කුමන ක්‍රමයට හරි ඡන්දය තියමු | දිනමිණ

කුමන ක්‍රමයට හරි ඡන්දය තියමු

දුමින්ද සම්පත්
පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක සහ අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජේ. සී. අලවතුවල

මීළඟ මැතිවරණයට සූදානම් වීම, පළාත් සභා මැතිවරණය කල්යෑම, ජනාධිපතිවරණය, ජනාධිපති ‍අපේක්ෂකයන්, පක්ෂ අර්බුද ආදී කරුණු සඳහා මෙවර අදහස් දෙකෙහි ඉඩ වෙන් වේ.

පළාත් සභා කල්යාම එක්ක ජනතාවගේ ඡන්ද අයිතිය නැතිවෙන බවට චෝදනා එල්ල වෙනවා?

ඒක ඇත්ත. අපි යහපාලනය ගේනකොට මේ රටේ මැතිවරණ ක්‍රමය වෙනස් කරනවා කියලා කිව්වා. මැතිවරණ ක්‍රමයේ අඩුපාඩු ගැන අපේ ලොකු විවේචනයක් තිබුණා. මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම ගැන සියලුම පක්ෂ කතා කළා. පළාත් පාලන මැතිවරණය නව ක්‍රමයට තියන්න යම් කාලයක් ගියා. ප්‍රාදේශීය සභා මැතිවරණය ඉවරවෙනකොට පළාත් සභා ආවා. ඒ වෙනකොට ආසන ක්‍රමය ගැන 20 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවෙත් ජනතාව අතරත් කතාබහ‍වෙමින් තිබුණා. එළහරකයි මීහරකයි වගේ මැතිවරණ ක්‍රම දෙකක් රටට හොඳ නැති නිසා පළාත් සභා ඡන්දය අලුත් ක්‍රමයට තියන්න සාකච්ඡා පටන් ගත්තා. ඒ නිසා යම්කිසි කාලයක් ගතවුණා. ඒත් දැන් මිනිස්සු පළාත් සභා ඡන්දය ඉල්ලනවා. මැතිවරණ ක්‍රමය වෙනස්විය යුතුයි කියලා මම විශ්වාස කරනවා. පළාත් සභා නිල කාලය අහෝසිවීම නිසා රට නිලධාරින් පාලනය කරන තත්ත්වයට පත්වෙලා. ඒක නරක තත්ත්වයක්.

පළාත් සභා මැතිවරණය කඩිනමින් තියන්න දින 51 ආණ්ඩු කාලෙ කෙටුම්පතක් සැකසූ බව කියනවා. මේ ගැන ඔබ මොකද කියන්නෙ?

පරණ ක්‍රමයට හෝ ඡන්දෙ තියමු කියන යෝජනාව ආවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ යෝජනාවට එකඟද?

අපි අවුරුදු 3 ½ ක් කිව්වෙ ඒක නෙවෙයි. ඒ කියපු කතාව දින 51 දී වෙනස් කරන්න මට බැහැ. ඡන්දෙ කල්යාම නිසා කුමන ක්‍රමයට හෝ ඡන්දෙ තියමු කියන ස්ථාවරයට පක්ෂය ආවා. අලුත් ක්‍රමේට ඡන්දෙ තියන වැඩේ හරියට සිද්ධවෙන්නෙ නැත්නම් අපිට සිද්ධවෙනවා තීන්දුවක් ගන්න. හැමදාම පළාත් සභා ඡන්දය කල්දාන්න බැහැ.

ඡන්ද කඩින්කඩ තැබීම ප්‍රජාතන්ත්‍රවාදයට හානියක්. මේ නිසා එකවර ඡන්ද පැවැත්විය යුතුයි කියන මතයේ යහපාලන ආණ්ඩුව හිටියා. මේ ගැන ඔබ මොකද කියන්නෙ?

