දරුවනි මත් රකුසා හඳුනා ගනිමු | දිනමිණ

දරුවනි මත් රකුසා හඳුනා ගනිමු

ලෝකයේ අනාගතය තීරණය වන්නේ ළමා පරපුර මත යන්න සර්වකාලීන සත්‍යයකි. සවිමත් අඩිතාලමක් මත ගොඩනඟන ගොඩනැඟිල්ලක් කාලාන්තරයක් තිස්සේ බොහෝ දෙනාට සෙවණ සලසමින් නොනැසී නොබිඳී පවතී. කුඩා කාලයේ පටන් යහපත් දේ පමණක් ලබා දෙමින් නිර්මාණය කරන දරුවන්ද අනාගතය ශක්තිමත් කරන්නට උරදිය හැකි උදාර මිනිසුන් බවට පත්වේ. කොතරම් ආරක්ෂා කරමින් සියලු සාත්තු සප්පායම් කරමින් රැකබලා ගත්තද ඇතැම් ගොවිබිම් විවිධ උවදුරු හේතුවෙන් විනාශයට පත් වේ. ළමා පරපුරද එසේය. ඕනෑම අවස්ථාවක ඔවුන්ගේ අනාගතයට අහිතකර බලපෑම් එල්ල කරන්නට හැකි දේ එකතු විය හැක. මත්ද්‍රව්‍ය සහ මධ්‍යසාර එයින් ප්‍රධාන තැනක් ගනී.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ බොහෝ දෙනා ඒවා මුලින්ම අත්හදා බලා ඇත්තේ නව යෞවන වියේදී ය. ඉතා ඉක්මණින් වැරදි දේට පොළඹවා ගත හැකි සහ අත්හදා බැලීම් කරන වයසකදී මත්ද්‍රව්‍ය කෙරෙහි දරුවන් ආශක්ත කර ගැනීම එතරම් අසීරු කාරණාවක් නොවේ. පිළිමයක් නෙළීමට මැටි පිඩක් මුදු මොළොක්ව තිබිය යුතුය. නරක දේ හොඳ දේ ජීවිතය තුළට කාවැද්දීමට හොඳම අවධිය මෘදු මොළොක් ළමා වියයි. මේ වයසේදීම මධ්‍යසාර සහ දුම්කොළ ඇතුළු අනෙකුත් මත්ද්‍රව්‍ය භාවිතයේ බලපෑම කුමක්ද යන්න පිළිබඳව සැබෑ අවබෝධයක් දරුවන්ට ලබාදිය හැකිනම් අනාගතයේ දී ඔවුන් ඒ දේවල් වැලඳගැනීමේ අවදානමෙන් මුදා ගත හැක.

අනිටු බලපෑම්

මත්ද්‍රව්‍ය හා මධ්‍යසාර මොන තරම් විශාල රසායනික බලපෑමක් ශරීරයට එල්ල කළත්, ඒවා කෙතරම් නීරස සහ අප්‍රසන්න වුවත් ව්‍යාප්ත කරන සමාගම් විසින් පතුරුවන මතිමතාන්තර, සමාජයේ මුල්බැසගත් වැරැදි ආකල්ප සහ මාධ්‍ය මඟින් ප්‍රචාරය කරන විද්‍යාත්මක නොවන තොරතුරු විසින් මේවා භාවිතා කිරීම රසවත් සහ වින්දනාත්මක අත්දැකීමක් ලෙස හුවා දක්වනු ලබයි. නමුත් මත්ද්‍රව්‍ය භාවිතා කිරීම තුළින් ශරීරයට සහ මනසට එල්ලවන බලපෑම කිසිසේත්ම රසවත් සහ යහපත් එකක් වන්නේ නැත. ‍මත්ද්‍රව්‍ය භාවිතා කරන ඕනෑම පුද්ගලයකු තුළින් ප්‍රියමනාප භාවය, ප්‍රසන්නභාවය සහ ප්‍රබෝධමත් බව ගිලිහී යයි. එසේම යහපත් පවුල් ජීවිතයක් ගත කරන්නට ඔවුනට හැකියාවක් නැති වන්නේ, මේ තුළින් ලිංගික බෙලහීනතාවය ඇති වීමට ඇති ඉඩකඩ බෙහෙවින් වැඩි නිසාය.

සිගරට් සහ දුම්කොළ අඩංගු වූ වෙනත් මත්ද්‍රව්‍යවල දුමෙහි විෂ රසායනික ද්‍රව්‍ය හාර දහසකට අධික ප්‍රමාණයක් අඩංගුව පවතී. මෙහි ඇති ඉතා සැර ගන්ධය නිසා හුස්ම ගැනීමේ අපහසුතා ඇති කරන අතර කැස්ස, හිසරදය ආදී තවත් අපහසුතාවන් ද ඇති කරයි.

