පාසල් දරුවන් දිගු කාලීන මත්ද්‍රව්‍ය පාරිභෝගිකයන් කරගැනීමට ජාවාරම්කරුවන් ක්‍රියාත්මක වෙලා | දිනමිණ

පාසල් දරුවන් දිගු කාලීන මත්ද්‍රව්‍ය පාරිභෝගිකයන් කරගැනීමට ජාවාරම්කරුවන් ක්‍රියාත්මක වෙලා

මානෙල් පුෂ්ප කුමාරි

මෙරට තුළ මත්ද්‍රව්‍ය සුලබ දෙයක් බවට පත් කරමින් අහිංසක පාසල් දරුවන් දීර්ඝ කාලීන පාරිභෝගිකයන් බවට පත් කර ගැනීමට මෙරට මහා පරිමාණ මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයන් උත්සාහ කරන බව අයිතීන් උදෙසා කාන්තාවෝ ව්‍යාපාරයේ සභාපතිනි සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය පැවැසුවාය.

අයිතීන් උදෙසා කාන්තාවෝ ව්‍යාපාරය මඟින් පෙරේදා(24) ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය හමුවේ දී ඒ මහත්මිය මේ බව ප්‍රකාශ කළාය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහත්මිය මේ බව ද කියා සිටියාය.

දරුවන් මත්ද්‍රව්‍ය පිළිබඳව අත්හදා බැලීමටත් ඒ පිළිබඳව ඇති කුතුහලය නිසාත් ඇබ්බැහි වෙනවා. මෙරට සිටින්නන්ගෙන් සෑම 50 දෙනෙකුගෙන් ම එක් අයෙක් මත්ද්‍රව්‍ය භාවිත කරන්නෙක් බවට පත්ව තිබෙනවා.

දීර්ඝ කාලයක් තිස්සේ මෙරට විශාල ලෙස මත්ද්‍රව්‍ය තොග හසු වුණා. නමුත් ඒවාට සිදු කරන දෙයක් විද්‍යමාන වී නැහැ. මේවා විනාශ කරනවාද එසේත් නැත්නම් නැවත සමාජගත වෙනවාද යන්න ප්‍රශ්නයක් මතු වෙනවා. මත්ද්‍රව්‍ය ගෙන්වන්නාට සමහර දේශපාලනඥයන්ගේ රැකවරණය හිමිවෙනවා. ඒ කෙසේ වෙතත් මේ මඟින් නිර්මාණය කර ඇත්තේ දරුවන් අනාරක්ෂිත වන වට පිටාවක්.

මෙරටින් විදේශගත වන මවුවරුන්ගේ දරුවන් විශාල ප්‍රමාණයක් මේ වන විට මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී තිබෙනවා. මෙරට ඉපදෙන කිසිම දරුවෙක් උපතින් අපරාධකරුවෙකු නොවෙයි. එයට අවශ්‍ය වටපිවාට නිර්මාණය කර තිබෙන්නේ වැඩිහිටියන්. මුලින්ම මේ දරුවන්ට මත්ද්‍රව්‍ය අලෙවි කරන තැරැව්කරුවන් නොමිලේ මත්ද්‍රව්‍ය ලබා දෙනවා. පසුව ඔවුන් ඒවාට අබ්බැහි වෙනවා. කොටකෙතන මව සහ දියණිය ඝාතනය වෙන්නේ මත්ද්‍රව්‍ය සිද්ධිය සම්බන්ධයෙන්. නමුත් අදටත් ඒ අපරාධකරු නිදැල්ලේ සිටිනවා.

අද මාපියන් දරුවකු නිර්මාණය කරන්නේ මරාගෙන මැරෙන අධ්‍යාපන ක්‍රමයක් තුළයි. මේ අවස්ථාවේ දී මෙම දරුවන් හුදකලාව අධ්‍යපනයට යොමු වෙනවා මිසක් වින්දනයක් කරා යොමු වන්නේ නැහැ. ශ්‍රී ලංකාව තමයි සියදිවි හානිකර ගැනීමට පත් වන පළමු රට. ප්‍රමාණවත් උපදේශන සේවාවක් පුනරුත්ථාපනය සහ මනෝවිද්‍යාත්මක යාන්ත්‍රණයක් මෙරට නීති පද්ධතිය තුළ තිබිය යතු බවත් දඩය සහ දඩුවම පමණක් ප්‍රමුඛ කරගෙන සකස් කර ඇති මෙරට නීති පද්ධතිය වෙනසක් සිදු කිරීම මෙයට ගත හැකි හොඳම ක්‍රියාමාර්ගය බවත් ඒ මහත්මිය කීවාය.

අයිතීන් උදෙසා කාන්තාවෝ ව්‍යාපාරයේ ලේකම් සමන්මලී ගුණසිංහ මහත්මිය ද මෙහිදී අදහස් දැක්වූවා

ඡායාරූපය- සිරිපාල හල්වල

නව අදහස දක්වන්න