නිල කාලය අවසන් නැති පළාත් සභා තුනක් විසුරුවන්න පුළුවන්. එකම දිනක මැතිවරණ තියන්න නම් නීති වෙනස් වෙන්න ඕන. ජනාධිපතිට, මහඇමැතිට ඕන දිනවලට පළාත් සභා විසුරුවන්න බලය දුන්නොත් ලංකාවෙ පළාත් සභා ඡන්දෙ එකවර තියන්න පුළුවන් වෙන්නෙ මුල්ම අවස්ථාවෙ විතරයි

පළාත් සභා මැතිවරණය පළමුව පැවැත්වුවොත් පොදුජන පෙරමුණ හැටියට ඉදිරිපත් වෙන බව මහින්ද රාජපක්ෂ මහතා කියනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පුළුල් සන්ධානයක් හැටියට ඡන්දෙ ඉල්ලනවා. රටත්, අපිත්, ශ්‍රි ලංකා නිදහස් පාක්ෂිකයත්, පොහොට්ටු පාක්ෂිකයත්, අපි ඇති කරගත්ත එකඟතාව දැක්කෙ අපි දෙගොල්ල එකතු වුණා කියලයි. ඒ හින්ද මේ රටේ මහා ලොකු වෙනසකුත් කළා. තනතුරුත් බෙදා ගත්තා. එහෙම කරලත් වෙනස්වීම පොහොට්ටු පක්ෂයෙ වැඩක්. ඇති කරගත් එකඟතාව අනුව පොහොට්ටු පක්ෂය තවදුරටත් අපේ සන්ධානය තුළ ඉන්නව කියන විශ්වාසය මට තියෙනවා. වෙනස්වීම ඒ අය‍ෙග කැමැත්ත.

පොදුජන පෙරමුණ තනිව පළාත් පාලන මැතිවරණය ජයග්‍රහණය කළා. එවැනි පසුබිමක ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයෙක් වන මෛත්‍රීපාල සිරිසේන මහත්තයව ජනාධිපති අපේක්ෂක කරන්න යෝජනා කිරීම ප්‍රායෝගිකද?

ඇයි නැත්තෙ? කවුද ඒ අයගෙන් ඉල්ලන අපේක්ෂකයා?

පොදුජන පෙරමුණ වෙනුවෙන් නම් කීපයක්ම යෝජනා වෙනවා?

ඒ කියවෙන අයට ඡන්දෙ ඉල්ලන්න බැහැනෙ. ඡන්දෙ ඉල්ලන්න සුදුස්සො වෙන්න ඕන. ජනාධිපති මැතිවරණයට ඡන්දෙ ඉල්ලන්න ව්‍යවස්ථාවට අනුව මූලික සුදුසුකම් තියෙනවා?

මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති අ‍ෙප්ක්ෂක කියන අය, එහෙම කරන්නෙ මෛත්‍රීපාල සිරිසේන මහත්තයව නැති කරන්න බව එස්. බී. දිසානායක මහතා කියනවා?

ඒ, එස්. බී. දිසානායක මහත්තයගෙ මතය. එතුමා මොන කණ්ඩායම නියෝජනය කරනවද කියල මම දන්නෙ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙ කණ්ඩායම හිතන්න ඕන අපේ පක්ෂය ඉදිරියට ගේන විදියක්. අපියි පොහොට්ටුවයි එකතු වුණේ එකඟතා මත. ඊළඟ මැතිවරණය අපි එකට ඉල්ලනව කියන එක ඒ කොන්දේසිවල නැද්ද? එකට ඉල්ලනවා නම් ජනාධිපති අපේක්ෂකය කොයි පැත්තෙන්ද එන්නෙ. අපි එකට‍ නෙවෙයිද පළාත් සභා ඡන්දෙ ඉල්ලන්නෙ? එස්. බී. දිසානායක මහත්තය කියන විදියට අපි කිසිම එකඟතාවකට ඇවිත් නැද්ද? එහෙනම් අපි ඒක ජනතාවට කියන්න ඕන. ඊළඟ ජනාධිපති අපේක්ෂකය කවුද කියලා එකඟ වෙච්ච එක රටට කියන්න බැරි ඇයි?

මේ එකතුවීම තුළ ඉදිරි මැතිවරණවලදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ මෛත්‍රීපාල ජනාධිපතිතුමාගෙ පාර්ශ්වයට අසාධාරණකම් ඇතිවෙන්න පුළුවන් බව මහින්ද සමරසිංහ මහතා කියනවාද?

