හොරණ-ඉන්ද්‍රදාස හෙට්ටිආරච්චිගම | දිනමිණ

හොරණ-ඉන්ද්‍රදාස හෙට්ටිආරච්චිගම

සැමට සෙවණ ජාතික නිවාස වැඩසටහන යටතේ නිවාසලාභීන්ගේ අයිතියට පත්කරනු ලබන 158 වන ආදර්ශ ගම්මානය,කළුතර දිස්ත්‍රික්කයේ හොරණ ප්‍රදේශයේ ඉදිවූ ,ඉන්ද්‍රදාස හෙට්ටිආරච්චිගම, ආදර්ශ ගම්මානයයි. නව නිවාස 27කින් සමන්විත ගම්මානයේ හිමිකරුවන් වනුයේ ප්‍රදේශයේ නිවාස අපේක්ෂාවෙන් සිටි දරු පවුල් සමූහයකි. කළුතර දිස්ත්‍රික්කයේ සැමට සෙවණ ආදර්ශ ගම්මාන වැඩසටහනින් නව ගම්මාන සමූහයක උදාව සිදුවිය. එමෙන්ම මෙවන් වු ආදර්ශ ගම්මාන රැසක් දිවයිනේ සෙසු ප්‍රදේශවල ඉදිවිය.

මේ ආදර්ශ ගම්මාන ක්‍රියාවලියේ පවත්නා සුවිශේෂත්වය වනුයේ උදාවන මේ ගම්මාන සියල්ල අදාළ ගම්මානයට ආවේණික වූ විශේෂිත නාමකරණයකින් ඇමතීමයි. නව ආදර්ශ ගම්මානය උදාවු ප්‍රදේශයේ ප්‍රභූවරයෙකු, ජාතික නායකයෙකු,සාහිත්‍යධරයෙකු ආගමික නායකයෙකු හෝ අන් කවර හෝ විශේෂිත පුද්ගලයෙකුගේ නමින් නම් කිරීම සැමට සෙවණ ආදර්ශ ගම්මාන වැඩපිළිවෙළින් සිදුවේ.

කළුතර දිස්ත්‍රික්කයේ හොරණ මැතිවරණ කොට්ඨාසයේ එදා නිමලගම නමින් හැඳින්වූ ඉපැරණි ගම් පෙදෙස සැමට සෙවණ ජාතික නිවාස වැඩසටහන යටතේ සංවර්ධන කාර්යයන් ආරම්භ කරනු ලැබුවේ 2017 වර්ෂයේදීය. නව නිවාසලාභීන් 27 දෙනෙකු මේ ජනාවාසය ආශ්‍රිත නිවාස සංවර්ධනය මුල්කොටගත් සෙසු සංවර්ධන කාර්යයන්ට දායකත්වය ලබාදෙනු ලැබීය.

එසේ වූ ක්‍රියාකාරකම්වලින් උදාවූ මේ නව ආදර්ශ ගම්මානය හොරණ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු සහ හිටපු ඇමැතිවරයකු වන ඉන්ද්‍රදාස හෙට්ටිආරච්චි මහතා නමින් නම්කර ඇත.

ප්‍රමුඛතම ජනතා නායකයෙකු වන හෙටිටිආච්චි මහතා හොරණ ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨතම දේශපාලනඥයෙකු වශයෙන් හඳුන්වාදිය හැකිවේ. ඉන්ද්‍රදාස හෙට්ටිආරච්චිගම ගම්මානයේ උදාවත් සමඟ ඉන්ද්‍රදාස හෙට්ටිආරච්චි මහතා සිය දේශපාලනික දිවි පෙවෙතින් තම ප්‍රදේශයටත් පොදුවේ රටටත් සිදුකරන ලද සේවාව පිළිබඳ කිසියම් විමසුමක් සිදුකිරීම වැදගත් වේ.

