යහපත් මාධ්‍ය සංස්කෘතියක් හා මහජන හිතකාමී මාධ්‍ය කලාවක් මේ රටේ ඇති කළ යුතුයි | දිනමිණ


 

යහපත් මාධ්‍ය සංස්කෘතියක් හා මහජන හිතකාමී මාධ්‍ය කලාවක් මේ රටේ ඇති කළ යුතුයි

සමන්මලී ප්‍රියශාන්ති

යහපත් මාධ්‍ය සංස්කෘතියක් හා මහජන හිතකාමී මාධ්‍ය කලාවක් මෙරට ඇති කළ යුතු බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම්, ස්වාධීන රූපවාහිනි සේවයේ සභාපතිනී තිලකා ජයසුන්දර මහත්මිය ප්‍රකාශ කළාය.

සමස්ත රට පමණක් නොව මුළු ලෝකයම මෙහෙයවන මාධ්‍යයට රටේ මෙන්ම මහජනතාවගේ උන්නතිය වෙනුවෙන් කටයුතු කරන්නට වගකීමක් හා යුතුකමක් ඇතැයි ද ඇය පැවසුවාය. ඇය මේ බව පැවසුවේ රුහුණු හා රජරට සේවා මාධ්‍ය පුහුණු පාසල්වල අභ්‍යාසලාභීන්ට සහතික පත් පිරිනැමීමේ අවස්ථාවට සහභාගි වෙමිනි.

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ කුමාරතුංග මැදිරියේදි පසුගියදා (22)මේ සහතික පත්‍ර ප්‍රදානය පැවැත්විණි.

එහිදී වැඩිදුරටත් ජයසුන්දර මහත්මිය මෙසේ ද කීවාය.

අනේක විධ නාලිකා අප අමාත්‍යංශය යටතේ ලියාපදිංචි වෙමින් මාධ්‍ය ක්ෂේත්‍රයට එක් වන මේ මොහොතේ දී ගුවන් විදුලියේ මහගෙදර විරුදාවලිය ලද ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව අපට අභිමානයක් බව කිවයුතු වෙනවා. ඒ වගේම මේ ආයතනයේ අකුරු කරන සන්නිවේදනයේ අයන්න කියවන ඔබට මේ ආයතනයෙන් නිවේදන වෘත්තීය අරඹන්නට සුදානම් වන ඔබට අද විශාල ආඩම්බරයක් දැනෙනවා ඇතැයි සිතනවා.

‍මා කුඩා අවධියේදී ප්‍රාදේශීය ගුවන් විදුලි සේවයේ රජරට සේවයේ දැනුම මිනුම තරගයකට සහභාගි වුණා. ඒ ගුවන් විදුලි මැදිරිය කවදත් මගේ මතකයේ තිබෙනවා. එදා මෙදා තුර ගුවන්විදුලියේ මහගෙදර සුවහසක් ශ්‍රාවක ජනතාවට රසවින්දනය, දැනුම, චින්තනය බෙදා දුන්නා. එදා මෙදා තුර නිවේදක නිවේදිකාවන් දහස් ගණනක් මේ රටට බිහි කළා. ශ්‍රී ලංකාවේ මාධ්‍ය ක්ෂේත්‍රය මේ වන විට කොහෙද තිබෙන්නේ කියලා සමාජ කථිකාවතක් අද නිර්මාණය වෙලා තිබෙනවා.

