විපක්ෂනායක පත්කළේ ප්‍රජාතන්ත්‍රවාදයට අනුවයි | දිනමිණ

විපක්ෂනායක පත්කළේ ප්‍රජාතන්ත්‍රවාදයට අනුවයි

ස්වර්ණා විජේකෝන්
රෝෂන් තුෂාර
සුභාෂිණී සේනානායක

පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය හැර වැඩිම ආසන සංඛ්‍යාවක් හිමිකර ගත් පක්ෂයට විපක්ෂනායක ධූරය පිරිනැමීම ප්‍රජාතන්ත්‍රවාදී කරුණක් බවත් ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතාට විපක්ෂ නායක ධූරය පිරිනැමීමේ බාදාවක් නොමැති බවත් කතානායක කරූ ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (25) ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයා රජයේ නායකත්වය දරන අවස්ථා වලදී එම පක්ෂයේ පුද්ගලයකු විපක්ෂ නායක ධූරය දැරිම අලුත් තත්ත්වයක් නොවන බව පැවසූ කතානායකවරයා ජනාධිපතිවරයා අමාත්‍යධුර දැරීම විපක්ෂ නායක ධූරය එම පක්ෂයට පිරිනැමීමට කිසිදු බාධාවක් නොවන බවත් කතානායකවරයා සඳහන් කළේය.

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාර‍තුංග ජනාධිපතිවරියගේ සමයේ දී, ඩි.බී. විජේතුංග සමයේදී, ඇතුළු අවස්ථා ගණනාවකදී මෙසේ විපක්ෂනායක ධූරය ජනාධිපතිවරයා නායකත්වය දරන පක්ෂයට හිමිව ඇති බවත් කතානායකවරයා පෙන්වා දුන්නේය.

ලෝක පාර්ලිමේන්තු පි‍ළිවෙත අනුව නොව විධායක ජනාධිපති ධූරයක් ක්‍රියාත්මක ශ්‍රී ලංකා පාර්ලි‍මේන්තු සම්ප්‍රදාය අනුව මේ සඳහා කිසිදු බාධාවක් නොමැති බවවද කතානායකවරයා සඳහන් කළේය.

විපක්ෂ නායක ධූරය හිටපු ජනා‍ධිපති මහින්ද රාජපක්ෂ මහතාට පිරිනැමීමට ගත් තීන්දුවට අභියෝග නොකරන බව සඳහන් කරමින් හිටපු විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා ඉදිරිපත් කළ රීති ප්‍රශ්නයට පිළිතුරු දෙමින් කතානායකවරයා මේ බව සඳහන් කළේය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ කතානායක කරූ ජයසූරිය මහතා - මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායක ධූරය සඳහා පත්කරන ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ‍ලේකම්වරයා ඉල්ලිමක් කළා. ඒ වගේම පාර්ලිමේන්තුවේ කණ්ඩා‍යම් නායක කරන්න කියා ඉල්ලිමක් ද කළා. ජාතික රජය යටතේ සන්ධානය වෙනම පක්ෂයක් ලෙස පිළිගත්තේ නැහැ. දෙසැම්බර් මාසයෙන් පසුව එක්සත් ජනතා නිදහස් සන්ධානය ජාතික රජයේ කොටසක් ලෙස සැළකුවේ නැහැ.

වැඩිම සාමාජිකයින් පිරිසක් සි‍ටින පක්ෂයට විපක්ෂ නායක ධූරය පිරිනැමිය යුතුයි‍. මේ ප්‍රශ්නය ඇති වූ අවස්ථාවේදී මහින්ද රාජපක්ෂ මහතා වෙනත් පක්ෂයක සාමාජිකත්වය ලබාගැනීම සම්බන්ධයෙන් තේරිම් කාරක සභාවක් පත්කළා. විශේෂයෙන් ජනාධිපති පත් නොවන අනෙක් පක්ෂයෙන් අගමැති පත්වූ අවස්ථාවල විපක්ෂනායකකම ලබාගත් අවස්ථා තිබෙනවා. චන්ද්‍රිකා‍ බණ්ඩාරනායක, ඩී. බී. විජේතුංග හා අනෙකුත් අවස්ථා වලදී මෙවැනි ආකාරයට ක්‍රියාත්මක වී තිබෙනවා.

නව අදහස දක්වන්න