ඒ හේතුවෙන් අප පසුගියදා හොරණ ප්‍රදේශයේ සිය නිවහනේ විවේකීව ගතකරන ඉන්ද්‍රදාස හෙට්ටිආරච්චි මහතා හමුවී ඔහුගේ අතීත ක්‍රියාකාරීත්වය පිළිබඳ මතකය අවදි කිරීම සිදුකරනු ලැබීය. 1928 ඔක්තෝබර් මස 27 වැනිදින උපත ලද ඉන්ද්‍රදාස හෙට්ටිආරච්චි මහතා හොරණ කුරුපන රජයේ පාසලින් අධ්‍යාපනය ලබා, පසුව කොළඹ ආනන්ද සහ නාලන්ද විද්‍යාලවලින් උසස් අධ්‍යාපනය හදාරා තම පියාගෙන් උරුම වූ වැවිලි කර්මාන්තය සිය රැකියා ක්‍ෂේත්‍රය ලෙස හඳුනාගනු ලැබීය.

ඔහුගේම වචනයෙන් ප්‍රකාශ කරන පරිදි එය මෙසේය. " මම අධ්‍යාපන කටයුතු හැදෑරීමෙන් පසු මගේ පියා මාව සම්බන්ධ කරගත්තා. මගේ පියා සතු වැවිලි කර්මාන්ත ක්‍ෂේත්‍රයට. ඒ තුළින් තමයි මා පසුකලක ප්‍රදේශයේ සමාජ සේවා කාර්යයට යොමුවුණේ. 1948 වසරේ අපට මතකයි. ඩි. එස්. සේනානායක මහතා එදා හොරණ ප්‍රදේශයේ සංචාරයකට ආවා. ඒ කරුණ හේතුවෙන් තමයි මේ ප්‍රදේශයේ ජනසෙත කියන පදනම පිහිටෙව්වේ. ඒ ජනසෙත ව්‍යාපාරය හොරණ ප්‍රදේශයේ සංවර්ධන කටයුතු රැසකට මුල්වුණා. එයින් ලැබුණු අත්දැකීම් පදනම් කොටගෙන තමයි අපි බණ්ඩාරගම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා වූ හර්බට් වික්‍රමසිංහ මහතාගේ මුලිකත්වයෙන් ගම්සභාව හරහා ගමේ මාර්ග සංවර්ධනය මුල්කොටගත් සෙසු සංවර්ධන කටයුතු සිදුකළේ.

එදා ගම්සභාවේ නියෝජිතයන් ගමට වැඩකළේ වැටුපක් දීමනාවක් නොගෙන ගරු සේවයක් හැටියට. පසුව ප්‍රදේශයේ දේශපාලන ක්‍රියාවලියට මූලිකත්වයට පත්වුණේ ඒ. පී. ජයසූරිය මැතිතුමායි. එමෙන්ම පසුව හොරණ ප්‍රදේශයේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛතම දේශපාලන නායකයෙකු වු එම්. ඩී. එච්. ජයවර්ධන මහතා ප්‍රදේශයේ දේශපාලන කටයුතු මෙහෙයවනු ලැබුවා. එසේම එතුමා 1952 අවුරුද්දේ රජයේ මුදල් ඇමැතිවරයෙකු වශයෙනුත් කටයුතු කළා.

1956 මැතිවරණයේදී එම්. ඩී. එච්. ජයවර්ධන මහතාට විරුද්ධව මහජන එක්සත් පෙරමුණෙන් මැතිවරණයට ඉදිරිපත්වුයේ මගේ පාසල් මිතුරකු වු සාගර පලන්සුරිය මහතායි. 1956 මැතිවරණයෙන් සාගර පලන්සුරිය මහතා එම්. ඩි. එච්. ජයවර්ධන මහතා පරාජය කොට හොරණ ආසනය ජයග්‍රහණය කළා. එමෙන්ම 1960 මැතිවරණයෙන් හොරණ ආසනය ජයග්‍රහණය කළේ හිටපු අගමැති රත්නසිරි වික්‍රමනායක මහතායි. එතුමා 1965 සහ 1970 මැතිවරණයෙන් හොරණ මැතිවරණ කොට්ඨාසය ජයග්‍රහණය කළා.