මිථ්‍යා මත

අනෙකුත් මත්ද්‍රව්‍යවලට සාපේක්ෂව මෑතකාලීනව මත්පෙති පිළිබඳව කතාබහ වැඩි වීමක් දක්නට ලැබේ. පහසුවෙන් භාවිත කළ හැකි සහ ව්‍යාප්ත කළ හැකි මත්පෙති භාවිතය පිළිබඳව කතාබහ කරන විට පාසල් වයසේ දරුවන් පිළිබඳව නිතර සඳහන් වීම කනගාටුදායක කාරණාවකි.

මත් පෙති භාවිත කිරීම මගින් නිදිබර ගතිය, ශාරීරික අප්‍රාණිකත්වය, හුස්ම ගැනීමේ අපහසුතා, දහඩිය දැමීම, කැසීම, කෑම අප්‍රිය වීම, වමනය, මුත්‍රා කිරීමේ ගැටලු ආදී බොහෝ අපහසුතාවයන්ට ලක් වීමට සිදු වේ.

කන්සා (ගංජා) තාරුණ්‍යය ආක්‍රමණය කරන තවත් මත්ද්‍රව්‍යයකි. මේවා භාවිතයෙන් තරුණයන්ගේ සහ ළමුන්ගේ බුද්ධි වර්ධනය සම්පූර්ණයෙන්ම අඩාල වන අතර සයිකෝසියාව වැනි රෝග තත්ත්වයන් ඇතිවීමේ අවදානම වැඩිකරයි. පවුලේ යම් කෙනකුට මානසික රෝගී තත්ත්වයක් තිබෙන අයෙක් මෙම මත් ද්‍රව්‍ය භාවිතයෙන් සයිකෝසියාව ඇතිවීමේ අවදානම සය ගුණයකටත් වඩා ඉහළ යයි. එසේම කාංසාව ඇති වීමේ අවදානමක් ද ඉන් පැන නඟින අතර වෙනත් මත්ද්‍රව්‍යවලට පෙළඹීමේ අවදානම වැඩි කරන්නට ද මෙම මත්ද්‍රව්‍යයට හැකියාව තිබේ.

කාලයෙන් කාලයට කුමන ආකාරයේ මත්ද්‍රව්‍ය කරළියට පැමිණියද අදටත් මත් ලෝලීන් අතර මද්‍යසාරවලට ඇත්තේ විශේෂ තැනකි. මද්‍යසාර යනු මධ්‍ය ස්නායු පද්ධතිය අවපීඩනයට ලක් කරන රසායනයකි. එය ශරීරයේ ක්‍රියාකාරීත්වය අඩපණ කරන අතර මෙහි රසායනික බලපෑම සෙවීම සඳහා කරන ලද පර්යේෂණවලදී අනාවරණය වී ඇති ආකාරයට නාසයට ගන්ධය දැනෙන විට නාසය හැකිළේ, එසේම කටට අප්‍රිය ගතියක් සහ සැර ගතියක් ඇතිවන නිසා කට ඇද වේ. උගුරට පිච්චෙන ගතියක් දැනෙමින් ඔක්කාරය ඇති කරන්නට සමත් වෙයි. කරකැවිල්ල දහදිය දැමීම සිරුරට පණ නැති ගතිය ඇති කරන්නටද මද්‍යසාරවල බලපෑම ඉවහල් වේ. මත්ද්‍රව්‍ය හෝ මද්‍යසාර දිගින් දිගටම ශරීරගත කර ගැනීම තුළින් බොහෝ ලෙඩ රෝග ඇතිවනවා සේම මරණයට පවා සිදුවිය හැකිය.

