ණය නොවී උපයන්න | දිනමිණ

ණය නොවී උපයන්න

කොටස් වෙළෙඳපොළක් යනු කුමක්ද?

කොටස් වෙළෙඳපොළක් මඟින් එහි ලැයිස්තුගත වූ සමාගම් විසින් නිකුත් කරනු ලබන සුරැකුම්පත් විකිණීමට හා මිලදී ගැනීමට අවශ්‍ය ද්විතියික වෙළෙඳපොළ පහසුකම් සපයනු ලබයි. මෙහිදී පොදු සමාගම් තමන්ට අවශ්‍ය කරන ප්‍රාග්ධනය සපයා ගැනීමට කොටස් හෝ ණයකර නිකුත් කරන අතර ආයෝජකයන්ට තැරැව්කාර ආයතන හරහා ඒවා මිලදී ගැනීමේ හැකියාව පවතී. ශ්‍රී ලංකාවේ මෙම කටයුතු සිදුකිරීම සඳහා අවශ්‍ය අධිකාරිමය බලය ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව මගින් කොළඹ කොටස් හුවමාරුවට ලබාදී තිබේ.

කොටස් යනු මොනවාද?

ඉතාම සරළව කිවහොත් කොටසක් යනු සමාගමක ආංශික අයිතිය හිමිකර දෙන්නකි. එමෙන්ම එමගින් සමාගමේ ප්‍රාග්ධනයෙන් කොටසක් නිරූපණය කරයි. ඔබ ඕනෑම සමාගමක එක කොටසක් හෝ කොටස් කිහිපයක හිමිකරුවකු නම් ඔබට අදාළ සමාගමේ ආයෝජනය කිරීම හේතුවෙන්, ලාභාංශ හා අනෙකුත් ප්‍රතිලාභ මෙන්ම මහා සභා රැස්වීම්වල ඡන්දය භාවිතා කිරීමේ අයිතියද ලැබේ. එමෙන්ම කොටස් හිමියන්ට තම කොටස් වෙළෙඳපොළෙහි මිලදී ගත් අගයකට වඩා ඉහළ අගයකට වීකුණා අනාගතයේදී ලාභ හිමිකරගැනීමටද අවස්ථාව එළඹිය හැක.

කොටස්වල ආයෝජනය

ආයෝජනය කිරීමේදී විවිධ මාර්ග හා සම්පත් භාවිතා කල හැකි වූවත් මුල්‍යමය සම්පත් නැතිනම් මුදල් ආයෝජනයේදී අනෙකුත් ආයෝජන මාර්ග වලට සාපේක්ෂව කොටස්වල ආයෝජනය වැඩි ප්‍රතිලාභ ගෙනෙන්නක් බව ඔබ මේ වන විටත් දැනුවත්ව සිටින කාරණාවක් විය හැකිය. අනාගත මුල්‍යමය ප්‍රතිලාභ අපේක්ෂාවෙන් වර්තමානයේ කොටස් මිලදී ගැනීම සඳහා කරනු ලබන වැය කිරීම කොටස්වල කරනු ලබන ආයෝජනයකි.

සමාගම් කොටස් නිකුත් කරන්නේ ඇයි?

සමාගම් කොටස් නිකුත් කරන්නේ ආයෝජකයන්ගෙන් මුදල් ලබාගෙන එම මුදල් ප්‍රාග්ධනය ලෙස යොදා තම ව්‍යාපාරය දියුණු කරගැනීමටයි. කොටස් නිකුත් කිරීමෙන් හා සිය අරමුදල් සඳහා මුදල් ණයට ලබාගැනීම මගින් ප්‍රාග්ධනය වර්ධනය කරගැනීම කළ හැකියි. එමෙන්ම සමාගමක් අරමුදල් වර්ධනය කර ගැනීම සඳහා බැංකුවකින් ණයට ගැනීම හෝ බැදුම්කර නිකුත් කළහොත් මේවා ණය ප්‍රාග්ධනය ලෙස අර්ථකථනය කෙරේ. යම් සමාගමක් කොටස් නිකුත් කිරීම හරහා මුදල් උපයා ගනී නම් මෙම අරමුදල් කොටස් ප්‍රාග්ධනය ලෙස හැදින්වේ.

