බුදු පිළිම කඩා දැමීමේ සිද්ධිය පිටුපස දේශපාලනඥයෙක් | දිනමිණ

බුදු පිළිම කඩා දැමීමේ සිද්ධිය පිටුපස දේශපාලනඥයෙක්

විජයානි එදිරිසිංහ

රටේ විවිධ ප්‍රදේශවල බුදු පිළිම කඩා බිඳ දැමීමේ සිද්ධිය පිටුපස කොළඹ දිස්ත්‍රික් දේශපාලනඥයකු සහ තවත් පිරිසක් සිටින බවට සැකකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ජාතීන් අතර භේදභින්නවීම් ඇතිකරමින් මේ අපරාධ සිදු කරන පිරිස අලුතින් ආයුධ ගැනීමට උත්සාහ කරන පිරිසක් යැයිද සැක කෙරේ.

මේ දේශපාලනඥයා සම්බන්ධයෙන් තොරතුරු රැසක් හෙළි වී ඇතත් ඔහු අත්අඩංගුවට ගැනීමට තරම් සාක්ෂි නොමැති නිසා මේ වන තෙක් ඔහු අත්අඩංගුවට ගෙන නොමැත.

පසුගිය දෙසැම්බර් මස 26 වැනිදා සිට මේ දක්වා මේ කඩාකප්පල්කාරී ක්‍රියාවන් සම්බන්ධයෙන් පොලිස්පති පුජිත් ජයසුන්දර මහතාගේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතාගේ අධීක්ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරි වික්‍රමසේකර මහතාගේ මෙහෙයවීම යටතේ අංක එක ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජානක මාරසිංහ මහතා ඇතුළු කණ්ඩායමක් විසින් පුළුල් පරීක්ෂණයක් පවත්වාගෙන යයි.

මෙහිදී සිදු කරනු ලබන පරීක්ෂණවලින් මේ කඩාකප්පල්කාරී කණ්ඩායමේ යටි අරමුණ සම්බන්ධයෙන් කරුණු හෙළි කර ගැනීමට පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු හෙවත් මේ ප්‍රහාර මෙහෙයවන පුද්ගලයාගේ නිවසේ තිබි පුද්ගලයන් 13 දෙනකුගේ නම් ඇතුළත් ලැයිස්තුවක් සොයා ගෙන ඇත. මේ නම් අතරින් 7දෙනකු දැනට අත්අඩංගුවට පත් අය බවද හෙළි වී ඇති අතර සෙසු පිරිස අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ මෙහෙයවයි.

තවද මේ කල්ලිය විදෙස් යම් සංවිධානයක් හෝ පුද්ගල කණ්ඩායමක් සමඟ සම්බන්ධකම් පවත්වන්නේද යන්න තොරතුරු හෙළි කර ගැනීමටද පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මේ වන විට වැදගත් තොරතුරු රැසක් හෙළි කරගෙන ඇති නමුත් ඒවායේ සත්‍යතාව හෙළි කර ගැනීම පිණිස පරීක්ෂණ පවත්වාගෙන යයි.

මේ සිද්ධියේ එනම් පසුගිය 26 වැනි දින මාවනැල්ල ලැන්ගහවෙල ප්‍රදේශයේ පිහිටි අඩි තුන හමාරක් පමණ උස ඇති බුදු පිළිමයකට ප්‍රහාරයක් එල්ල විය. එය සිදුවුයේ එදින පාන්දර තුනට පමණය. මේ ප්‍රහාරයෙන් පසු එදිනම මාවනැල්ල පිදුරුවත්ත හන්දියේ තිබු බුදු පිළිමයකට පාන්දර හතරට පමණ ප්‍රහාරයක් එල්ල විය. මේ ප්‍රහාරය එල්ල කිරීමට තරුණයක් දෙදෙනකු යතුරුපැදියකින් පැමිණ තිබුණි. ඉන් එක් අයෙක් ප්‍රදේශවාසීන් විසින් අත්අඩංගුවට ගෙන මාවනැල්ල පොලිසියට බාර දී තිබුණි.තවත් අයෙක් පළා ගොස් තිබුණි.මෙදිනම පාන්දර යටිනුවර වාලම්බඩ පොලිස් වසමේ තවත් පිළිමයකට හානි කර තිබූ අතර මේ සිදුවීම් සියල්ලක්ම එකම කාලයකදී සිදුවිය.

මේ ප්‍රහාර සම්බන්ධයෙන් මාවනැල්ල පොලිසියත් මාවනැල්ල දිසා අපරාධ විමර්ශන ඒකකයත් පරීක්ෂණ ආරම්භ කර තිබියදී පොලිස්පතිවරයාගේ උපදෙස් මත ඉහත සඳහන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු කණිඩායම පරීක්ෂණවලට මාවනැල්ලට යවා තිබුණි.

මේ සිද්ධි සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකපිට හත්දෙනකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කර පසුව අධිකරණවලට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් බාරයට පත් කර තිබුණි.