මේ කාලපරිච්ඡේදය වනවිට හොරණ මැතිවරණ කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන කාර්යයන්හි වගකීම පක්ෂය විසින් මා වෙත බාරදෙනු ලැබුවා. 1977 වර්ෂයේදී එක්සත් ජාතික පක්ෂ රජය 2/3 මහජන බලයක් රටෙන් හිමිකරගන්නා අවස්ථාවේදී අපට පුළුවන්කම ලැබුණා හොරණ ආසනය ජයග්‍රහණය කරන්න. එම ජයග්‍රහණය එක්සත් ජාතික පක්ෂය ලැබුවේ 1956න් පසුවයි. ජේ. ආර්. ජයවර්ධන මහතාගේ මූලිකත්වයෙන් පත්වු රජයේ දිසා මට්ටමින් දිස්ත්‍රික් සංවර්ධන කාර්යයන් විධිමත්ව සිදුකිරීමට දිසා ඇමැති ධුර ඇතිකළා. ඒ අනුව පළමුවරට කළුතර දිස්ත්‍රික්කයේ දිසා ඇමැති ධුරයට එදා එතුමා මා පත්කරනු ලැබුවා.

රණසිංහ ප්‍රේමදාස මහතාගේ රජයේදී එතුමා විශේෂ අවධානයක් යොමුකළ ක්‍ෂේත්‍රයක් වුයේ, වැවිලි කර්මාන්ත කාර්යයයි. මා වැවිලි ක්‍ෂේත්‍රය පිළිබඳ අත්දැකීම් ලබා තිබීමත්,පොල් කර්මාන්තය පිළිබඳ දැඩි ඇල්මක් තිබීමත් හේතුවෙන්, ප්‍රේමදාස මහතාගේ රජයෙන් මා පොල් සංවර්ධන ඇමැති ධුරයට එතුමා මා පත්කරනු ලැබුවා.

ප්‍රේමදාස යුගයේ සිටම අපේ රජය නිවාස සංවර්ධනයට පැවතියේ විශේෂිත අවධානයක්. එදා අපිට මතකයි ආර්. ප්‍රේමදාස අගමැති මුළු රට පුරා උදා ගම්මාන ඉදිකර දි රට තුළ සිදුකළ නිවාස සංවර්ධන වැඩපිලිවෙල ආරම්භ වනතෙක් දුප්පත් මිනිස්සුන්ගේ නිවාස ප්‍රශ්නය පිළිබඳ අවබෝධයක් තිබුණේ නැහැ,තමන්ගේ ගේ දොර තමන්ට ඉදිකළ හැකිය යන මතය ජනතාව අතර ගොඩනැගුවේ උදාගම් ව්‍යාපාරයයි. ඒ නිසා රජයෙන් උදව් උපකාර අරගෙන ජනතාව ගෙවල් හදන්න ඉදිරිපත් වුණා. දුගී දුප්පතුන් අඩු ආදායම්ලාභීන් රජයෙන් ලැබෙන මේ අනුග්‍රහයත් සමඟ මෙය සිදුකරනු ලැබුවේ දිවයිනේ සෙසු ප්‍රදේශවල මෙන්ම මේ කර්තව්‍ය කළුතර දිස්ත්‍රික්කයේ හොරණ මැතිවරණ කොට්ඨාසය තුළත් අපට හොඳින්ම දැක බලාගන්න පුළුවන් වුණා. මෙය පසුකලක ජාත්‍යන්තර කීර්තියට පවා පත්වු සංවර්ධන වැඩසටහනක් බවට පත්වුණා.

