මතුවුණ මනුෂ්‍යත්වය වගකීම අකුරට | දිනමිණ

මතුවුණ මනුෂ්‍යත්වය වගකීම අකුරට

උතුරු ප්‍රදේශයේ හටගත් අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මුලතිව්, කිළිනොච්චිය, වව්නියාව දිස්ත්‍රික්කවලට හදිසි ගංවතුර තර්ජනයකට මුහුණ දෙන්නට සිදුවිය. පළාත් රැසක් ජලයෙන් යටවීම හේතුවෙන් ජන ජීවිතය මුළුමනින්ම අඩාල විය. ජන ජීවිතයට තර්ජනයක් සිදුවන ඕනෑම මොහොතක ඔවුන්ගේ පිහිටට එන්නේ යුද හමුදාවයි. ස්වභාවික විපත්වලට නිතර ගොදුරුවන අපේ රටේ පසුගිය කාලය පුරාම සිදුවූ ගංවතුර, නායයාම්, සුනාමි, ගිනිගැනීම් වැනි ආපදා අවස්ථාවන්වලදී එම ප්‍රදේශවල ජීවත්වන ජනතාව බේරාගැනීම සඳහා ත්‍රිවිධ හමුදාවම එක්ව සිදුකළ කැපකිරීම් ඇගයීමට ලක්කළ යුතුය. තම ජීවිතය පරදුවට තබමින් කිලිනොච්චි, මුලතිව් දිස්ත්‍රික්කවල මහා ජලකඳ පරදවමින් විපතට පත් ජනතාව බේරා ගැනීමට හමුදා සෙබළුන් කළ පරිත්‍යාගය රුපියල් ශතවලින් මිල කළ නොහැකිය. ජීවිතයත් මරණයත් අතර සටනක යෙදී සිටි කිළිනොච්චි, මුලතිව් දිස්ත්‍රික්කවල ජනතාව බේරාගැනීමේදී ඔවුන් සිංහලද, දෙමළද, මුස්ලිම්ද කියාවත් ඔවුන්ගේ පක්ෂය, කුලය මොනවද කියාවත් බැලුවේ නැත. මේ කවුරුත් මිනිසුන් යැයි හැඟීමෙන් යුද හමුදාව නාවික හමුදාවේද සහයෙන් විපතට පත් ජතතාවගේ ජීවිත හා දේපළ බේරා දෙන්නට යුහුසුළුව ක්‍රියා කළහ. එදා මානුෂීය මෙහෙයුම ක්‍රියාත්මක කරමින් කොටි ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයෙන් මෙම දිස්ත්‍රික්කවල ජනතාව නිරුපද්‍රිතව බේරාගැනීම සඳහා ද ජීවිත පූජා කළේද මේ ත්‍රිවිධ හමුදාවය.

උතුරේ මෙන්ම විදෙස් රටවල ක්‍රියාත්මක කොටි හිතවාදී බලවේග අපේ ආරක්ෂක හමුදාවන්ට යුද අපරාධ චෝදනා කරමින් ජාත්‍යන්තරව අපකීර්තියට ලක්කරන්නට මාන බලන මෙවැනි යුගයක උතුරේ විපතට පත් අහිංසක ජනතාවගේ පිහිටට මේ කිසිදු සංවිධානයක් ඉදිරිපත් වූයේ නැත. උතුරේ ජනතාව වෙනුවෙන් කැපවුණේ ත්‍රිවිධ හමුදාව පමණකි. ඔවුන් කළ ඒ කැපකිරීමට වචනයකින් හෝ ස්තුති කරන්නට මේ ඇතැමුන් බලවේග ක්‍රියා නොකළේ ඇයි. ඒ ඔවුන්ගේ කුහකත්වය මිස වෙන කවරක්ද? උතුරේ විපතට පත් ජනතාව එක හඬින් කියා සිටියේ හමුදා කඳවුරු කිසිවක් එම පළාත්වලින් ඉවත් නොකරන ලෙසය. උතුරේ නැගෙනහිර හෝ දකුණේ මේ කිසිදු තැනක විපතට පත්වන ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීමට කැපවන්නේ රට රකින ආරක්ෂක හමුදාවන්ය.

මුලතිව්, කිළිනොච්චි ආරක්ෂක සේනා ආඥාපතිවරු මෙන්ම සේනාංක සියල්ලම මේ හදිසි විපතේදී කරනු ලැබූ උතුම් පරිත්‍යාගයන්ට ජාතියේ ප්‍රණාමය හිමිවිය යුතුය. ද්‍රවිඩ ජනතාවගේ ජීවිත හා දේපළ ආරක්ෂා කර දෙන්නට යුද හමුදාව කළ කැපකිරීම ලොව අනෙක් හමුදාවන්ටද ආදර්ශයකි. ඒ වගේම හමුදාවත් ද්‍රවිඩ ජනතාවත් අතර ඇතිවී තිබෙන සහෝදරත්වය සමගිය කඩා බිඳ දමන්නට මානබලන දේශද්‍රෝහි බලවේගවලටද උතුරට ගලා ආ ගංවතුර කියාදුන්නේ මතක හිටින පාඩමකි. මානව දයාවෙන් පිරිපුන් ‍අපේ ත්‍රිවිධ හමුදාවන්ට චරිත සහතික දිය යුත්තේ මේ ‍ ‍රටේ පුරවැසියන්ගෙන් මිස ජිනීවා මානව හිමිකම් සමුළුවෙන් නොවන බවද අවසන් වශයෙන් කිව යුතුය.

රත්නසිරි පතිරණ


නව අදහස දක්වන්න