පාඩුවක් තියනවා. මහින්ද රාජපක්ෂ මහත්තය අගමැති වෙච්ච ගමන් අපේ ගොඩක් අය ගිහින් මැති ඇමැතිකම් ගත්තත් මම ගත්තෙ නැහැ. එකඟතාව මොකක්ද කියල දන්නෙ නැතුව එකපාරම අගමැති කෙනෙක් දිවුරුම්දීල ඊට පහුවදා අපට ඇමැතිකම් ගන්න කිව්වම ඒව ගන්න අපි දේශපාලන රූකඩ නෙවෙයි. මෛත්‍රීපාල මහත්තයව පරද්දන්න මහින්ද රාජපක්ෂ මහත්තයත් එක්ක වැඩකරල, මෛත්‍රීපාල මහත්තය දින්නට පස්සෙ අපේ සභාපති කියල එතුමත් එක්ක එකතුවෙච්ච කෙනෙකුත් නෙවෙයි මම. මෛත්‍රීපාල මහත්තයව දිනවන්න ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයො එකතු කරපු කෙනෙක් මම. අපේ සංවිධායකයො මෛත්‍රීපාල මහත්තයව දාලා යනකොට සංවිධායකයො හදල දුන්නෙ මම. මේ අවුරුදු 3 ½ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙ හිටපු කණ්ඩායම පොහොට්ටුවට යනකොට අලුත් කණ්ඩායමක් පක්ෂෙට එකතු කරල ඒකට නායකත්වය දුන්නා. මට ඕන ඕන තීන්දු ගන්න බැහැ. දින 51 ආණ්ඩුවෙ ඇමැතිකම් නොගෙන ඉන්නකොට මහින්ද මහත්තය බැසිල් මහත්තය පොහොට්ටුවෙ නායකයො මගෙ ගෙදරට ඇවිල්ල සාකච්ඡා කළා. ඒ කතා කළේ අපේ මිනිස්සුන්ට මොකද වෙන්නෙ කියන එක. මම මගෙත් එක්ක හිටපු මිනිස්සු ආරක්ෂා කරනවා.

ඉදිරි මැතිවරණවලදී පොහොට්ටුව ලකුණින් තරග කළ යුතු බව පළාත් පාලන සංසදයෙ සභාපති උදේනි අතුකෝරල මහත්තය බැසිල් රාජපක්ෂ මහත්තය හමුවේ කියා තිබෙනවා?

කිසිම හේතුවක් නිසාවත් පොහොට්ටුව ලකුණෙන් අපි තරග වදින්නෙ නැහැ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමට කියමින් වෙනම කණ්ඩායමක් පෙනී ඉන්නවා. මේ ගැන ඔබ මොකද කියන්නෙ?

මෛත්‍රීපාල මහත්තයත් එක්ක 2014 අපි එළියට එනකොට, සැබෑ ශ්‍රී ලංකාකාරයන්ට ගැහුව. එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානයක් බිහිවුණා. මෛත්‍රීපාල මහත්තයව රැක්ක කණ්ඩායමට අදත් අසාධාරණයක් වන බව පේනකොට ආයෙත් එහෙම සංවිධාන බිහිවෙනවා. එහෙම නොවුණොත් ඒක විහිළුවක්. මෛත්‍රීපාල මහත්තයත් එක්ක හිටපු නිසා වෙච්ච වෙනස්කම් දන්නෙ ඒ මිනිස්සු. පොහොට්ටුවෙන්, ආසනය තුළ වෙච්ච වෙනස්කම් ගැන ඒ අය කතාකරනකොට කවුරුවත් කුපිතවෙන්න ඕන නැහැ. පක්ෂය කඩන්නවත්, විනාශ කරන්නවත් ඒ අය කතා කරන්නෙ නැහැ. ඒ අයගෙ හඬට ඇහුම්කන් නොදීම නිසා ඔවුන් එළියට ඇවිත් කතා කරනවා.

ජනපතිවරණයට අපි ලෑස්තියි
- ජේ. සී. අලවතුවල

අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය

ආණ්ඩුව වුවමනාවෙන්ම පළාත් සභා ඡන්දය කල් දමමින් ඉන්න බවට චෝදනා එල්ල වෙනවා?