මාධ්‍ය ක්ෂේත්‍රයට විශාල වගකීමක් තිබෙනවා. රටක සංස්කෘතිය, අනන්‍යතාව, සංවර්ධනය ඇතුළු සියලු සමාජ සංසිද්ධීන් ලෝකයට ගෙන යන්නේ මාධ්‍ය විසිනුයි. ඒ නිසා මාධ්‍යයට විශාල වගකීමක් අද පැවරිලා තිබෙනවා. ගෝලීයකරණය සමඟ ජීවත්වන අපට ඕනෑම තොරතුරක මුලාශ්‍රය කොහෙන් ආවද කියලා .අපි දන්නේ නැහැ. ඉතා ශීඝ්‍රයෙන් තොරතුරු ව්‍යාප්ත වෙන යුගයක් අද තිබෙනවා. ඒ නිසා ඔබගේ චින්තනයට, හැකියාවට පුළුවන් ඉතා කෙටි කාලයකින් විශාල වෙනසක් රටේ පමණක් නොව ලෝකයේම ඇති කරන්න. නිවේදන වෘත්තිය එවැනි ප්‍රබල වෘත්තියක්. ඒ බව ගුවන්විදුලි සංස්ථාවට ඔබට ඉතා සංයමයක් ඇතිව කියා දෙන්න ඇතැයි මා සිතනවා.

ඔබ නිවේදකයෙක් ලෙස ර‍ටට විශාල මෙහෙවරක් ඉටු කළ යුතු වෙනවා. ඔබේ කටහඬ, ඔබේ සිතුවිල්ල මිනිසෙකුගේ ක්‍රියාව , හැසිරීම වෙනස් කරන්න පුළුවන් මෙවලමක් වෙනවා.

අද අපේ රටේ මාධ්‍ය මානව හිතවාදී මාධ්‍යයක් ද කියන ගැටලුව තිබෙනවා. රටේ යහපත් මාධ්‍ය සංස්කෘතියක් ඇති කරන්න මෙන්ම ර‍ටක් ලෙස අපි ඉදිරියට යද්දි රටේ ආර්ථික සංවර්ධනය, සංස්කෘතික අනන්‍යතාව, ප්‍රවර්ධනය යන ප්‍රධාන අංශ හතර ඔස්සේ ලෝකයේ සංවර්ධනය ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා අපට ඉදිරියට අවශ්‍ය වන්නේ සංවර්ධනාත්මක මාධ්‍යයක්.ඒ සංවර්ධනාත්මක මාධ්‍ය යොමු විය යුත්තේ රටේ සංවර්ධනයට, ප්‍රගමනයට, උන්නතියට අභිවෘද්ධියට මෙන්ම මිනිස් සිත් සතන්වලට වෙනසක් ඇති කිරීමටයි. අපේ රටේ මේ සංවර්ධනාත්මක මාධ්‍ය කලාවක් බිහි කර ගන්න ඕනෑ. මෙය දැවෙන අවශ්‍යතාවක් වෙලා. ඒ නිසා අද තරුණ තරුණියන් වශයෙන් ඔබ සැමට වගකීමක් තිබෙනවා. මේ ක්ෂේත්‍රයට පිවිසෙන විට ඔබේ කටහඬට මේ දේවල් ගෝචර විය යුතුයි.

කිසිවක් නොහිතා සිදු කරන වචන භාවිතය විශාල විනාශයක් වේවි. තක්සේරු කළ නොහැකි විනාශයක් වේවි. ඔබේ චින්තනයකින් සමාජය ගොඩනඟන්න හරි විනාශ කරන්න හරි පුළුවන් බව මතක තබා ගන්න. අද මේ රටේ ඒ අවශ්‍යතාව දැඩිව දැනෙනවා. ඒ අපේක්ෂාව එක්ක තමයි අද ඔබට මේ සහතිකය ලැබෙන්නේ. ඒ පරිචය තව අවුරුදු ගණනාවක් මේ රටේ පවතින්න උපකාරී කර ගන්න.

මේ රටේ යහපත් මාධ්‍යවේදීන්ට මා ගරු කරනවා. අද මේ තිබෙන මට්ටමේ හෝ රට තිබෙන්නේ ඔවුන්ගේ දායකත්වය නිසයි. මෙය අඩුවැඩි වශයෙන් සියයට 50 බැගින් තිබෙනවා.

