BOC තුරුණු දිරියෙන් වැඩිම ව්‍යවසායක ණය රත්නපුරට | දිනමිණ

BOC තුරුණු දිරියෙන් වැඩිම ව්‍යවසායක ණය රත්නපුරට

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ලංකා බැංකුවේ 'තුරුණු දිරිය' ණය යෝජනා ක්‍රමයෙන් සියලුම දිස්ත්‍රික්ක සහ පළාත්වල තරගකාරී ලෙස ව්‍යවසායක ණය ලබා දෙමින් සිටින අතර රත්නපුර දිස්ත්‍රික්කය ව්‍යවසායක ණය 79ක් නිකුත් කරමින් මුළු දිස්ත්‍රික්ක අතර පෙරමුණ ගෙන ඇත. මේ අනුව සබරගමුව පළාතේ පමණක් ව්‍යවසායක ණය 98ක් නිකුත් කර ඇති අතර මෙතෙක් නිකුත් කර ඇති මුළු ණය සංඛ්‍යාව 495කි. එහි සමස්ත වටිනාකම රුපියල් මිලියන 210කට ආසන්න වේ. පෙරේදා (23) ලංකා බැංකුවෙන් ඉදිරිපත් කළ නවතම ප්‍රගති සමාලෝචන වාර්තාවෙන් මේ තොරතුරු අනාවරණය විය.

මේ වන විට 'තුරුණු දිරිය' ණය යෝජනා ක්‍ර‍මය දිවයිනේ සෑම පළාතකම තරුණ ව්‍යවසායකයන් අතර ඉතාමත් ජනප්‍රිය වී ඇති අතර ලිහිල් ඇප ක්‍ර‍මය සහ අවම පොලී අනුපාතයක් තිබීම වැනි සහන රාශියකින් යුක්ත වීම එයට හේතු වී ඇත. 'තුරුණු දිරිය' ණය යෝජනා ක්‍රමය දිවයින පුරා විවිධ ව්‍යාපාරවල නියැලී සිටින තරුණ ව්‍යවසායකයන්ට විශේෂයෙන්ම නිර්මාණය කර ඇති ණය යෝජනා ක්‍රමයකි. මෙයින් ආර්ථීක බාධකවලට සාර්ථකව මුහුණ දෙමින් ඔවුන් සිහින දකින තම ව්‍යාපාරයේ දියුණුවට ළඟා වීමට හැකි වී ඇත.

ලංකා බැංකුව, අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය, ජාතික ප්‍ර‍තිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන, වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යාංශයේ මධ්‍යම වැඩසටහන් කළමනාකරණ ඒකකය සහ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය සමඟ එක්ව ක්‍රියාත්මක කරන 'තුරුණු දිරිය' ණය යෝජනා ක්‍රමය රටේ තරුණ ව්‍යවසායකයන් සවිබල ගැන්වීම අරමුණ කරගෙන ක්‍රියාත්මක කරනු ලැබේ. එමඟින් උපාධියක් සහිත හෝ පිළි ගත් වෘත්තීය නිපුණතා සහතිකයක් සහිත වසර 03කට නොඅඩු කාලයක් ව්‍යාපාරයේ නියැලී සිටින තරුණ ව්‍යවසායකයන්ට සුරැකුම්/ ඇපකරුවන් රහිතව හෝ ලිහිල් ඇප සහිතව, අඩු පොලියක් යටතේ ණය පහසුකම් ලබා දෙයි.

දිවයින පුරා පිහිටි ලංකා බැංකු ශාඛාවලින් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් මේ පිළිබඳව වැඩිදුර තොරතුරු ලබා ගත හැකිය.


නව අදහස දක්වන්න