මත්ද්‍රව්‍ය භාවිතා කිරීමෙන් ශරීරයට කිසිඳු සුවදායක හැඟීමක් ඇති නොකරන අතර එයින් කිසිම ආකාරයක වාසිදායක තත්වයක් ද ඇති නො කරයි. නමුත් මේ සම්බන්ධයෙන් සමාජයේ විවිධ මිථ්‍යා මත ව්‍යාප්ත වී තිබේ. අරක්කු වැනි මධ්‍යසාර වර්ග පිළිබඳව ඇති මිථ්‍යා අතර 'අරක්කු බිව්වම මහන්සිය නැතිවෙනවා' බොහෝ දෙනෙක් නිතර කරන ප්‍රකාශයකි‍. නමුත් අරක්කු පානය කිරීම මඟින් ශාරීරික අපහසුතා තවදුරටත් වැඩි වෙයි. බොහෝ දෙනා දහවල් කාලයේ වැඩ කිරීමෙන් දැනෙන විඩාව දුරු නර ගැනීමට සිතා සවස් කාලයේ මධ්‍යසාර භාවිතා කරයි. නමුත් වෙහෙස දුරු වීමට හේතුව වැඩ අවසන් කර විවේක ගැනීම මිස මත්පැන් පානය කිරීම නොවේ. එයින් සිදුවන්නේ පසු දා අවදි වන විටත් සිරුරට වෙහෙසකර බවක් දැනීම‍ය.

පෙළඹවීම්

අරක්කු බීමෙන් ප්‍රශ්න අමතක වන බවත් සතුටක් ලැබෙන බවත් බිය නැති සටන්කාමී පුද්ගලයන් බවට පත්වන බවත් සමාජය පුරා ව්‍යාප්තව ඇති තවත් එවැනි මිථ්‍යා විශ්වාස කිහිපයකි. කිසිදු අවස්ථාවක අරක්කු පානය කිරීම තුළින් කිසිම ප්‍රශ්නයක් නොවිසඳෙන අතර අරක්කු බීම තුළින් පැරණි ප්‍රශ්න ද නැවත මතක් කරමින් ගැටුම් ඇති කරගන්නා අවස්ථා දක්නට ලැබේ. ඇල්කොහොල් රසායනිකය මිනිසුන් අවපීඩනයට පත්කරන අතර මත්ද්‍රව්‍ය, මත්පැන්, මද්‍යසාර පානය කරන අවස්ථාවල මුහුණු හැකිලී යන්නේ එයින් සතුටක් ලැබෙන නිසා ද යන්න දෙවරක් සිතා බැලිය යුතු කාරණයකි.

දරුවන් මද්‍යසාර කෙරෙහි නැඹුරු වීමට තවත් කාරණාවක් වන්නේ පවුලේ හෝ නිවසේ පැවැත්වෙන සාද උත්සව, ප්‍රිය සම්භාෂණ ආදියෙහි මද්‍යසාර පිළිගැන්වීමේ පිළිවෙතයි. මේවා දකින දරුවන් තුළ මද්‍යසාර භාවිතය නිසා මෙම ප්‍රියසාද අවස්ථා රසවත් ස්වරූපයක් ගන්නා බවට විශ්වාසයක් ඇති වේ. ඒ තුළින් අනාගතයේ දී මද්‍යසාර භාවිතයට පෙළඹීමට ඔවුන් තුළ ධනාත්මක සිතුවිලි ප්‍රතිස්ථාපනය වේ.

මධ්‍යසාර සහ මත්ද්‍රව්‍ය භාවිතය තවදුරටත් වැඩි කිරීම සඳහා ජාවාරම්කරුවන්ගේ ව්‍යාපාරික උපක්‍රම සමඟ බද්ධ වන මාධ්‍ය ප්‍රචාරණය ද ඉවහල් වෙයි. මෙහි මිථ්‍යාවට වසන් වී ඇති සැබෑ තත්ත්වය පිළිබඳව දරුවන් තුළ සත්‍ය අවබෝධයක් ගොඩනැංවීම ඔවුන් මේ කෙරෙහි නැඹුරු වීම වැළැක්වීමට ගත හැකි ක්‍රියාමාර්ගයකි. මධ්‍යසාර දුම්වැටි සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට අවශ්‍ය ආකාරයට හැසිරෙන මාධ්‍ය ආයතන හඳුනාගැනීම සහ ඒවා අන් අය වෙත හෙළිදරව් කිරීම සිදුකළ යුතු වේ.

ටෙලිනාට්‍ය චිත්‍රපටි ආදී ජනතාව අතරට ගමන් කරන නිර්මාණ තුළ ද දුම්වැටි සහ මත්ද්‍රව්‍ය භාවිත කරන දර්ශන අන්තර්ගත වීම තුළින් අදහස් කෙරෙන්නේ එම දර්ශන නිර්මාණයට අනිවාර්යයෙන්ම ඇතුළත් කළ යුතු අංගයක් බව නොව ඒ තුළින් මත්ද්‍රව්‍ය සමාගම් සහ ජාවාරම්කරුවන්ට අත්වන ආර්ථික වාසි හේතුවෙන් ඉහත නිර්මාණකරුවන්ට සැලසෙන ප්‍රයෝජන වෙනුවෙනි.

