උත්තරදේවී දුම්රියේ නව බලවේග කට්ටලය ජනතා අයිතියට පැවැරීමේ සමාරම්භක චාරිකාව ලබන ඉරිදා (27) උදෑසන කොළඹ දුම්රිය ස්ථානයෙන් සිදු කෙරේ. එදින උදෑසන හයට කොළඹ දුම්රිය ස්ථානයේ සිට යාපනය කන්කසන්තුරේ දක්වා උදෑසන ගමන් ඇරැඹීමෙනි. එහි සමාරම්භක උත්සවය පැවැත්වෙන්නේ ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැති අර්ජුන රණතුංග සහ ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සිං සන්දු යන මහත්වරුනගේ සහභාගීත්වයෙනි.

ලබන ඉරිදා උදෑසන උත්තර දේවි කොළඹ - යාපනය කන්කසන්තුරේ දක්වා ධාවනය කරනුයේ උතුරු - දකුණු සංහිඳියාව සංකේතවත් කරමින් වීම විශේෂත්වයකි. ඒ අනුව මේ සමාරම්භක චාරිකාවට සමගාමීව යාපනය දිස්ත්‍රික් පාසල් ළමයන් සඳහා පාසල් බෑග්, පොත්පත් ඇතුළුව පාසල් උපකරණ දකුණෙන් ගෙන යෑමට අපේක්ෂා කරයි. එම සමාජ සත්කාරය සඳහා එක්වීමට අපේක්ෂා කරන්නන් පාසල් උපකරණ හෙට (26) දහවල් 12ට පෙර මරදාන විජයවර්ධන මාවතේ පිහිටි ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයට හෝ නාරාහේන්පිට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයට හෝ භාර දෙන ලෙසට ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය ඉල්ලා සිටී. මරදාන විජයවර්ධන මාවතේ පිහිටි ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයට පාසල් උපකරණ භාර දෙන්නේ නම් 0718426868 යන දුරකථන අංකයෙන් රේණුකා විමසීමෙන් ද නාරාහේන්පිට ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයට පාසල් උපකරණ භාර දෙන්නේ නම් 0771056062 යන දුරකථන අංකයෙන් ඉන්දික විමසීමෙන් ද වැඩිදුර තොරතුරු ලබාගත හැකිය. යාපනය දිස්ත්‍රික් පාසල් ළමයින්ට බෙදාදීම සඳහා එම පාසල් උපකරණ යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට භාරදීම අනිද්දා (27) ඉරිදා පස්වරු 01.00ට යාපනය දුම්රිය ස්ථානයේ දී සිදු කෙරේ. මේ සමාරම්භක සංචාරයට සමගාමීව කිලිනොච්චිය අරවියල් නගර් උප දුම්රිය ස්ථානය ද විවෘත කෙරෙනු ඇත.

උත්තර දේවි දුම්රියට යොදවන නව බලවේග කට්ටලය ආනයනය කළේ ඉන්දියාවෙනි. එහි මැදිරි සංඛ්‍යාව හයකි. එයින් වායු සමනය කළ පළමු පන්තියේ මැදිරියක් මෙන්ම වායු සමනය කළ දෙවැනි පන්තියේ මැදිරියක් ද මේ දුම්රියට අයත් වේ. පළමු පන්තියේ මැදිරියේ ආසන 52ක් ඇත. දෙවැනි පන්තියේ ආසන 64කි. තුන්වැනි පන්තියේ එක් මැදිරියක ආසන 152ක් වේ. ඒ අනුව මේ දුම්රියෙන් එකවර ගමන් කළ හැකි මගීන් සංඛ්‍යාව 724කි. දුම්රිය නවත්වන්නේ ගම්පහ, පොල්ගහවෙල, කුරුණෑගල, මහව, ගල්ගමුව, අනුරාධපුරය, මැදවච්චිය. වවුනියාව, මාන්කුලම්, කිලිනොච්චි, පලෙයි, කොඩිකාමන්, යාපනය සහ යාපනයේ සිට කන්කසන්තුරේ දක්වා වූ සියලු දුම්රිය ස්ථානවල වේ. මේ දුම්රියේ ගමන් ගන්නා මගීන්ට ජී. පී. එස්. තාක්ෂණය ඔස්සේ ඉදිරියේ දී තමන් බැසීමට බලාපොරොත්තු වන දුම්රිය ස්ථානය පිළිබඳ තොරතුරු පූර්වයෙන් දැනගත හැකිවීමත් විශේෂත්වයකි.

නව අදහස දක්වන්න