විගොඩ සණසේ සෙනසුරු දසාව | දිනමිණ

විගොඩ සණසේ සෙනසුරු දසාව

උදිත ගුණවර්ධන

ගණුදෙනුකරුවන්ගෙන් සහ මුදල් තැන්පත් කළ අයගෙන් බහුතරය සමාජයේ ඉහළ තලයේ අය නොවේ. වෙහෙස මහන්සි වී සතෙන් සතේ එකතු කර ඉහළට පැමිණි පිරිස්ය. නැතිනම් රැකියාවලින් ඉවත් වීමේදී ලැබූ පාරිතෝෂිත මුදල් ස්ථිර තැන්පත් ලෙස රැඳවූවන්ය. එවැන්නන්ගේ අද ඉරණම කනගාටුදායකය. අද මේ ස්ථිර තැන්පත්කරුවන්ගේ ස්ථාවරත්වය අහිමි වී ගොස් ඇත. පවුල් කුටුම්බයන් සීසීකඩය. එවැන්නන් ඕනෑ තරම් බෙම්මුල්ල විගොඩ ඇතුළු තදාසන්න ප්‍රදේශවල සිටිති.

මෙම තැන්පත්කරුවන්ගෙන් බහුතරය තම ජීවන රටාව හැඩගස්වාගෙන තිබුණේ තැන්පත් මුදල්වලින් ලැබෙන පොලී මුදලට සමගාමීවය. එහෙත් අද වන විට ඔවුනට තම ජීවන රටාව නිසි ලෙස පවත්වා ගැනීමට හෝ හැකියාවක් නැත.

මුදල් සෙවීමට බොහෝ අය වෙහෙසෙති එහෙත් මුදල් සොයා ගැනීම ඉතාමත් අමාරු වැඩකි.මුදල් සෙවීම මෙන්ම සොයා ගත් මුදල් රැක ගැනීමද කළ යුත්තේ පරිස්සමිනි. මේ හැම දේ මැද සමහරු මුදල් රැස් කර තැන්පත් කිරීම සඳහා විවිධ මාර්ග අනුගමනය කරති. එදා මුට්ටිය නැතිනම් කැටයක මුදල් එකතු කළ මිනිසුන් ඉන්පසු විධිමත් බැංකු වෙත ඇදී යන්නට විය. බැංකු ක්‍රමය මෙරට මුල් බැසගන්නේ හැටේ දශකයේදීය. එයට හේතු වන්නේ ප්‍රබල රාජ්‍ය බැංකු සමූහයක් ස්ථාපිත වීමය. ඒ නිසා මිනිස්සු මුදල් ඉතිරිය සඳහා බැංකු වෙත ඇදී ගියහ. ඒ අතර සමූපකාර සමිති සහ ගැමි එකමුතුව මගින් බිහිවූ විවිධ සමිති සමාගම්ද ඇති විය. මෙම ගැමි සමිතිවල මුදල් තැන්පත් කිරීම පහසු සහ සාපේක්ෂව ඉහළ පොලියක් ලබා ගතහැකි තැන් බවට පත්විය. ඒවායෙන් ණය මුදල් ලබා ගැනීමද සරළ ක්‍රියාවලියකට යටත් විය. පිළිගත් බැංකුවකින් ණයක් ලබා ගැනීමට සාමාන්‍යයෙන් සතියක හෝ දෙකක කාලයක් ගත වුවද සණස වැනි ගැමි සමිතියකින් ණයක් ලබා ගැනීමට පැය කිහිපයක් පමණක් ප්‍රමාණවත් විය. එනිසා ණය ලබා ගැනීමේදීද මෙම සමිති වෙත ඇදී එන්නන්ගේ ප්‍රමාණය ඉහළ යන්නට විය. සාමාන්‍ය නීතියට අනුව සණස සමිතියකින් ණය මුදලක් ලබා ගැනීමට නම් අදාල සණස වසමේ ස්ථිර පදිංචි කරුවකු විය යුතුය. පිට වසමක කෙනෙකුට ණයක් ලබා දීමේදී පිට වසමේ ණය ඉල්ලුම්කරුගේ දේපළක් වසමේ සාමාජිකයකුගේ නමට ලියා ඔහු නමින් ණය මුදල ලබා ගැනීමය. එහිදී මෙම ණය මුදල ලබා ගත් තැනැත්තාට මුළු මුදලම නොලැබෙන අතර එම මුදලින් සියයට දහයක ප්‍රතිශතයක් සමිතියේ නිලධාරීන් වෙත සහ මැදහත්කරුවන් අතට පත්වේ. සණස සමිති වැනි ප්‍රජා සමිති අසාර්ථක වීමට බොහෝ විට බලපානු ලබන්නේ මෙවැනි දේය. ඒවායේ තැන්පත් මුදල් විනාශ වීමටද මූලිකව බලපානු ලබන කරුණක් බවට පත්ව ඇත්තේ මෙවැනි දේය. පසුගිය සති කිහිපයේ දැඩි කතා බහට ලක්ව ඇති විගොඩ සණස වැනි සමිති මේ ඉරණමට මුහුණ දී ඇත්තේ මෙවැනි දේ නිසා විය යුතුය. මීට පෙර වත්තේගෙදර සණස සමිතියේද ඇති වූ මූල්‍ය අර්බූදයට ප්‍රධාන කරුණක් බවට පත්වූයේද මෙයට සමාන තත්ත්වයන්ය.