නීති රීති

මද්‍යසාර, මත්ද්‍රව්‍ය සහ දුම්කොළ භාවිතා කිරීම මගින් ඇතිවන ලෙඩ රෝග සහ අනෙකුත් විපාක පිළිබඳව අවබෝධ කර දීම තුළින් පමණක් දරුවන් මත්ද්‍රව්‍යවලින් ඈත් කර ගැනීමට හැකියාවක් නැත. තවදුරටත් මෙයට අදාළ නීතිරීති පිළිබඳව ද ඒවා ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ ව ද දරුවන්ගේ අවධානය යොමු කරවීම කාලීන අවශ්‍යතාවයකි. නීති රීති පිළිබඳ වැඩි අවබෝධයක් ඇති කිරීම තුළින් රටක අපේක්ෂිත අරමුණු ඉටුකර ගැනීම වඩාත් පහසු කරයි. එවන් නීති ක්‍රියාත්මක වන ආකාරය එහිදී ඇතිවන දුර්වලතා සහ නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා තවදුරටත් සංවර්ධනය විය යුතු පැතිකඩ පිළිබඳ අවබෝධය දරුවන් තුළ ඇති කළ යුතුය. මධ්‍යසාර දුම්කොළ සහ අනෙකුත් මත්ද්‍රව්‍ය පාලනය කිරීම සඳහා නව නීති රීති සහ ප්‍රතිපත්ති යෝජනා කිරීමේ අවස්ථා ද දරුවන්ට ලබාදිය යුතුය.

මත්ද්‍රව්‍ය සහ මධ්‍යසාර මත පනවන බදු වැඩිකිරීම මගින් මේවා භාවිතා කරන පිරිස බොහෝ දුරට ඒවායෙන් ඈත් කර ගැනීමට ඉඩකඩ සැලසේ. මත්ද්‍රව්‍ය සහ මද්‍යසාර පිළිබඳව නිරන්තරයෙන් කථාබහට ලක්වන අතර ඒ තුළින් සිදුවන හානි පිළිබඳවද අප කතාබහට ලක් කරමු. අපේ රට තුළ මධ්‍යසාර භාවිත කරන පිරිස සමස්ත වැඩිහිටි ජනගහනයෙන් 20% ක ටත් අඩු ප්‍රමාණයකි. එසේ නම් මේවායින් වැළකී සිටින පිරිස 80%කට වැඩි වේ. ඔවුන්ද මෙම ද්‍රව්‍ය ප්‍රචලිත කරවීම සුලබ වීමට අකමැති අතර මේවා පාලනය කිරීමට නීතිරීති අණපනත් ගෙන එනවාට කැමැත්තක් දක්වන පිරිසකි. එමනිසා මත්ද්‍රව්‍ය නිවාරණයට ඔවුන්ගේ දායකත්වය ද නිරන්තරයෙන්ම ලබාගත හැක.

මත්ද්‍රව්‍ය ජාවාරම් සමග දේශපාලනය නිතර එකට යා වෙන මාතෘකා දෙකකි. සමාජයට හානිදායක වූ මෙවන් ජාවාරම් සමග සම්බන්ධ වන දේශපාලඥයන් වේ නම් ඔවුන්ට සිය ඡන්දය ලබාදීමෙන් වළකින ලෙස මාපියන්ගෙන් ඉල්ලා සිටීමට දරුවන්ට හැකියාවක් තිබිය යුතුය.

මත්ද්‍රව්‍ය භාවිතය අවම වීම සහ ඒවා පිටු දැකීම තුළින් පවුලක් ලෙස මුහුණ දීමට සිදුවන අපහසුතා අවම වන අතර රටක් ලෙස එහි සිටින ප්‍රජාවේ ප්‍රසන්න බව ප්‍රබෝධමත් බව වැඩිවීම තුළින් රටේ සුන්දරත්වය වැඩි වේ. එසේම මේවා භාවිතා කිරීම නිසා රෝගී වන පිරිස අඩු වන විට රජයකට පවා සෞඛ්‍ය විය හියදම් අඩු වීම තුළින් රටෙහි අනෙකුත් අංශ දියුණු කිරීම සඳහා එම මුදල් භාවිතා කිරීමට හැකියාව ලැබෙයි.

හෙට දවස සුන්දර කරගන්නට අද දවසේ දරුවන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම පිළිබඳව දැනුවත් කරමු. මතින් තොර රටක් ගොඩනගන්නට එවිට අපට හැකියාව ලැබෙනු ඇත.

දිල්රූ ජයසේකර


නව අදහස දක්වන්න