පෙළපොත් රකිමු | දිනමිණ

පෙළපොත් රකිමු

අලුත් අවුරුද්දක් උදා වී අලුත් පොත් රැගෙන අලුත් ඇඳුම් ඇඳගෙන පාසලට පියනඟන අපේ දරුවන් පාසලට යන්නේ මහත් බලාපොරොත්තු තබාගනිමිනි. දරුවන්ට වඩා මාපියන්ගේ පැතුම් බොහෝය. සමහරවිට මාපියන්ට අහිමි වූ වරමක් දරුවන්ට ලබාදීමේ මාහැඟි අවශ්‍යතාවයක් දෙමාපියන්ට ඇත.

මේ සියලු දෙය කළ හැක්කේ හොඳින් අධ්‍යාපන කටයුතු කිරීමෙනි. මේ අධ්‍යාපන කටයුතු කරගෙන යාමට පෙළපොත අත්‍යවශ්‍ය අංගයකි. අතීතයේදී පෙළපොත් බොහෝම අමාරුවෙන් මාපියෝ දරුවන්ට මිලටගෙන දුන්හ. සමහර විට පාවිච්චි කරන ලද පෙළපොත් දෙකෙන් පංගුවට රුපියල් පනහ නම් විසිපහකට අරගෙන දුන්නේ දුප්පත් දෙමාපියන්ය. එසේ කෙසේ හෝ මිලදී ගත් පෙළපොත් හොඳින් ආරක්ෂා කරමින් පෙළපොතට සැබෑ ආදරයක් කරමින් පරිහරණය කිරීමට එදා ශිෂ්‍යයෝ පෙලඹී සිටියහ. එදා මෙදා තරම් ලස්සන ලොකු බෑග් නොවීය. වැසි දිනවලදී ඉටි කවරයක පොත් ටික දමාගෙන එහා මෙහා ගෙන යද්දී ආරක්ෂා කර ගත්තේය. පිරිමි ළමයි කමිසයේ බොත්තම් ගලවා පොත් ටික බඩ කොටසට දමාගෙන බොත්තම් පියවාගෙන නිධාන රකිනා නයින් මෙන් පෙළපොත් ආරක්ෂා කර ගත්හ. එහෙත් දැන් නොමිලයේ ලැබෙන පොත් අපේ ශිෂ්‍යයින් විසින් ආරක්ෂා කර ගන්නා ආකාරය කනගාටුදායකය.

දුව, පුතේ මේ නොමිලයේ පොත් ලැබෙන්නේ සියලුම දෙනාගේ බදු මුදල්වලිනි. රටේ මුදල් කෝටි ගණනාවක් මේ සඳහා වැය කරන බව පෙනේ. විශේෂයෙන් ඔබට ලැබෙන පොත් කට්ටලය සමහර විට රුපියල් දහස් ගණනක් වේ. නොමිලයේ මේ පෙළපොත් නොලැබෙන්නේ නම් දෙමාපියන් ඒවා මුදලට ගත යුතුය.

මේ නොමිලයේ ලැබෙන පෙළපොත්වලට සිසුනගේ වැඩි ආදරයක් නොමැත. සමහර ශිෂ්‍යයින් පොතට පිටකවරයක්වත් නොදා පරිහරණය කරන අතර කොළ කැඩී ඉරී ගිය පොත් ද දැකිය හැකිය. අභ්‍යන්තරයේ ඉරි ගසා අපවිත්‍ර කරගෙන ඇත. සමහර ශිෂ්‍යයෝ පෙළපොත් ඩෙස් අස්සේ දමා යති. වාර විභාගයක් අවසන් වූ විට, පාසල ඇරුණු විට, පන්තිවලට ගොස් පෙළපොත් විශාල ප්‍රමාණයක් එකතු කර ගැනීමට පුළුවන.

එසේ සිදුවන්නේ මේ පිළිබඳව ශිෂ්‍යයිනට හොඳ ආකල්පයක් නොමැති බැවිනි. නොමිලයේ ලැබෙන දේ අගයක් නොමැති බව අප සමාජයේ කථිකාවකි. කාටත් එක සමානව සලකා මේ ලබා දෙන පෙළපොත් ආරක්ෂාකොට, කවර දමා, පවිත්‍රතාවය ආරක්ෂා කරමින් විශේෂයෙන් පෙළපොත්වලට ආදරය කරමින් එයින් දැනුම ලබාගැනීමට මේ උදාවුණ අලුත් අවුරුද්දේ සෑම දෙනාම අදිටන් කරගත යුතුය. පොත් නිසි ලෙස පරිහරණය කරමින් තවකෙකුට එය ලබන වසරේ ලබාගෙන දැනුම ලබාගැනීමට හැකිවන පරිදි පෙළපොත් ආරක්ෂා කර ගැනීමට කටයුතු කළහොත් ඉතිරි වන්නේ අපේම මුදල් ය.

තිලකරත්න ඕබඩගේ
බලපිටිය


නව අදහස දක්වන්න