ස්වභාව ධර්මයේ වර්ධනයට මානව ක්‍රියාකාරකම් තර්ජනයක් විය යුතු නෑ | දිනමිණ

ස්වභාව ධර්මයේ වර්ධනයට මානව ක්‍රියාකාරකම් තර්ජනයක් විය යුතු නෑ

ස්වභාව ධර්මයාගේ වර්ධනයට මානව ක්‍රියාකාරකම් තර්ජනයක් නොවිය යුතු අතර, මනුෂ්‍ය වර්ගයාගේ ප්‍රමුඛ වගකීම වන්නේ ස්වභාව ධර්මයේ ශක්තිය වර්ධනය කිරීම බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරයි.

ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේ ඊයේ (25) සිංගප්පූරුවේ දී ආරම්භ කෙරුණු එක්සත් ජාතීන්ගේ ආසියානු ශාන්තිකර කලාපීය පරිසර ඇමැතිවරුන්ගේ සහ පරිසර ආයතන ප්‍රධානීන්ගේ සමුළුවේ ප්‍රධාන දේශනය සිදු කරමිනි.

මෙහි දී සමුළුව ඇමතූ ජනාධිපතිවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළේ පෘථිවියේ සමස්ත ජීවයම තිරසර ලෙස පවත්වාගෙන යෑමේ වගකීම මිනිසා සතු බව බෞද්ධයකු ලෙස තමා දැඩිව විශ්වාස කරන බවයි. මිනිසාට ජීවත්වීමට සුදුසු පරිසරයක් ගොඩනැඟීමත්, පරිසර හිතකාමී ලෙසට ගෝලීය ආර්ථිකය මෙහයවීමත් අද අපගේ ප්‍රධාන වගකීම බව පෙන්වා දුන් ජනාධිපතිවරයා පරිසරය වෙනුවෙන් යුතුකම් ඉටු කිරීමට කලාපීය සහයෝගීතාව වර්ධනය කර ගැනීමේ වැදගත්කම ද අවධාරණය කළේය.

ප්‍රෞඩ කෘෂිකාර්මික ශිෂ්ටාචාරයක් සහිත දේශයක් වන ශ්‍රී ලංකාව පරිසර සංරක්ෂණය සහ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ගෙන ඇති පියවර පිළිබඳ විස්තර කළ ජනාධිපතිවරයා ආහාර නාස්තිය පාලනය කර ගැනීමට කලාපයේ රටවල් එක්ව කටයුතු කිරීම පිළිබඳ යෝජනාවක් ද එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුව වෙත ඉදිරිපත් කළේය.

තිරසර හරිත කර්මාන්ත සවිමත් කිරීම උදෙසා කලාපීය සහයෝගීතාවන් ඇති කිරීමට දියුණු ජාතීන්ගේ සහාය අවශ්‍ය බව ද පෙන්වා දුන් ජනාධිපතිවරයා දේශගුණික විපර්යාස හේතුවෙන් බලවත් ලෙස බලපෑමට ලක්වන ශ්‍රී ලංකාව වැනි රටවලට සිය තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට හැකි වන ලෙස අරමුදල් ලබාදීමේ යන්ත්‍රණයක අවශ්‍යතාව ද අවධාරණය කළේය. කාලීන අවශ්‍යතාවන්ට අනුකූල ලෙස නව පියවර ගැනීමටත්, පරිසර සම්මුති සංශෝධනය කිරීමේ අවශ්‍යතාවත් පැහැදිළි කළ ජනාධිපතිවරයා පරිසර සම්මුති යටතේ සිය වගකීම් ඉටුකිරීම උදෙසා සාමාජික රටවල් දිරිමත් කිරීමේ ක්‍රමවත් වැඩපිළිවෙළක් පිළිබඳ ද යෝජනා කළේය.

එමෙන්ම පරිසර පද්ධතිය විශේෂයෙන්ම තෙත්බිම් රසායනික අපද්‍රව්‍යවලින් සුරැකීමට එක්ව කටයුතු කිරීමේ වැදගත්කම ද පැහැදිලි කළ ජනාධිපතිවරයා කඩොලාන සුරැකීමේ පොදුරාජ්‍ය මණ්ඩලීය සාමාජිකයකු වශයෙන් ශ්‍රී ලංකාව ඉටු කරන සුවිශේෂ කාර්යභාරය ද පැහැදිලි කළේය. කඩොලාන සුරැකීම වෙනුවෙන් ගෝලීය මට්ටමින් අංග සම්පූර්ණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ යෝජනාවක් ද ජනාධිපතිවරයා මෙහි දී එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ සිවුවන සැසිය වෙනුවෙන් ඉදිරිපත් කරනු ලැබීය.

ගෝලීය උෂ්ණත්වයේ හානිකර බලපෑම් මැද වුව ද ශ්‍රී ලංකාව යෝධ හරිත ආයෝජනයක් වශයෙන් මොරගහකන්ද කළු ගඟ බහුකාර්ය ජල සම්පත් යෝජනා ක්‍රමය සාර්ථකව ක්‍රියාත්මක කිරීමට සමත් වූ බව මෙහි දී සිහිපත් කළ ජනාධිපතිවරයා මෙය පාරිසරික වෙනස්කම්වල බලපෑම අවම කර ගැනීමට ගත් එක් පියවරක් බව ද සඳහන් කළේය.

එක්සත් ජාතීන්ගේ ආසියානු ශාන්තිකර කලාපීය පරිසර ඇමැතිවරුන්ගේ සහ පරිසර ආයතන ප්‍රධානීන්ගේ සමුළුව ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (25) පෙරවරුවේ සිංගප්පූරුවේ මරීනා බේ සෑන්ඩ්ස් ප්‍රදර්ශන සහ සම්මේලන මධ්‍යස්ථානයේ දී ආරම්භ කෙරිණි.

පරිසර අභියෝග සහ තිරසර පරිභෝජනය හා නිෂ්පාදනය සඳහා වන නිර්මාණාත්මක විසඳුම් යන තේමාව යටතේ පැවැති මේ සමුළුව සඳහා ආසියා ශාන්තිකර කලාපයේ රටවල් 40ක් නියෝජනය කරමින් පරිසර ඇමැතිවරු සහ ඉහළ පෙළේ නියෝජිතයන් එක්ව සිටියහ.

සමුළු ශාලාව වෙත පැමිණි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පිළිගනු ලැබුවේ සිංගප්පූරු නියෝජ්‍ය අගමැති Teo Chee Hean, ටුවාලු රාජ්‍යයේ අගමැති Enele Sosene Sopoaga යන මහත්වරුන් ඇතුළු පිරිසක් විසිනි.

පරිසරය සුරැකීම වෙනුවෙන් විශේෂ කැපවීමකින් කටයුතු කරන සහ පරිසරය වෙනුවෙන් ප්‍රතිපත්තිමය තීන්දු තීරණ රැසකට එළැඹි නායකයකු ලෙස ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ දේශනය මෙහි දී සියලු පාර්ශ්වයන්ගේ විශේෂ අවධානයට ලක් විය.

නව අදහස දක්වන්න