මාර්ග තදබදයට ඩිජිටල් විසඳුම් | දිනමිණ

මාර්ග තදබදයට ඩිජිටල් විසඳුම්

දියුණු මගී හා භාණ්ඩ ප්‍රවාහන සේවාවක් පවතින ඕනෑම රටක සමාජ, ආර්ථික සංවර්ධනය ඉහළය. එසේ වුවත් දකුණු ආසියාවේ අප වැනි රටවල පමණක් නොව ලොව දියුණු රටවල පවා ඇතැම්විට බොහෝ මාර්ග පද්ධතිවල දැඩි වාහන තදබදයක් පවතින බව නොරහසකි. එසේ වනුයේ සැලසුම් සහගතව මාර්ග තදබදයන්ට විසඳුම් ලබාදීමට නොහැකිවීමෙනි.

ශ්‍රී ලංකාවේ අප කාර්යබහුල වේලාවන්හිදී මාර්ග පද්ධතියේ පවතින දැඩි තදබදයෙන් මිදීමට කුමක් කළ යුතුද? ඒ සඳහා අඩු වියදම් තොරතුරු විශ්ලේෂණ දත්ත ලබාගැනීම් වැදගත් වේ. මේ පිළිබඳව කතිකා කිරීමට අප මොරටුව විශ්වවිද්‍යාලයේ සිවිල් ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ ප්‍රවාහන ඉංජිනේරු අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය දිමන්ත ද සිල්වා මහතා හමුවුනෙමු.

ශ්‍රී ලංකාවේ අධික ලෙස පවතින මාර්ග තදබදයට විසඳුම් සෙවිමේදී ඊට අවශ්‍ය තොරතුරු දත්ත වඩාත් නිවැරැදිව අඩු වියදමකින් පහසුවෙන් හා ඉතා ඉක්මනින් ලබාගැනීමට හැකි ක්‍රමවේදයක් ආචාර්ය දිමන්ත ද සිල්වා මහතා ප්‍රමුඛ පිරිස සොයා ගෙන ඇත.

ඒ අධික රථවාහන හා මාර්ග තදබදයන්ට විසඳුම් ලබාගැනීමට සහය විය හැකි තොරතුරු සැපැයීමක් වේ. ගූගල් තදබද Google Traffic දත්ත භාවිතා කිරීම තුළ අපට රථවාහන තදබදයට විසඳුම් සෙවිය හැකිය.

ඒ පිළිබඳව අදහස් දක්වමින් ආචාර්යවරයා දැක්වූ අදහස් මෙසේය.

අප ප්‍රවාහනයේ ගුණාත්මකභාවය පිළිබඳව සලකා බලන ප්‍රධාන මිම්මක් වනුයේ එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට ගමන් කිරීමට ගතවන කාලය කොපමණද? යන්නයි. ‍ෙම් සඳහා වැඩි කාලයක් ගතවේද? අඩු කාලයක් ගත වන්නේද? යන්න මත ප්‍රවාහනයේ ගුණාත්මකභාවය මැනගත හැකිය.

ඒ අනුව යම් ස්ථානයක සිට තවත් ස්ථානයකට ගමන් කිරීමට ගතවන කාලය පිළිබඳව වඩාත් නිරවද්‍ය තොරතුරු දත්ත ලබාගැනීම කළ යුතුය. මේ දත්ත සැලසුම් සකස් කරන්නන්ට, ඒවා භාවිතා කොට මෙහෙයුම් ක්‍රියාවලියට සම්බන්ධවන්නන්ට ඇගයීම් සිදුකරන්නට ඉතාම වැදගත් වේ.

මේ වනවිට භාවිතයට ගන්නා මාර්ග තදබද දත්ත ලබාගැනීමට ඉතාම මිල අධික ක්‍රමවේදයක් භාවිතයට ගනු ලබයි. එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට ගමන් කිරීමට කොපමණ කාලයක් ගතවේදැයි මැන බැලීමට පරීක්ෂණ වාහනයක් (Test vehicle) පිටත් කළ යුතුය. එහෙත් උදෑසන 6.00 සිට 7.00 දක්වා කාලය තුළ යම් තැනක සිට යම් තැනකට වාහනයක් ගමන් කිරීමට ගතවන කාලය මැන බැලුවා යැයි කියමු. නමුත්! එම මාර්ගයේම 6.05, 6.10 වාහනයක් ගමන් අරඹා ගමන නිමා කර ගතවන වේලාව සෙවීමට වාහන දෙකක් පිටත් කර යැවිය යුතුය. ඒ අනුව විවිධ වේලාවන්හිදී ගමනාන්තයට ගතවන කාලය මැන බැලීමට අවශ්‍ය වුවහොත් පරීක්ෂණ වාහන රාශියක් පිටත්කර යැවීමට සිදුවේ. එය ඉතාම මිල අධික වූ මෙහෙයුමකි.

එපමණක් නොව යම් තැනක සිට තවත් තැනකට පැමිණෙන වාහන පිළිබඳව දත්ත ලබාගැනීමට වාහන ලියාපදිංචි අංක තහඩු මත ගණන් බැලීමක් සිදුකරන්නේ නම්, ඊට වඩාත් ඉහළ මානව සම්පතක් යෙදවිය යුතුය.

