සේනා - මර්දනය! | දිනමිණ

සේනා - මර්දනය!

අමෙරිකාවේ තිරිඟු යායකට කෘමි රෝගයක් ඇතුළු වුවහොත්; එය ඉතා කෙටි කලකින් පැතිර ගොස් මුළු ලෝකයේ ම තිරිඟු පිටි අර්බුදයක් මතු වනු ඇත. වියට්නාමය, චීනය, තායිලන්තය, ඉන්දියාව,පිලිපීනය ආදී රටවල වී වගාවට වසංගතයක් ව්‍යාප්ත වුවහොත් ආසියාවේ බත් කන සියලු රටවලට එය බලපානු ඇත. එහෙත් මේ රටවල වගාවට පහසුවෙන් රෝග බෝ වන්නේ නැත. පහසුවෙන් අයහපත් කෘමීන් ඇතුළුවන්නේ ද නැත. හේතුව නිරන්තරයෙන්ම පරීක්ෂණ කටයුතු සිදුවීම ය. අපේ රටේ පර්යේෂණ ආයතන තිබුණත් ඒවා කාර්යක්ෂම යැයි සහතික කරන්නට බැරිය. “සේනා” නමින් කෘමි රෝගයක් බඩ ඉරිඟු වගාව ඔස්සේ පැතිර යෑමෙන් ද ඉහත කී කාරණය සනාථ වෙයි.

බඩ ඉරිඟු වගාව ඔස්සේ පැතිර යන කෘමි වසංගතයට විවිධ පළිබෝධ නාශක නිර්දේශ කර ඇතත්; වසංගතය මුළුමනින් නිමාවට පත් වී නැත. ලැබෙන තොරතුරුවලින් කියැවෙන්නේ නුවරඑළිය හා යාපනය හැරුණුකොට අනෙක් සෑම දිස්ත්‍රික්කයක ම බඩ ඉරිඟු වගාවට රෝගය ව්‍යාප්ත වී ඇති බව ය. මෙහි වඩාත් භයානක තත්ත්වය වන්නේ වී වගාවට හා එළවළු වගාවට ද රෝගය බෝවිය හැකි බවට අනතුරු හඟවා තිබීම ය. වී වගාව අපේ ආහාර භෝග වගාවේ අංක එක වන අතර එය විනාශ වුවහොත් ආහාර අර්බුදයක් මතු වනු ඇත. එළවළු වගාවද වී වගාව තරමටම වැදගත් ය. මේ අනුසාරයෙන් බලනවිට පෙනී යන්නේ කෘෂිකර්මය පිළිබඳ මහා අනතුරක් අප ඉදිරියෙහි ඇති බව ය.

සේනා දළඹුවා ඇතිවීමට මූලික හේතුව තව ම සොයාගෙන නැත. එහෙත් කඩින් - කඩ සිදු කරන බඩ ඉරිඟු වගාව නිසා රෝගය මර්දනය කිරීම අපහසු වී ඇති බව ද එහි ව්‍යාප්තිය වේගවත් වී ඇති බව ද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. ගොවියා එක යායක එක කාලයක වගාව ආරම්භ කරන්නේ නම්; පළිබෝධ නාශක යෙදීමද පහසු වෙයි. එහෙත් විවිධ හේතු නිසා ගොවියන් කඩින් - කඩ වගාවට යොමු වන බව පෙනී යයි. ගොවියාගේ පැත්තෙන් බලන විට ඊට සාධාරණ හේතු තිබෙන්නට පුළුවන. එහෙත් අර්බුදකාරී අවස්ථාවක රජයේ උපදේශන අකුරටම පිළිපදින්නට ඕනෑම ගොවියකු සූදානම් විය යුතුය.

බඩ ඉරිඟු අස්වැන්න ප්‍රවාහනය කරන ආකාරයට අනුව රෝගය වෙනත් වගාවන් සඳහා ද පැතිර යා හැකි බව දැනට පෙනී යයි. මීට සතියකට පමණ පෙර නුවරඑළිය ප්‍රදේශයට ප්‍රවාහනය කරමින් තිබූ බඩ ඉරිඟු ශාක තොගයක් පරීක්ෂාවට ලක් කළ අතර ඒවාහි සේනා දළඹුවන් විශාල ප්‍රමාණයක් සිටි බව සොයාගෙන තිබිණි. මේ සිද්ධියෙන් පැහැදිලි වන්නේ රටේ සාමාන්‍ය ජනතාව හා ව්‍යාපාරිකයන් රෝගය පිළිබඳ කිසිදු සැලැකිල්ලක් දක්වන්නේ නැති බව ය. ඉහත බඩ ඉරිඟු ශාක තොගය නුවරඑළියට ප්‍රවාහනය කළේ නම්; එහි එළවළු වගාවට ද රෝගය පැතිරයන්නට ඉඩ තිබිණි. මෙබඳු අවදානම් සහගත ක්‍රියාවලින් මුළුමනින් ම බැහැර නොවී රෝගය මර්දනය කිරීම අපහසු ය.

බඩ ඉරිඟු යනු අපේ ප්‍රධාන ආහාරයකි. බඩ ඉරිඟු පිටි විවිධ ආහාර නිෂ්පාදන සඳහා යොදා ගන්නා අතර එම කරල් තම්බා ආහාරයට ගැනීම ද ජනප්‍රිය වී තිබේ. අපේ ප්‍රධාන මාර්ග දෙපස බඩ ඉරිඟු කරල් තම්බා අලෙවි කරන ස්ථාන විශාල ප්‍රමාණයක් තිබේ. ඒවා පරීක්ෂාවට ලක් කළ අවස්ථා කිහිපයක දී ම අමු බඩ ඉරිඟු කරල් තුළ සේනා දළඹුවන් සිටි බව හෙළිදරව් වී ඇත. පරීක්ෂාවට ලක් නොවුණු බඩ ඉරිඟු කොතරම් ප්‍රමාණයක් ජනතාව ආහාරයට ගෙන තිබේ ද? ඒවායෙහි සේනා දළඹුවන් කොපමණ ප්‍රමාණයක් සිටින්නට ඇත්ද? යන්න ගැන කිසිවක් කිව නොහැකිය.

