ශාසනික උන්නතියටත් හේමාලෝක නාහිමිගෙන් ඉටුවුණේ විශාල මෙහෙයක් | දිනමිණ

ශාසනික උන්නතියටත් හේමාලෝක නාහිමිගෙන් ඉටුවුණේ විශාල මෙහෙයක්

මල්වාන සමූහ මහානාම විතානගේ
දෙල්ගොඩ සමූහ -සුදත් පුබුදු කීර්ති

අපවත් වී වදාළ අධ්‍යාපන අමාත්‍යංශයේ හිටපු සහකාර පිරිවෙන් අධ්‍යක්ෂ, ගම්පහ දිසාවේ ප්‍රධාන සංඝනායක හා බියගම ශාසනාරක්ෂක බලමණ්ඩලයේ සභාපති දෙල්ගොඩ ‍ගොළුම්මහර ශ්‍රී සුභද්‍රාරාමාධිපති වතුරවිල හේමාලෝක නාහිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය ඉකුත්දා (21) පස්වරුවේදී සියඹලාපේවත්ත ප්‍රාථමික විද්‍යාලයීය ක්‍රීඩාපිටියේ දී ගිහි පැවිදි විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

හදිසි හෘදයාබාදයකට ලක් වී ඉකුත් දා (17) කොළඹ ජාතික රෝහලේදී අපවත් වී වදාළ හේමාලෝක නාහිමියන්ගේ ශ්‍රී දේහය මහජන ගෞරවය සඳහා ගොළුම්මහර සුභද්‍රාරාම විහාරස්ථානයේ තැන්පත් කර තිබූ කාලයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, කතානායක කරු ජයසූරිය, ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජේවර්ධන මහත්වරුන් ඇතුළු ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මැති ඇමැතිවරුන් රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් විහාරස්ථානයට පැමිණ උන්වහන්සේගේ දේහයට අවසන් ගෞරව දැක් වූහ.

සුභද්‍රාරාම විහාරස්ථානයේ සිට රන්සිවිගෙයක තැන්පත් කළ උන්වහන්සේගේ ශ්‍රී දේහය පෙරහරින් ආදාහන පූජෝත්සවය පැවති ක්‍රීඩාංගණය දක්වා වැඩම කරවා ශ්‍රී ලංකා අමරපුර මාතර මහා නිකායේ මහානායක නාකුළුගමුවේ පේමතිලක නාහිමියන් විසින් මෙහිදී ආගමික වතාවත් සිදු කළහ.

අනතුරුව මතක වස්ත්‍ර පූජා කිරීමෙන් හා පැන් වඩා අපවත් වී වදාළ හේමාලෝක මාහිමියන්ට පින් අනුමෝදන් කිරීමෙන් පසු ආදාහන පූජෝත්සවයේ කටයුතු ආරම්භ කෙරිණි.

මෙහිදී ජනාධිපතිවරයාගේ ශෝක පණිවිඩය බියගම ශ්‍රී.ල.නි.ප. ප්‍රධාන සංවිධායක බියගම ප්‍රාදේශීය සභා මන්ත්‍රී නලින් දිසානායක මහතා විසින් ද අගමැතිවරයාගේ ශෝක පණිවිඩය ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජේවර්ධන මහතා විසින්ද, නිවාස ඇමැති සජිත් ප්‍රේමදාස මහතා‍ගේ ශෝක පණිවිඩය බියගම ප්‍රාදේශීය සභාවේ විපක්ෂනායක ප්‍රසන්න සම්පත් මහතා විසින්ද කියවන ලදී.

ශ්‍රී ලංකා අමරපුර මාතර මහා නිකායේ මහානායක නාකුළුගමුවේ පේමතිලක නාහිමි -

එවකට නොදියුණු මට්ටමක පැවති ගොළුම්මහර ප්‍රදේශය බබළවමින් මේ ප්‍රදේශවල සංවර්ධන කටයුතු උදෙසාත් අතිවිශාල වූ ශාසනික උන්නතිය හා සමාජීය සේවාව සඳහාත් බියගම ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේකාධිකාරීවරයා වශයෙන් බියගම දහම් පාසල් අධ්‍යාපනය නගාසිටුවීමටද උන්වහන්සේ විශාල මෙහෙවරක් සිදු කළා. උන්වහන්සේගේ අපවත්වීම ප්‍රදේශයට සිදු වූ බලවත් පාඩුවක්

ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා :-

බියගම මැතිවරණ කොට්ඨාසයේ සුවිශේෂී වූ සංවර්ධන කටයුතුවලදී පුරෝගාමීත්වය ගෙන අපේ නායක හාමුදුරුවෝ අපට මඟ පෙන්වමින් අනුශාසනා ලබා දුන්නා. වත්මන් අගමැතිතුමා එදා බියගම නිදහස් වෙළෙඳ කලාපය ආරම්භ කිරීමේදී එතුමාට විශාල ශක්තියක් නාහිමියන් ලබා දුන්නා. මා බියගම සංවිධායක වූ පසු මේ දක්වාම උන්වහන්සේ මා හට ශක්තියක් වුණා.

ප්‍රදේශයේ සමාජ,දේශපාලන, ශාසනික සේවාව වෙනුවෙන් ඇප කැප වූ නාහිමියන්ගේ අපවත්වීම අප සැමට දැරිය නොහැකි පාඩුවක්.

ශ්‍රී ලංකා ශ්වේජින් මහා නිකායේ මහා නායක කඳුබොඩ ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති ඉඟුරුවත්තේ පියනන්ද නාහිමියෝද සමස්ත අමරපුර මහා සංඝ සභාවේ ලේඛකාධිකාරි රුසියාවේ ප්‍රධාන සංඝනායක මහාචාර්ය පල්ලෙකන්දේ රතනසාර, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ නියෝජ්‍ය ලේඛකාධිකාරී නැදගමුවේ විජය මෛත්‍රී, කොළඹ නව කෝරළයේ හා නව තොටමුණේ ප්‍රධාන සංඝනායක පානකාවේ පේමරතන හා ගාලු කෝරලයේ ප්‍රධාන සංඝනායක පැල්ලපිටියේ ධම්මික නාහිමිවරුද අගමැතිගේ ආගමික උපදේශක අඹන්වෙල ඤාණාලෝක, කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කන්දේගොඩ විමලධම්ම, පරකඩුවේ සරණංකර හා විහාරාධිකාරි බැරගම විමලධම්ම හිමිවරුද, ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩුලිප් විජේසේකර, ප්‍රසන්න රණතුංග, බස්නාහිර පළාත් සභා මන්ත්‍රි ගුණසිරි ජයනාත්, බියගම ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක ප්‍රසන්න සම්පත්, ඥාතීන් වෙනුවෙන් හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එච්.ටී.ධර්මදාස හා ගම්වාසීන් වෙනුවෙන් නිමල් ශාන්ත මහත්වරුද මෙහිදී කතා කළහ.

කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති වැලමිටියාවේ කුසලධම්ම නාහිමි ඇතුළු මහා සංඝරත්නයද පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන, බස්නාහිර පළාත් සභා මන්ත්‍රී සහන් ප්‍රදීප් විතාන, බියගම ප්‍රාදේශීය සභාවේ සභාපති ආනන්ද ගනේපොල, ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත්,බියගම ප්‍රාදේශීය ලේකම් චන්දිමා සූරියආරච්චි මහත්ම මහත්මීන්ද , බියගම ප්‍රාදේශීය සභාවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුද මේ අවස්ථාවට සහභාගි වූහ.

නව අදහස දක්වන්න