මෙම ප්‍රාග්ධන වර්ගයන්හි වෙනස නම් ණය ප්‍රාග්ධනය සපයා ගැනීමේදී එම ප්‍රාග්ධනය ලබාගත් පාර්ශ්වයට ආපසු ගෙවිය යුතු අතර කොටස් ප්‍රාග්ධනය ලබාගැනීමේදී එය නැවත ආපසු ගෙවීමක් සිදු නොවන අතරම නොකඩවා සමාගමේ අයිතිය එමගින් නිරූපණය කෙරේ.

ලැයිස්තුගත සමාගමක් යනු කුමක්ද?

සමහර විට සමාගම තම තත්වය වර්ධනය කරගැනීම සඳහා කොටස් වෙළෙඳපොළක ආයෝජකයන්ට කොටස් නිකුත් කිරිම සිදු කරයි. මෙය මුලික කොටස් නිකුතුවකි. මෙලෙස ලැයිස්තුගත සමාගමක් හරහා තම සමාගමේ කොටස් අදාළ රටේ කොටස් වෙළෙඳපොළ තුල ගනුදෙනු කිරිමේ හැකියාව පවතී. මෙවැනි සමාගම් ලැයිස්තුගත සමාගම් ලෙස හඳුන්වයි. මොවුන් ලැයිස්තුගත වීමේදී අදාළ කොටස් වෙළෙඳපොළේ පවතින ලැයිස්තුගතවීමේ රිතීන් අනුගමනය කළ යුතුය.

කොළඹ කොටස් හුවමාරුව (CSE – Colombo Stock Exchange)

කොළඹ කොටස් හුවමාරුව ශ්‍රී ලංකාවේ එකම කොටස් වෙළෙඳපොළ ලෙස ක්‍රියාත්මක වන අතර එමඟින් සමාගම්වලට සහ ආයෝජකයන්ට හමුවීම සඳහා අවශ්‍ය විධිමත් පරිසරය සකස් කරයි. එපමණක්ද නොව කොළඹ කොටස් හුවමාරුව වෙළෙඳපොළ සඳහා අවශ්‍ය නියාමනය, රෙගුලාසිකරණය, සංස්ථාපිත ලැයිස්තුගත සමාගම් අතර ප්‍රමිතීන් හඳුන්වාදීම හා පවත්වා ගෙන යාම සහ ආයෝජකයන්ට අවශ්‍ය දැනුමවත්භාවය ලබාදීම සිදුකරයි.

ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව (SEC – Securities and Exchange Commission)

ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිසන් සභාව, කොළඹ කොටස් වෙළෙඳපොළ කටයුතු අධීක්ෂණය විධිමත් කිරීම සඳහා ව්‍යවස්ථාදායක පනතක් මගින් පිහිටුවා ඇති රජයේ ආයතනය වේ.

කොටස් තැරැව්කාර ආයතන (Stock Broker Firms) යනු මොනවාද?

කොටස් වෙළෙඳපොළ ගනුදෙනු සිදුකිරීම සඳහා බලයලත් කොටස් වෙළෙඳපොළෙහි සමාජිකත්වය උසුලනු ලබන ආයතන කොටස් තැරැව්කාර ආයතන ලෙස හැදින්වේ. කොටස් ණයකර විකිණීම හෝ මිලදී ගැනීම සඳහා සෑම ආයෝජකයෙකුම තැරැව්කාර සමාගමක් ඔස්සේ වෙළෙඳපොළට පිවිසිය යුතුය. කොළඹ කොටස් හුවමාරුවෙහි පුර්ණ සමාජිකත්වය (Full Members) උසුලනු ලබන තැරැව්කාර ආයතන ප්‍රමාණය 15ක් වන අතර ණයකර සහ කොටස් ගනුදෙනු සඳහා අවසර ලත් ගනුදෙනු සමාජිකයන් (Trading Members) 11ක්ද ණයකර පමණක් ගනුදෙනු කිරීමට තවත් තැරැව්කාර ආයතන 3ක්ද වේ. සියල්ලටම තැරැව්කාර ආයතන ලෙස ක්‍රියාත්මක වීමට අවශ්‍ය බලපත්‍ර, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව මගින් ලබා දී ඇත.

මීළඟ සිකුරාදා කොටස් වෙළෙඳපොළ පිළිබඳව තවත් දැනගතයුතු දේසමඟ නැවත හමුවෙමු.

වැඩි විස්තර සඳහා වෙබ්අඩවිය : www.cse.lk, දුරකථන අංක + 94 11 2356456, ඊ මේල් : [email protected]

නව අදහස දක්වන්න