විදෙස් දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට | දිනමිණ

විදෙස් දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද(25) අලුයම කටුනායක ගුවන් තොටුපළේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය.
 
පන්නල ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි සුළු පරිමාණ ව්‍යාපාරිකයෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
 
ඔහු අද දින අලුයම 5.32 ට ඩුබායි සිට පැමිණි ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ්.- 557 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ, එහි කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති " හරිත මාවත " ඔස්සේ ගුවන් තොටුපළෙන් පිටව යෑමට තැත් කරමින් සිටියදී රේගු නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබුණි. 
 
එහිදී ඔහු විසින් ගෙනවිත් තිබූ ගමන් මලු වල රුපියල් 19,14,000 ක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි වර්ග දෙකක 34,800 ක් අඩංගු දුම්වැටි කාටූන් 174 ක් සඟවා ගෙන තිබූ බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
 
මේ පිළිබඳව විධිමත් රේගු පරීක්ෂණය නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ඩබ්ලිව්.ටී.ද.සිල්වා මහතා විසින් පැවැත්වූ අතර, එහිදී මෙම දුම්වැටි තොගය රාජසන්තක කර, මේවා නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ආ ව්‍යාපාරිකයාට රුපියල් 50,000 ක දඩ මුදලක් ගෙවන ලෙසද නියෝග කර තිබේ.
 
 

නව අදහස දක්වන්න