එමෙන්ම තවත් කරුණක් වන්නේ තම පරිමාණය ඉක්මවා යන තරමේ ව්‍යාපාර ජාලයක් ඇති කිරීමට සමිති බලධාරීන් කටයුතු කිරීමය. මේ හැම දෙයක් නිසාම විපතට වැටෙන්නේ සමිතියේ සමාජිකයන් සහ ස්ථිර තැන්පත් කරුවන්ය. විටෙක දේපළ උකස්කර ණය මුදල් ලබා ගන්නන්ටද අපහසුතා ඇති වූ අවස්ථා එමටය. අද විගොඩ සණස සමිතියේ ගනුදෙනු කරුවන් මේ දුක්බර ඉරණමට මුහුණ දී සිටිති. මෙහි ගණුදෙනුකරුවන්ගෙන් සහ මුදල් තැන්පත් කළ අයගෙන් බහුතරය සමාජයේ ඉහළ තලයේ අය නොවේ. වෙහෙස මහන්සි වී සතෙන් සතේ එකතු කර ඉහළට පැමිණි පිරිස්ය. නැතිනම් රැකියාවලින් ඉවත් වීමේදී ලැබූ පාරිතෝෂිත මුදල් ස්ථිර තැන්පත් ලෙස රැඳවූවන්ය. එවැන්නන්ගේ අද ඉරණම කනගාටුදායකය. අද මේ ස්ථිර තැන්පත්කරුවන්ගේ ස්ථාවරත්වය අහිමි වී ගොස් ඇත. පවුල් කුටුම්බයන් සීසීකඩය. එවැන්නන් ඕනෑ තරම් බෙම්මුල්ල විගොඩ ඇතුළු තදාසන්න ප්‍රදේශවල සිටිති.

මෙම තැන්පත්කරුවන්ගෙන් බහුතරය තම ජීවන රටාව හැඩගස්වාගෙන තිබුණේ තැන්පත් මුදල්වලින් ලැබෙන පොලී මුදලට සමගාමීවය. එහෙත් අද වන විට ඔවුනට තම ජීවන රටාව නිසි ලෙස පවත්වා ගැනීමට හෝ හැකියාවක් නැත. ඒ තරමටම විගොඩ සණස තැන්පත් කරුවෝ අසරණය. මෙහි සිටින ඇතැම් තැන්පත්කරුවන් මෙම මුදල් තැන්පත් කර ඇත්තේ තම දියණියගේ හෝ පුතාගේ විවාහ උත්සවය පවත්වන තෙක්ය. එහෙත් අද වන විට ඔවුන් වැටී සිටින්නේ අලි අමාරුවකය. මගුල් නැකැත් දිනය ළං වුවද තමන්ගේම මුදල් ලබා ගැනීමට නොහැකි වීම නිසාය. ඒ අය අද කරන්නේ උදේ සිට හවස්වනතුරු සණස සමිති ගොඩනැගිල්ල අසල වාඩිලා ගෙන සිටීමය.