මා මහජන මහජන මන්ත්‍රීවරයෙකු බවට පත්වීමෙන් පසු ප්‍රේමදාස මහතාගේ මඟපෙන්වීම යටතේ මේ නිවාස සංවර්ධන වැඩසටහනට සම්බන්ධ වුණා. ගෙවල් විතරක් නෙමෙයි. හැදෙන ගෙවල්වලට විදුලිය ලබාදීම, මාර්ග සකස් කිරීම වැනි කටයුතුවලට අපි මුදල් ප්‍රතිපාදන ලබාදුන්නා. මේ නිවාස වැඩසටහන හුදෙක් වැලි, ගඩොලින්, සිමෙන්තියෙන් පමණක් ගෙවල් හැදීම පමණක් නොවෙයි. එයට වඩා වැඩි ලොකු දෙයක් මෙහි තිබෙනවා. එදා කටුමැටි බිත්තියෙන් තාවකාලික නිවසක ජීවත්වුණු තාවකාලික නිවසත් එයට හේතුවුණා. නමුත් හොඳ ගෙයක් හදාගෙන තමන්ගේ පවුලේ සාමාජිකයන් සමඟ නව නිවසකට පැමිණෙන විට අතීතයේ සිදුවුණු වැරැදි නිවැරදි කරමින් ඔවුන් හොඳ දිවි පෙවෙතකට යොමුවෙනවා. ඒකතමයි උදාගම් ව්‍යාපාරයේ තිබෙන වැදගත් ලක්ෂණය. එදා රණසිංහ ප්‍රේමදාස මහතා දිවයින පුරා නිවාස ලක්ෂයක් හදනවා කියනකොට විරුද්ධ පක්ෂයේ සමහර අය එයට අවඥාවෙන් හිනහ වුණා. මිනිස්සු කොහොමද ගෙවල් ලක්ෂයක් හදන්නේ කියලා. නමුත් ප්‍රේමදාස මහතා ප්‍රායෝගිකව පෙන්නුම් කළා, ගෙවල් ලක්ෂයක් පමණක් නොවෙයි, එක්ලක්ෂ පනස් දහසක් හැදුව හැටි. ඒ විතරක් නොවෙයි. එතුමා පසුව මුළු රට පුරාම පවුල් ලක්ෂ 10කට නිවාස දසලක්ෂයක් හැදීමේ නිවාස 15 ලක්ෂයේ ජාතික වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක කළා.

මේ වැඩපිළිවෙළට මා ලබාදුන් අනුග්‍රහයට මට ලොකු ආඩම්බරයක් තියෙනවා. ඒ අන් කිසිවක් නිසා නොවෙයි ප්‍රේමදාස ජනාධිපතිගේ මවු නමින් .මවුගම. ආදර්ශ ගම්මානය නිර්මාණය කිරීමට හොරණ මැතිවරණ කොට්ඨාසයෙන් අපට හැකියාව ලැබීම ගැන.ප්‍රේමදාස ජනාධිපති අප රටේ අඩු ආදායම්ලාභී ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කරන ඇඟලුම් කර්මාන්තශාලා වැඩසටහන ඇරැඹුවා. එතුමා එදා කීවේ හැදෙන ගෙවල්වල ජිවත්වන සෑම අයෙකුටම ඇඟලුම් කර්මාන්තශාලා වැනි දේ තුළින් රැකියා හොරණ මැතිවරණ කොට්ඨාසයේ බොඩිලයින් ආශ්‍රිත කර්මාන්ත ශාලාව එතුමන්ගේ ඇඟලුම් කර්මාන්තශාලාව ආශ්‍රිතව ආරම්භ කළ කර්මාන්ත ශාලාව.