මේ රටේ යහපත් මානව හිතවාදී මාධ්‍ය සංස්කෘතියක් රටේ නිර්මාණය කිරීම අද දවසේ සුවිශේෂ විශේෂ නොව දහස් වාරයක් අවධානය යොමු කළ යුතු දෙයක් බව මා හිතනවා.

සෑම දෙයක්ම අද තීරණය වී තිබෙන්නේ මාධ්‍ය භාවිතය හා හැසිරීම තුළයි. අපේ රටේ දරුවන්ගේ චින්තනය අනාගතය රඳා පවතින්නේ මාධ්‍ය තුළිනුයි. මේ රටම මෙහෙයවන්නේ මාධ්‍යයයි. ඒ නිසා මාධ්‍යයට ශුද්ධ වු අයිතියක්, වගකීමක්, යුතුකමක් තිබෙනවා .රටේ උන්නතිය වෙනුවෙන් මාධ්‍ය මෙහෙයවන්නට.

මේ රටේ රාජ්‍ය තන්ත්‍රය තුළ මා ඉල්ලා සිටින්නේ මේ ප්‍රබල මාධ්‍ය රටේ යහපත වෙනුවෙන් භාවිත කරන්න කියලා. එය මිනිසුන්ට, සමාජයට හානි කරන්න භාවිත කරන්න එපා. ‍රටේ දහසක් ප්‍රශ්න මැද මෙය ඉතා වැදගත් දෙයක්. සන්නිවේදනයෙන් සිදු ඇති හානිය අවම කිරීමේ වගකීම ඔබට තිබෙනවා. ඔබේ යුතුකම්, වගකීම් ඉටු කරන්න.

අපේ රටේ සමහරක් මිනිසුන් අයිතිවාසිකම්, වරප්‍රසාද ඉල්ලා කෑ මොර දුන්නත් මේ රටේ මහජනතාවගේ අයිතිවාසිකම් ගැන කතා කරන්නේ කවුද. අපේ අයිතිවාසිකම් ගැන විතරයි අපි හිතන්නේ. මේ රටේ ජනතාවට, රටට ඉටු කළ යුතු වගකීම් ගැන හඬ නඟන්නේ කවුද. ඒ නිසා මිලියන 21 ක් වු මෙරට ජනතාවගේ අයිතිවාසිකම්, යුතුකම් වෙනුවෙන් ඔබගේ හ‍ඬ අවදි කරන්න. හඬ ඔබට ආභරණයක්. එය අනාගත පරම්පරාව, රට වෙනුවෙන් පැළඳ ගන්න කියලා ඉල්ලා සිටිනවායැයි කීවාය.

ගුවන්විදුලි සංස්ථාවේ සභාපති සිද්ධි එම්. ෆාරුක් මහතා-

මේ වෘත්තිය යහපත් ආකාරයට සිදු කළහොත් ලෝකයට රටට යහපතක් කරන්න ඔබට හැකියාව ලැබෙනවා. අද මුල්‍ය හා දේශපාලන අවශ්‍යතා මත බොහෝ විට පෑන, හඬ හැසිරවීම සිදු වෙනවා. මේ නිසා රටට විශාල හානියක් සිදු වෙනවා. ඔබ සියලු දෙනාගෙන් මා අද ඉල්ලීමක් කරන්න කැමැතියි. ඔබේ හඬ සත්‍යය සමාජ ගත කිරීමට භාවිත කරන්න.

මෙහිදී ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් ඒරානන්ද හෙට්ටිආරච්චි, අධ්‍යක්ෂ, (අභ්‍යාස සහ විදේශ සම්බන්ධතා) තිළිණ සමරසූරිය මහත්වරු ඇතුළු පිරිසක් ද මෙහිදී අදහස් දැක්වූහ.

ඡායාරූපය - විමල් කරුණාතිලක

නව අදහස දක්වන්න