“මම සල්ලි තියෙනවට ඩිපෝසිට් එකක් දැම්ම නොවෙයි පුතාගෙ වෙඩින් එකට ගන්නකම්..ඒත් අද වෙද්දි සල්ලි ගන්න ක්‍රමයක් නැහැ සණසෙ සභාපති කියන්නෙ නොදී ඉන්නෙ නැහැ පොඩ්ඩක් ඉන්න කියලා. හැමදාම යනවා එතකොට ලැබෙන්නෙ මේ උත්තරය විතරයි.. දැන් පුතාගෙ වෙඩින් එකට මාසයයි තියෙන්නෙ දැන් වෙලා තියෙන්නෙ මට වහ ටිකක් කන්න ..“ අප සමග මෙසේ අදහස් පළ කළේ ගිල්බට් ජයසූරිය මහතාය.

ඔහු සමග කතා කරද්දි අප අසලට පැමිණියේ ප්‍රේමානි කුසුමලතා මහත්මියයි. ඇය ජීවිතයේ විඳිය හැකි ලොකුම ඛේදවාචකයකට මුහුණ දී සිටී. එනම් සණස ප්‍රශ්නය නිසා සිය ආදරණීය සොයුරාගේ ජීවිතය අහිමි වීමය. ඇය අප සමග කතා කළේ හැඟුම්බර දෑසිනි.

“මල්ලිට මේ දේ වුණේ මම කිවුව නිසා මම තමයි කිව්වෙ එයාට රස්සාවෙන් අයින් වෙද්දි ලැබෙන සල්ලි ටික ෆික්ස් ඩිපෝසිට් එකක් දාන්න කියලා මම කිව්ව එක අහලා එයා සල්ලි දැම්ම ඒත් අන්තිමට එයා දැම්ම සල්ලි ගන්න බැරි වුණා.. අන්තිමට ඒ ගැන කල්පනා කරලම මල්ලි නැති වුණා. අදත් මල්ලිගෙ සල්ලි නැහැ.. අඩුම ගාණෙ එයා වෙනුවෙන් පිංකමක් කරන්නවත් සල්ලි නැහැ.. මම සභාපතිගෙන් ඉල්ලුවාම සල්ලි අද දෙන්නම් හෙට දෙන්නම් කියනවා ඒත් අද වෙනකම් සල්ලි ලැබිලා නැහැ.“

ගාමිණි ජයසිංහ මහතාද විගොඩ සණසේ ගනුදෙනු කරුවෙකි

“මාත් ලක්ෂ දාහතක් තැන්පත්කර තියෙනවා සතයක් ගන්න බැරි වුණා.. අපි මේ සල්ලි හෙව්වෙ ගොඩක් වෙහෙස වෙලා එහෙම හෙව්ව සල්ලි ටික අද ගඟේ ගියා වගේ වැඩක් වුණේ. මම ඉල්ලන්නෙ අපේ සල්ලි දෙන්න කියලා.. ඒ වගේම අනෙක් අයට කියනවා මින් ඉදිරියටතව් මොලේ කල්පනා කර මුදල් ආයෝජනය කරන්න කියලා අපි ජීවිත කාලයම හෙව්ව සල්ලි තමයි ඉතිරි කළේ අන්තිමට වුණේ පරිස්සමට තිබ්බ එක ඈලියාවට ගියා වගේ වැඩක්..“

විගොඩ මහින්ද මහතාද සණස සමග ගනුදෙනු කළ සහ ගනුදෙනු වන ආකාරයට සමීපව නිරීක්ෂණය කළ පුද්ගලයකි.