අපි ඡන්දවලට බය නැහැ. ඡන්ද කල්දාන්න වුවමනාවකුත් නැහැ. නීතිය නොදැනයි ඔහොම දේවල් කියන්නෙ. පොහොට්ටු පක්ෂය නීතිය වරද්ද ගත්තෙ දැන් විතරක් නෙවෙයි. හොරෙන් ආණ්ඩුව අල්ලගන්න ගිහිල්ලත් ඒ අයට වැරදුනා. ආණ්ඩුව විසුරුවන්න කියල කෑගැහුවා. වසර හතරහමාරක් යනකන් ආණ්ඩුව විසුරුවන්න බැහැ කියල අධිකරණය කිව්වා. සිරිසේන ජනාධිපතිතුමාට ‍කොහොමත්ම මේ පාර්ලිමේන්තුව විසුරුවන්න බැහැ. පාර්ලිමේන්තු කාලෙ ඉවරවෙන කොට එතුමගෙ නිල කාලෙත් ඉවරයි. නීති විරෝධී, ව්‍යවස්ථා විරෝධී වැඩ තමයි ඔය ඒකාබද්ධ විපක්ෂයෙ කට්ටිය කළේ. ගම්මන්පිල, විමල් වීරවංශ හැමදාම කතා කරන්නෙ නීතියට පිටින් ගිහින්.

පළාත් සභා හයක නිල කාලය ඉවරයි. ඡන්ද කල්යාමෙන් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය උල්ලංඝනය වෙනවා නේද?

පළාත් සභා ඡන්දෙ අලුත් ක්‍රමේට තියන්න පක්ෂ නායකයො එකඟ වුණා. ඒ අනුව පාර්ලිමේන්තුවට කෙටුම්පතක් ගෙනාවා. ඒක තුනෙන් දෙකෙන් සම්මත කළා. ඒක තමයි නීතිය. ඔක්කොම එකතුවෙලා සීමා නීර්ණ කමිටු වාර්තාව පරාජයට පත්කළා. දැන් ඔය කෑගහන කට්ටිය ඒ වෙලාවෙ ඒක සම්මත කළා නම් ඡන්දය තියන්න තිබුණා. මේ ගැටලු ලිහන්න නැවත පාර්ලිමේන්තුවෙ තුනෙන් දෙකක් අවශ්‍යයි. මේක ආණ්ඩුවට තනියෙන් කරන්න බැහැ. කඩින් කඩ මැතිවරණ තියන්නෙ නැහැ කියල 2015 ජනවාරි 08 අපි ජනතාවට පොරොන්දු වුණා. ජනාධිපතිතුමාට ඒ පොරොන්දු අමතක වෙලාද දන්නෙ නැහැ. මහින්ද රාජපක්ෂ මහත්තය කඩින්කඩ මැතිවරණ තියල කරපු හරිය අපි දන්නවා. ජනතාව ඒ ක්‍රමය ප්‍රතික්ෂේප කළා. දැන් නීතියට අනුව ජනාධිපතිවරණය තියන්න පුළුවන්. අපි ඒකට ලැහැස්තියි.

දින 51 ආණ්ඩු කාලෙ පළාත් සභා තියන්න කෙටුම්පතක් සැකසූ බව කියනවා. ඒ කෙටුම්පත ගෙනැවිත් පළාත් සභා ඡන්දය තියන්න පුළුවන් නේද?

දින 51 හොර ආණ්ඩුව කරපු වැඩ උසාවියෙන් අවලංගු කළා. සමහර නඩුත් ඒ කාලෙ අයින් කරගත්තා. ඒ කාලෙ කරපු සියලු වැඩ වැරදියි. ඒ නිසා නැවත පක්ෂ නායකයන් කතා කරල මේගැන තීන්දුවක් ගන්න ඕන. ආණ්ඩුවටවත් එක්සත් ජාතික පක්ෂයටවත් තනිව මේ තීරණ ගන්න බැහැ. මේක පාර්ලිමේන්තුවෙ හැමෝගෙම වගකීමක්.

පළාත් සභා ඡන්ද අයිතිය වෙනුවෙන් ආණ්ඩුවට එරෙහිව පොදුජන පෙරමුණ නඩු පවරන බව එස්. එම්. චන්ද්‍රසේන මන්ත්‍රීතුමා කියනවා?

චන්ද්‍රසේන මන්ත්‍රීතුමා කියන ඒව එච්චර ගණන් ගන්න එපා. ඒ අය රටේ නීතිය ගැනවත්, ව්‍යවස්ථාව ගැනවත් එච්චර හිතන අය නෙවෙයි. ඒ අය ඒ ගැන දන්නෙත් නැහැ. නඩුවකට යන්න දෙයක් මෙතන නැහැ. පක්ෂ නායකයො තීන්දුවක් ගන්න ඕන. මේක ආණ්ඩුවෙ ප්‍රශ්නයක් නෙවෙයි. ප්‍රශ්නෙ තියෙන්නෙ පාර්ලිමේන්තුවෙ.