මේ අතර සිදු කරනු ලැබු පරීක්ෂණවලින් මාවනැල්ල බුදු පිළිමවලට හානි සිදු කරන ලදැයි සැක කරන පිරිස කුරුණෑගල පොතුහැර ප්‍රදේශයේ දේව පිළිම කිහිපයකට හානි සිදුකර ඇති බවටද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තොරතුරු ලැබී තිබුණි. ඒ අනුව පොතුහැර ප්‍රදේශයට ගිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විමර්ශන නිළධාරින් විසින් පොතුහැර පොල්ගහවෙල ප්‍රදේශයේදී සැකකරුවකු අත් අඩංගුවට ගෙන ඇත.

තවද මේ පහරදීම්වලට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් දෙදෙනා වන මාවනැල්ල ප්‍රදේශයේ පදිංචි දැනට පළා ගොස් ඇති සැකකරුවන් දෙදෙනා සොහොයුරන් බවද පැවසේ. මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුළුල් ලෙස පරීක්ෂණ පවත්වනු ලබයි.මොවුන් පිළිබඳ තොරතුරු සොයා සෑම පළාතකම ලුහුබඳිමින් සිටී. මොවුන් මේ වන විට තැනින් තැනට පළා යමින් සිටින අතර වැඩි කාලයක් ගතවීමට පෙර මේ දෙදෙනා කොටු කර ගැනීමට හැකි වන බවද විශ්වාස කෙරේ.

මේ අතර මීට දින කිහිපයකට පෙර පුත්තලම වනාතවිල්ලුව ප්‍රදේශයේ මේ පිළිමවලට පහරදීමේ සිද්ධින් වලට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් දෙදෙනා ඇතුළු පිරිසක් සැඟවී යම්කිසි සැක සහිත කටයුතුවල යෙදෙන බවට තොරතුරු හෙළි කර ගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වහාම එම ප්‍රදේශයට ගොස් පරීක්ෂා කිරීමේදී තරුණයන් සිවුදෙනකු එම පොල්වත්තක පාළු ප්‍රදේශයේ සිටිනු දැක ඔවුන්ගෙන් ඉහත සැකකරුවන් සම්බන්ධයෙන් ප්‍රශ්න කරන අවස්ථාවේ ඔවුන් පවසා තිබුණේ එම සැකකරුවන් දෙදෙනා සම්බන්ධව කිසිවක් නොදන්නා බවයි. මේ අතර අපරාධ පරික්ෂණ නිලධාරින් කණ්ඩායමේ එක් නිලධාරියකුට යම් සැක සහිත දෙයක් නිරීක්ෂණය විය. ඒ අනුව ඔවුන් එම සැක සහිත ස්ථානය පරීක්ෂා කිරීමේදි ප්ලාස්ටික් කෑන්වල දමා තිබු පුපුරණ ද්‍රව්‍ය තොගය සොයා ගැනීමට හැකි විය. විශේෂ කාර්ය බළකායේද සහාය ඇතිව මේ ද්‍රව්‍ය සොයා තවදුරටත් පරීක්ෂා කිරීමේදී තවත් පුපුරණ ද්‍රව්‍ය වෙඩි බෙහෙත් කිලෝ සියයකට වැඩි ප්‍රමාණයක් සමඟ තවත් වයර් බැටරි ආදියද සමඟ අරාබි භාෂාවෙන් සහ දෙමළ භාෂාවෙන් සඳහන් පොත් ආදියද සොයා ගැනිණි. තවද දින ගණනාවකට ආහාරයට ගත හැකි වියළි ක්ෂණික ආහාර තොගයක්ද මෙහි තිබී සොයා ගෙන තිබුණි. ඒ අනුව මේ ස්ථානයේ සිටි තරුණයන් සිවු දෙනා අත්අඩංගුවට ගෙන දින 90 රැඳවුම් නියෝග මත මේ වන විටත් ප්‍රශ්න කිරීම් සිදු කරගෙන යයි. තවද මේ පිරිස සැඟවී සිටි පාලු පොල්වත්තට සෝලා පවර් යටතේ විදුලිය ලබාගෙන ඇති අතර ඒ සම්බන්ධයෙන්ද අපරාධ පරීක්ෂණ විමර්ශණ කණ්ඩායමේ අවධානය යොමු වී ඇත. තවද මේ ස්ථානයේ යම් කිසි ආකාරයකට පන්ති පවත්වා ඇති බවටද තොරතුරු අනාවරණය වී ඇත.

මීට අමතරව පෙරේදා ප්‍රධාන සැකකාර තරුණයන් දෙදෙනාගේ මාවනැල්ල පිහිට නිවස පරීක්ෂාවට භාජනය විය. එහි තිබී යතුරුපැදියක් හිස්වැසුම් සමඟ ඉහත සඳහන් කළ නම් ලැයිස්තුවද සොයා ගෙන ඇත.තවද එම නිවසේ තිබී වායු රයිපලයක්ද සෙයාගත් බව පවසන පොලිසිය විවිධ තාක්ෂණික උපකරණ කිහිපයක්ද සොයාගෙන අනතුරුව පළාගොස් ඇති සැකකරුවන් දෙදෙනාගේ පියාද අත්අඩංගුවට ගෙන ඊයේ මාවනැල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රිමාන්ඩ් බාරයට පත් කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් මාවනැල්ල පොලිසියත් මාවනැල්ල දිසා අපරාධ විමර්ශන ඒකකයත් තවදුරටත් මේ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ සිදු කරගෙන යයි.


නව අදහස දක්වන්න