මේ අන්දමේ ප්‍රායෝගික දුෂ්කරතා හා මිල අධික විසඳුම් වෙනුවට රථවාහන තදබද දත්ත පහසුවෙන් වඩාත් නිවැරැදිව කාර්යක්ෂමව ලබාගැනීමට විකල්ප වෙත අප ‍යොමුවී තිබේ. එය ඉතාම කාලෝචිත යොමුවීමකි.

මීට අවුරුදු 1 ½ කට පෙර මොරටුව විශ්වවිද්‍යාලයේ සිවිල් ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ ප්‍රවාහන ඉංජිනේරු අංශයේ සකිත කුමාරගේ ශිෂ්‍යා ප්‍රමුඛ පර්යේෂණ කණ්ඩායමක් මඟින් ගූගල් දත්ත භාවිතා කිරීමේ ඇති හැකියාව පිළිබඳව අධ්‍යයනයක් සිදුකිරීම ඇරඹූහ. අද වනවිට අප ජන සමාජයේ ජීවත්වෙන බොහෝ දෙනා සතුව නවාංග සහිත ජංගම දුරකථන (Smart Phone) තිබේ. මේ අයුරින් ඉහළ ස්මාර්ට් ෆෝන් භාවිතා කරන්නන් හරහා ඔවුන්ගේ ගමන් බිමන් ගූගල් මඟින් නිරීක්ෂණය ‍‍ කොට නිවැරැදි දත්ත ලබාගැනීමක් සිදුකර ගත හැකිය. මෙහිදී ස්මාර්ට් ෆෝන් පාවිච්චි කරන්නා දැන හෝ නොදැන මේ දත්ත ලබාගැනීම්වලට සම්බන්ධ වුව ඔහු හෝ ඇයට හෝ ඉන් අගතියක් සිදුනොවේ. එය ඒ නිසාම අකටයුත්තක් ද නොවේ.

මේ ආකාරයට API නම් වූ කෙටි යෙදුමෙන් හඳුන්වන “යෙදුම් ක්‍රමලේඛන අතුරු මුහුණත” ඔස්සේ අපට තොරතුරු ලබාගත හැකිය. මෙමඟින් ඕනෑම වේලාවක, ඕනෑම ස්ථානයක, ඕනෑම දුරක් ගමන් කිරීමට ගතවන කාලය පිළිබඳව දත්ත ලබාගත හැකිය.

මේ අන්දමට ලබාගත් දත්ත සඳහා මුදල් ගෙවීමක් හෝ දත්ත ලබාගැනීමට මුදල් වැයකිරීමක් හෝ සිදුකළ යුතු නොවේ. එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට ගමන් කිරීමට ගත වන කාලය නිවැරැදිව ලබාගැනීමට මේ දත්ත තුළින් පුළුවන. කිලෝ මීටර් 50 – 75 ක් අතර ගමනාන්තයක් සඳහා ගතවන කාලය පිළිබඳව දත්තවල නිවැරැදිතාවය සියයට 95%, 96% වේ. ඊට වඩා දුර ගමනාන්තයක් පිළිබඳව තොරතුරු දත්තවල පවතින නිරවද්‍යතාව සියයට 76 ක් පමණ වේ.

අප විසින් මේ ගූගල් දත්ත වඩාත් පහසුවෙන් රටේ ජනතාවට ප්‍රවාහන අංශයේ ප්‍රශ්නවලට විසඳුම් සොයන්නන්ට ලබාගැනීම සඳහා දියුණු මෘදුකාංගයක් නිර්මාණය කොට ඇත. එය ‘M-TRADA” නම් වේ.

මෙම ක්‍රමය භාවිතා කරමින් මාර්ග සංවර්ධන අධිකාරිය,ශ්‍රී ලංකා පොලීසිය සමඟ එක්ව විශ්ලේෂණ ගණනාවක් සිදුකොට ඇත. ජපානයේ ටෝකියෝ නගරයේ අධික වාහන තදබදය දුරුකිරීමට ද ක්‍රියාකොට තිබේ.මේ මෘදුකාංගය හරහා ලොව ඕනෑම තැනක පවතින රථවාහන, මාර්ග තදබද පිළිබඳ ඕනෑම දත්තයක් ලබාගත හැකිය. මේ දත්ත පරිහරණය කරමින් ඕනෑම අයෙකුට මාර්ග තදබදයෙන් මිදී ගමන් කිරීමට විකල්ප මාර්ග පිළිබඳව දැනුම්වත් කිරීම් ලබාගත හැකිය. එමෙන්ම මාර්ග තදබද අවම කිරීමට නව විසඳුම් සොයන්නන්ට මේ දත්ත භාවිතා කිරීම මහඟු පිටුබලයක් වනු ඇත. ඒ සඳහා අවශ්‍ය ඕනෑම කෙනෙකුට සහාය ලබාදීමට පර්යේෂණ කණ්ඩායම සූදානම්ය.


නව අදහස දක්වන්න