අයිසෙක් සම්මේලනයේ නිල මුද්‍රාව එළිදක්වයි | දිනමිණ

අයිසෙක් සම්මේලනයේ නිල මුද්‍රාව එළිදක්වයි

චන්ද්‍රිකා පෙරේරා

මේ වසරේ දී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත විශාලතම ජාත්‍යන්තර යොවුන් සම්මේලනය වන අයිසෙක් (AIESEC ) සම්මේලනයේ නිල මුද්‍රාව පසුගිය දා (22) වරාය, නාවික හා දක්ෂිණ සංවර්ධන ඇමැති සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී එළි දැක්විණි.

‘AIESEC’ ජාත්‍යන්තර සම්මේලනයේ 71 වැනි සැසිවාරය මෙරට දී පැවැත්වීමට නියමිත අතර, එය ලබන ජූලි මස 06 වැනිදා සිට 14 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.

මෙහි මුඛ්‍ය අරමුණ වන්නේ යොවුන් නායකත්වය, සංස්කෘතික විවිධත්වය සහ ගෝලීය සංහිඳියාව සැමරීමයි.

ඒ සඳහා ‘AIESEC’ මේ සඳහා රටවල් 120කට අධික සංඛ්‍යාවක් නියෝජනය කරමින් තරුණ නායකයන් 800ක් පමණ සහභාගීවීමට නියමිත අතර, මෙය විශ්ව ගම්මානය ( Global Village), තරුණ සාකච්ඡා මණ්ඩපය (YouthSpeak Forum) සහ ලොව විශාලතම අධ්‍යයනය (World’s Largest Lesson) වැනි අංගයන්ගෙන් ද සමන්විත වේ.

දැනට ලොව පවතින සංවිධාන අතරින් තරුණ ප්‍රජාව නියෝජනය කරන ප්‍රමුඛ පෙළේ සංවිධානයක් ලෙස AIESEC ජාත්‍යන්තර සංවිධානය හඳුන්වා දිය හැකිය.

ස්වාධීන සංවිධානයක් වන මෙය ලාබය අරමුණු කර නොගැනීම විශේෂත්වයකි. තරුණ නායකත්ව ශෛලීන් හා කුසලතා සංවර්ධනය මෙන්ම එම නායකයන් සඳහා ගෝලීය මට්ටමේ වේදිකාවක් නිර්මාණය කිරීම යන ප්‍රධාන අරමුණු පදනම් කර ගනිමින් මේ සංවිධානය ක්‍රියාත්මකය. මේ සංවිධානය සමඟ විවිධ රටවල ලක්ෂ 09කට අධික සාමාජික සංඛ්‍යාවක් සිටිති.

මේ යොවුන් සම්මේලනයේ ශ්‍රී ලංකා සංවිධානයේ සභාපති ඉසුරු ප්‍රේමතිලක මහතා ඇතුළු නියෝජිතයන් සිවුදෙනකු පසුගිය 22 දා අරලියගහ මන්දිරයේ දී ඇමැති සාගල රත්නායක මහතා හමු වූ අතර, එහි දී අදාළ නිල මුද්‍රාව එළිදක්වන ලදී.

ලොව විශාලතම ජාත්‍යන්තර යොවුන් සම්මේලනය වන මේ ජාත්‍යන්තර සම්මේලනය මෙරට පැවැත්වීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් එම හමුවේ දී පැවැත්විණි. අයිසෙක් ජාත්‍යන්තර සමුළුව අන්තර්ජාතික ප්‍රජාවගේ ආකර්ෂණයට ලක්වන්නක් වන අතර, එය වාර්ෂිකව අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වෙන්නකි.

පළමුවරට ශ්‍රී ලංකාවේ මේ ජාත්‍යන්තර සමුළුව පැවැත් වූයේ 1995 වර්ෂයේ දී ය.

එහි ප්‍රතිඵලයක් වශයෙන් AIESEC ශ්‍රී ලංකා සංවිධානය මෙරට තුළ ස්ථාපිත වූ අතර වසර 23කට පසුව 2019 වසරේ දී එම මහඟු අත්දැකීම නැවත වරක් ශ්‍රී ලාංකේය තරුණ ප්‍රජාව වෙත මෙවර ලැබී තිබීම විශේෂත්වයකි.

 


නව අදහස දක්වන්න