අද එතුමන්ගේ පුතනුවන් වන නිවාස ඉදිකිරීම්, හා සංස්කෘතික කටයුතු ඇමැති සජිත් ප්‍රේමදාස මහතා ඒ වැඩපිළිවෙළ වඩාත් ඵලදායි අයුරින් දිවයින පුරාම ක්‍රියාත්මක කිරීම ඇත්තෙන්ම සතුට දනවන කරුණක්. එදා ප්‍රේමදාස මහතාගේ උදාගම් ව්‍යාපාරයේ සියලුම වැදගත් ගුණාංග නිවැරදිව හඳුනාගනිමින් සජිත් ඇමැතිතුමාගේ වර්තමාන මේ ආදර්ශ ගම්මාන වැඩපිළිවෙළින් ක්‍රියාත්මක කිරීම නිසා, අද මේ වැඩපිළිවෙළ වර්තමානයේ අප රටේ ක්‍රියාත්මක කරන සාර්ථක සංවර්ධන වැඩසටහනක් බවට පත්ව තිබෙනවා.

මහජන නියෝජිතයන් විසින් සිදුකළ යුත්තේ ජනතාවගේ සැබෑ අවශ්‍යතාවන් නිවැරදිව තේරුම් ගනිමින් ඒවා ජනතාවට වඩාත් සමීපවන ආකාරයෙන් ඔවුන් සමඟ ක්‍රියාත්මක කිරීමයි. ඒවා නිවැරදිව තේරුම්ගත් දේශපාලනඥයා සැමදාම ජනතාව අතර සිටිනවා. එය නිවැරදිව තේරුම් නොගැනීම ජනතාව ප්‍රතික්ෂේප කිරීමට හේතුවෙනවා. වර්තමානයේ ක්‍රියාත්මක කරන ආදර්ශ ගම්මාන වැඩසටහනේ නිවාස සංවර්ධන වැඩපිළිවෙළ ජනතාවගේ නිවාස අවශ්‍යතාව හරියටම තේරුම්ගෙන තිබෙන බව පේනවා. ඒ නිසාම තමයි රටපුරා මේ තරම් වේගවත්ව නිවාස ඉදිකිරීම සිදුවන්නේ.

මේ නව ආදර්ශ ගම්මාන සඳහා අපගේ නම් නියම කිරීම පිළිබඳ අපට ඇත්තේ ඉමහත් සතුටක්. එමෙන්ම මා ජීවිතයේ ලබපු උතුම්ම ත්‍යාගය තමයි, මම සේවය කරපු, මම උදව් කරපු ජනතාව ජීවත්වුණු මේ ගම් ප්‍රදේශ අපේ නමින් හැඳින්වීම. මේ සතුටට වඩා ලැබිය හැකි තවත් සතුට කුමක්ද? එදා ප්‍රේමදාස ජනාධිපති උදා ගම්මාන හදන අවස්ථාවේදි අපට මතකයි ඒ වැඩසටහනට දායක වුණු පුද්ගලයන් මෙන්ම ජාතික නායකයන් නමින් උදාගම් ව්‍යාපාරයෙන් නිර්මාණය වුණු ගම්මාන නම්කරනු ලැබුවා. අද එතුමාගේ පුතනුවන් වන වර්තමාන නිවාස ඇමැති සජිත් ප්‍රේමදාස අමාත්‍යතුමන් ඒ කර්තව්‍ය ඉදිරියට ගෙනයමින් උදාවන මේ ගම්මාන නම්කිරීම ඉතා උසස් කටයුත්තක්.

මෙය, මෙරට දේශපාලනයේ නියුතු වූ ජ්‍යෙෂ්ඨතම දේශපාලඥයෙකුගේ සමාජ මෙහෙවරේ අතීත ආවර්ජනයකි. ඔහු කළ මෙහෙවරට කෘතවේදීත්වයට හොරණ නිමලගම ,ඉන්ද්‍රදාස හෙට්ටිආරච්චිගම, නම් විය. එය ජන අයිතියට පත්වන අද (25) වැනි දවසක් මෙවන් වු ජාතික මෙහෙවරකට දායකවූ සියලු පාර්ශ්වයන්ටද සතුටට හේතුවක් වනු නොඅනුමානයි.

ලක්වි­ජය සාගර පල­න්සූ­රිය    

නව අදහස දක්වන්න