පළාත් පාලන ඡන්ද පරාජයත් එක්ක ආණ්ඩුව ඡන්දවලට බයවෙලා කියලත් කියනවා?

පළාත් පාලන ඡන්දෙ වෙලාවෙ ආණ්ඩුවට චෝදනා ගණනාවක් තිබුණා. ආණ්ඩුව අරගෙන ගියේ පක්ෂ දෙකක් එකතුවෙලා. ජනාධිපතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙහෙයවුවා. එක්සත් ජාතික පක්ෂය අගමැතිතුමා මෙහෙයවූවා. පළාත් පාලන ඇමැති හිටියෙ ජනාධිපතිතුමාගෙ පාර්ශ්වයෙ. පළාත් පාලන මැතිවරණ කල් ගියේ ජනාධිපතිතුමා හින්ද. අපි නිරන්තරවම කිව්වෙ හරිවෙලාවට පළාත් පාලන ඡන්ද තියන්න ඕන කියලා. හරි වෙලාව ඡන්දෙ තිබ්බනම් සියලුම පළාත් පාලන ආයතන අපි දිනනවා. ඒ ඡන්දෙ දිගට ඇද්දෙ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. අලුත් ඡන්ද ක්‍රමයටත් අපි විරුද්ධ බව කණ්ඩායම් රැස්වීම්වලදී කිව්වා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි ජනාධිපතිතුමාගෙයි වුවමනාවට පළාත් පාලන නියෝජිත සංඛ්‍යාව වැඩි කළා. දැන් පළාත් පාලන ආයතනවල ඉඩත් නැහැ. මුදල් නාස්තියක් වුණා. ඕනම මැතිවරණයක් ජයග්‍රහණය කරන්න පුළුවන් තැනක දැන් අපි ඉන්නවා. ඔක්තෝබර් 26 න් පස්සෙ අපි ශක්තිමත් වුණා.

එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂකත්වයට විවිධ නම් යෝජනා වෙනවා. මේ ගැන ඔබ මොකද කියන්නෙ?

ජනාධිපතිවරණය කැඳවපු ගමන් අපේ පක්ෂයෙ අපේක්ෂකය කියනවා. පක්ෂ නායකයත් කෘත්‍යාධිකාරි මණ්ඩලයත් ඒ ගැන තීන්දු ගන්නවා. දැනටමත් පොහොට්ටු පක්ෂයෙ අපේක්ෂකයො කීපදෙනෙක්ම ඉන්නවා. මහින්ද රාජපක්ෂ මහත්තයගෙ සහෝදරයොම කීදෙනෙක් ඒකට ලෑස්ති වෙනවද? ගෝඨාභය රාජපක්ෂ, චමල් රාජපක්ෂ දෙන්නම සුදුසුයි කියනවා. සමහරු මහින්ද රාජපක්ෂව ඉල්ලනවා. ගෙදර ඇතුළෙම ප්‍රශ්න. දිනේෂ් ගුණවර්ධන, වාසුදේව මහත්තයත් සුදුසුයි කියනවා. ඒ අස්සෙ ජනාධිපතිතුමත් ඉල්ලනව කියනවා.

එක්සත් ජාතික පක්ෂය සන්ධානගතවීමක් ගැන කතාවෙනවා. මේ තත්ත්වය ඔබ දකින්නෙ කොහොමද?

අපි දැන් පක්ෂයක් හැටියට ඉස්සරහට ඇවිත් තියෙන්නෙ. ඔක්තෝබර් 26 න් පස්සෙ අපේ පක්ෂයෙ ලොකු පිබිදීමක් ඇතිවුණා. ඊට ඉස්සෙල්ල අපිට අපේ මිනිස්සු එක්ක වැඩ කරන්න වෙලාවක් තිබුණෙ නැහැ. ‍අපි අරලියගහ මන්දිරයේ දවස් 45 ක් හිටියා. ඒ කාලෙ අපේ පාක්ෂිකයො මුණගැහුණා. ඉදිරි වැඩ ගැන කතා කළා. දුරස්වෙච්ච අය අපිත් එක්ක එකතුවුණා. අපි ගෝල්පේස්පිටිය පිරෙව්වා. දේශපාලන පක්ෂයක් කොළඹට ගෙනාපු වැඩිම සෙනඟ ගෙනාවා. නිදාගෙන හිටපු අලියව නැඟිට්ටෙව්වා. ඊළඟට එන ඕන මැතිවරණයක් එක්සත් ජාතික පෙරමුණට දිනන්න පුළුවන්.