“ මෙතැන විවිධ විෂමාචාර වුණා ඒකයි මහ මෙරක් වගේ තිබ්බ විගොඩ සණස කඩා වැටුණේ ඇත්තෙන්ම මට දුකයි ගමේ මිනිස්සුන්ට වෙච්ච දේ ගැන. මම කියන්නෙ නැහැ කෝට් හැත්තෑපහක මුදලක් හොරකම් කළා කියලා ඒත් වැරැදි කළමනාකරණය නිසා මේ මුදල් නැති වුණා.. සණස එක්ක ළඟින් වැඩ කළ කෙනෙක් විදිහට මට හිතෙන්නෙ එහෙමයි..“

වයලට් චන්ද්‍රවතී මහත්මියද විගොඩ සණස සමග දිගු කළක් ගනුදෙනු කළ තැනැත්තියකි.

“ මම ගොඩක් කල් මෙතැනත් එකක් ගනුදෙනු කළා ඒත් මෙහෙම දෙයක් වුණේ නැහැ.. අපි ලොකු ධනපතියො නෙමෙයි අමාරුවෙන් තමයි සල්ලි ටිකක් ඉතිරි කරන්නෙ ඒ සල්ලි තමයි තැන්පත් කළේ ඒත් අද වෙද්දි ඒ මුදල් අපිට ආයෙ ලබා ගන්න බැරිවෙලා තියෙනවා. දැන් අපිට කියනවා ටික ටික දෙන්නම් කියලා සල්ලි ගන්න ගියාම රුපියල් දෙදහක් දෙනවා තුන් දහක් දෙනවා ඒවගේ තත්ත්වයකටයි අද පත්වෙලා තියෙන්නේ. අපි ගරුත්වයක් ඇතිව සමාජයේ ජීවත් වූ අය අපිට ජීවිතය අවසාන කාලයේදී සැනසීමේ ජීවත් වෙන්න බැරි වෙලා තියෙන්නේ.ඒ නිසා මම සැමදෙනාගෙන්ම ඉල්ලා සිටිනවා කරන දෙයක් පරිස්සමින් කරන්න කියලා.

කේ ආර් වී සමන් , ලක්ෂණ අබේගුණවර්ධන , සරත් විජේසිංහ . එම් ටී ආර් ඩයස් මහත්වරුන්ටද ඇත්තේ එකම ගැටලුවකි. ඔවුන් සෙවූ මුදලින් විශාල ප්‍රමාණයක් විගොඩ සණස නම් මකර කටට වැටී තිබේ. එම විපතින් තම සගයන් ගලවා ගැනීමේ සටනට නායකත්වය දීමට ඔවුන් ඉදිරිපත් සිටිති.ඔවුන්ගේ අරමුණ වී තිබෙන්නේ තමන් සහ සෙස්සන් සමග සාමූහික අරගලයකින් තම අයිතිය දිනාගැනීමය.

අද වන විට පළාතක්ම අමාරුවේ දැමූ ආර්ථික අර්බූදයක් බවට පත්ව ඇති විගොඩ සණස අවුලෙන් සෙසු අයටද විශාල පාඩමක් ඉගෙන ගත හැකිව තිබේ.

දැන් කළ යුත්තේ විගොඩ සණස , වත්තේගෙදර සණස වැනි අර්බූද නැවත සෙසු තැන්වල ඇති නොවන ආකාරයට නීති රාමුවක් ඇති කිරීම සහ සණස වැනි ආයතනවලට මීට වඩා රාජ්‍ය වගකීමක් ඇතිවන ආකාරයට කටයුතු සැලසුම් කිරීමය.

ඡායාරූප - ලයනල් පී පෙරේරා


නව අදහස දක්වන්න