ආසියානු රටවල ද, අප්‍රිකානු රටවල ද වගාවේ කෘමි රෝග මර්දනය සඳහා සාම්ප්‍රදායක ක්‍රම අනුගමනය කරනු ලැබේ. මේවා බොහෝ විට සාර්ථක ය. රෝග මර්දනය මෙන් වස - විෂෙන් ‍තොර අස්වැන්නක් නෙළා ගැනීමටද මේ මගින් අවස්ථාව ලැබේ. අපේ පරිසරවේදියකු හා ගොවිපොළ හිමියකු වන කන්දේගම මහතා පෙන්වා දී ඇත්තේ අළු ප්‍රතිකාර ක්‍රමය ඔස්සේ මේ කෘමියාගේ ව්‍යාප්තිය නවතා දැමිය හැකි බව ය. කෘෂිකර්ම නිලධාරීන් මේ ක්‍රමයට ඒ තරම් කැමැත්තක් දක්වන බවක් පෙනෙන්නට නැත. ගොවීන් ද එම ක්‍රමය අත්හදා බලන්නට සූදානම් නැති බවක් පෙනෙයි. කන්දේගම මහතා වගාවට අළු ඉසින ක්‍රමය පවා පැහැදිලි කරයි. එය නොසලකා හැරීම අපරාධයකි.

ලෝකයේ ජනප්‍රිය වගාවන් පාලනය කරන මාෆියා සංවිධාන ඇති බව කව්රුත් දනිති. මේ සංවිධාන ඇතැම් රටවලට පළිබෝධ නාශක හඳුන්වා දෙන්නේ වගාවට රෝග ඇතුළත් කිරීමෙන් පසු ය. ඇතැම් රටවල වගාව විනාශකොට තවත් රටවල වගාව වර්ධනය කිරීමටද ඔව්හු පියවර ගනිති. බිබිලේ පැණි දොඩම් වගාව විනාශ වූයේ එබඳු උපාය මාර්ගයක් නිසා යැයි කියති. අද බිබිලේ පැණි දොඩම් නැත. එහෙත් පිටරට පැණි දොඩම් ඇත. වගාවන් ගැන ද, ඒවාට යොදන පොහොර හා කෘමි නාශක ගැන ද නිරන්තර පරීක්ෂාවක් අවශ්‍ය වෙයි. එහෙත් අපේ රටේ එය සිදුවන්නේ නැත. ඒ අනුව ඉතා පහසුවෙන් රෝගවලට පැතිර යා හැකි ය.

රජය මේ රෝගය මර්දනය කිරීම සඳහා මුළු අවධානය යොමු කර ඇති බවක් පෙනෙන්නට තිබේ. ජනාධිපතිවරයා පවා ඊට මැදිහත් වීමෙන් ඒ බව සනාථ වෙයි. මේ සතිය මුළුමනින් ම වෙන්කර ඇත්තේ සේනා වසංගතය මර්දනය කිරීම සඳහා ය. ගොවියා දැනුම්වත් කිරීම සියල්ලට පළමුව සිදු කළ යුතුය. ගොවියාගේ නොදැනුවත්කම මෙන්ම නොසැලකිල්ල නිසා රෝගය උත්සන්න වූ බවක් ද පෙනෙන්නට තිබේ. දෙවනුව රෝගකාරක අස්වැන්න මුළුමනින් ම විනාශ කළ යුතුය. තෙවනුව ගොවිබිම් පරීක්ෂා කළ යුතුය. නිර්දේශිත පළිබෝධ නාශක පහසුවෙන් ලබාගත හැකි ක්‍රමයක් ද තිබිය යුතුය. කෘමි රෝගය නිසා වගාව විනාශ වී පාඩු විඳින ගොවියාට වන්දි ලබා‍ දෙන බව ද රජය කියයි. එය බුද්ධිමත් තීරණයකි.

අප මුලින් සඳහන් කළ පරිදි සේනා දළඹුවා වී වගාව ඇතුළු අනෙකුත් වගාවලට රිංගා ගතහොත් බලවත් විනාශයක් සිදුවෙයි. එය වළක්වා ගැනීමටද පියවර ගත යුතුය. සිංහරාජ අඩවියේ කිතුල් ගසට ද ආගන්තුක රෝගයක් වැලඳී ඇති බව වාර්තා වෙයි. කිතුල් ගසේ කොළ අතු කහ පැහැයක් ගෙන පැණි අස්වැන්න අඩු කරන බව දැනට වාර්තා වී ඇත. මේ රෝගය ද ව්‍යාප්ත වන්නට පෙර මර්දනය කළ යුතුය. දරුණු ත්‍රස්තවාදයක් මර්දනය කළ, ඩෙංගු වැනි රෝගවලට සාර්ථක ව මුහුණදෙන ශ්‍රී ලංකාවට සේනා දළඹුවා මර්දනය කිරීමට හැකියාවක් තිබේ. එහෙත් එය කළ හැක්කේ අදාළ අංශ කාර්යක්ෂමව හා කැපවීමෙන් මීට විසැඳුම් සපයන්නේ නම් පමණි.

 


නව අදහස දක්වන්න