ඔබ ඔහොම කිව්වට එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරු කළකිරීමකින් ඉන්න බව තමයි කියන්නෙ?

ඔවුන්ගෙ ගැටලු තියෙනවා. ආණ්ඩු පක්ෂ නියෝජ්‍ය සංවිධායකට ඒ ගැන අපි කිව්වා. ගොඩක් අයට තියෙන්නෙ ජනතාවගේ ගැටලුවලට විසඳුම් නැති එක. ඇමැතිවරුන් සමඟ එකතුවෙලා ජනතාවගෙ ගැටලු විසඳන්න වැඩපිළිවෙළක් දැන් සැකසුවා. පසුපෙළ මන්ත්‍රීවරුන්ගෙ ගැටලුවලට කඩිනමින් පිළිතුරු දෙන්න අගමැතිතුමා පොරොන්දු වුණා.

අපේ අනුමැතිය නැතිව ආණ්ඩුවට වැඩ කරන්න බැහැ. තමන් නැත්නම් ආණ්ඩුවට යන්න බැහැ. ද්‍රවිඩ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන් කරන මේ ප්‍රකාශ ගැන ඔබ මොකද කියන්නෙ?

ද්‍රවිඩ ජාතික සන්ධානය ගැන රටේ ඇතිකරල තියෙන්නෙ බොරු බියක්. ඔවුන් මේ රටේ එක ප්‍රදේශයක් නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු. ද්‍රවිඩ ජාතික සන්ධානෙ මන්ත්‍රීවරු මහින්ද රාජපක්ෂ මහත්තයට සහාය දෙනව කිව්වනම් ඔක්කොම ගන්නෙ නැද්ද? සහය දෙනව කිව්වෙ එක්කෙනයි. එයාව අරගෙන නියෝජ්‍ය ඇමැතිකමකුත් දුන්නා. ඒ අය අපිට සහායදෙන්නෙ කොන්දේසි විරහිතව. ඔවුන් ඉල්ලන්නෙ උතුරෙ සංවර්ධනය විතරයි. ඒක සාධාරණයි. ඒ පළාත් සංවර්ධනය කරන්න ඕන. ඒකීය රටක් තුළ බලය විමධ්‍යගත කරන්න බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දෙන්න ද්‍රවිඩ ජාතික සන්ධානය එකඟවෙලා තියෙනවා. ඒක ලොකු ජයග්‍රහණයක්. එක්සත් ජාතික පක්ෂය හැටියට අපි ඕනම ජාතියක් එක්ක එකතුවෙලා වැඩකරන්න සූදානම්.

ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් සේවා ලබාගන්න යාමෙදි විවිධ දුෂ්කරතා ඇති වෙන බවට මැසිවිලි නැඟෙනවා. මේ සේවාව කාර්යක්ෂම කරන්න මොන වගේ වැඩපිළිවෙළක්ද සැකසෙන්නෙ?

දැන් සියලු දේවල් ක්‍රියාත්මක වෙන්නෙ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා. විවිධ චෝදනා අපිටත් එනවා. රාජ්‍ය සේවකයන්ගෙ ආකල්පමය වෙනසක් ඇති කරන්න වැඩපිළිවෙළක් අපි සැකසුවා. ප්‍රාදේශීය ලේකම් කාර්යාල නවීකරණය කරනවා.

ගමට වැඩ කරන්න රජයේ නිලධාරින් ගොඩක් හිටියත් ඔවුන්ගෙන් හොඳ සේවාවක් ලැබෙන්නෙ නැහැ කියලත් චෝදනාවක් තියෙනවාද?

ගමේ නිලධාරින්ට එකතුවෙන්න තැනක් නැහැ. එකම වහලක් යටින් ගමේ වැඩටික කරගන්න තැනක් අවශ්‍යයි. සේවා පියසෙන් ග්‍රාම රාජ්‍ය වැඩපිළිවෙළ හැදෙන්නෙ ඒ අඩුව පුරවන්න. ඒක අගමැතිතුමාගෙ සංකල්පයක්.


නව අදහස දක්වන්න