රණවිරුවන්ට සැලකීම....! | දිනමිණ


 

රණවිරුවන්ට සැලකීම....!

ආබාධිත රණවිරු සංගමය ද, රණවිරුවන්ගේ බිරින්දෑවරුන්ගේ සංගමය ද සතුටු කඳුළු හෙළන්නට පටන්ගත්තේයැයි කියමින්, මේ ලියැවිල්ල ආරම්භ කළ හැකි ය. ඉහත සංගම් දෙක පසුගිය කාලය පුරාවට යම් අසතුටකින් පසු වූ බව ද, ඇතැම්විට විරෝධතා දැක්වූ බව ද රහසක් නො වේ. ඒ සඳහා බල පෑ පැහැදිලි හේතු - සාධක ද දක්නට ලැබිණි. ඔවුන් රජය වෙතින් කරන ලද ඉල්ලීම් අතර ප්‍රධාන වූයේ, ‘යුද්ධය නිසා මියගිය රණවිරුවන්ගෙන් යැපෙන පිරිසට ජීවිත කාලය පුරාවට වන්දි මුදල ලබාදෙනු’ යන්න ය. කාලයක් තිස්සේ කරන ලද මේ ඉල්ලීම් දැන් ඉටු වී ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත අදාළ අංශ විසින් ඉහත තීන්දුව ගෙන තිබේ. මේ අනුව යැපෙන්නන් සඳහා ජිවිත කාලය පුරාවට වන්දි ලැබෙනු ඇත. ආබාධිත රණවිරුවන්ට ද ජීවිත කාලය පුරාවට වන්දි ලැබෙනු ඇත. මීට පෙර පැවැතියේ රණවිරුවාගේ වයස අවුරුදු පනස් පහ වනතුරු පමණක් වන්දි මුදල් ලබාදීම ය. දැන් එය සාධනීය ලෙස වෙනස් වී ඇත. මේ තීරණය පිළිබඳ ප්‍රතිචාර දක්වන සංගම් ‍දෙක; රණවිරුවන්ගේ වටිනාකම දන්නා රාජ්‍ය නායකයකු සිටීම ගැන බෙහෙවින් සතුටු වන බව ප්‍රකාශ කරති. අපේ රණවිරුවන්ගේ අගය රටේ නායකයෝ පමණක් නොව; ජගත් නායකයෝ ද හඳුනාගෙන සිටිති.

එක්සත් ජාතීන්ගේ ප්‍රධානී අන්තෝනියෝ ගුත රෝස් මහතා ශ්‍රී ලංකා රණවිරුවන්ගේ හැකියා හා අත්දැකීම් පිළිබඳ සඳහන් කරමින්; අපේ ආරක්ෂක හමුදා සාම සාධක හමුදාව තුළ ඉටු කරන කාර්යභාරය ඇගැයීමට ලක්කර ඇත. මාලි රාජ්‍යය තුළ අපේ හමුදා නිලධාරීන් සාම සාධක කාර්යයන්හි නිතර වෙමින් සිටිය දී ත්‍රස්ත ප්‍රහාරයකට ලක්වී ඇත. එහිදී රණවිරුවෝ දෙදෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. ගාවෝ වෙළෙඳ නගරයේ සිදුවූ මේ ප්‍රහාරයෙන් තවත් රණවිරුවෝ තිදෙනෙක් තුවාල ලැබූහ. එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා, සිද්ධියෙන් මියගිය රණවිරුවන් හා තුවාල ලැබූ රණවිරුවන් උදෙසා ශෝක පණිවිඩයක් නිකුත් කර ඇත. ඉන් පැහැදිළි වන්නේ, ශ්‍රී ලංකාවේ හමුදාවල වටිනාකම් ජාත්‍යන්තරය පිළිගෙන ඇති බව ය.

එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාව ලෝකයේ විවිධ රටවල ගැටුම් නිරාකරණය සඳහා යොදා ගනු ලබන විශේෂිත හමුදාවකි. වෘත්තීය වශයෙන් ඉහළ නිපුණතා ඇති හමුදා කණ්ඩ හා අත්දැකීම් බහුල හමුදා කණ්ඩ මේ සඳහා තෝරාගනු ලැබේ. ශ්‍රී ලංකාවේ හමුදා සෙබළු හා නිලධාරීහු සැලැකිය යුතු පිරිස, එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවට එක් වී සිටිති. ඔව්හු හයිටිය, මාලි රාජ්‍යය ඇතුළු රටවල් කිහිපයක සේවය කරති. බලවත් රටවල් හා ජගත් සංවිධාන අපේ රණවිරුවන් කෙරෙහි තබා ඇති විශ්වාසය එයින් තහවුරු වෙයි. ආරක්ෂක හමුදාවලට ජාත්‍යන්තරයේ දී ලැබෙන ගෞරවය හා සැලැකිල්ල ඊටත් වඩා ඉහළින් අපේ රට තුළදී ලැබිය යුතු ය.

යුද්ධය අප අනුමත කරන දෙයක් හෝ රටට සුබදායී දෙයක් හෝ නොවේ. එහෙත්, තිස් අවුරුදු යුද්ධය නිසා අප ලැබූ ජයග්‍රහණ ගණනාවක් තිබේ. ඒ අතර ප්‍රධාන වන්නේ, කොටි ත්‍රස්තවාදය අවසන් කිරීම ය. ලෝකයේ දරුණු ම ත්‍රස්ත සංවිධානය ලෙසින් නම් කර තිබූ එල්.ටී.ටී.ඊ. සංවිධානය පරාජය කිරීම සරල කාරණයක් නො වේ. ඉන්දියාව පවා මේ කාරණයේ දී පසුබා සිටියේ ය. කොටි සංවිධානය මුළුමනින්ම පරාජය කිරීම සඳහා අපේ රණවිරුවන් කර ඇති කැපවීම හා ජීවිත පරිත්‍යාගය සුළු පටු නැත. එය හැඳින්විය හැක්කේ, අති විශිෂ්ට සේවාවක් හැටියට ය. මේ විශිෂ්ට සේවාව උදෙසා රටේ මුළුමහත් ජනතාව ණයගැති ය.

මේ ජයග්‍රහණ පසුපස තවත් දුක්බර කතාන්දරයක් තිබේ. එය බොහෝ දෙනකුට අමතක ය. අපේ ආරක්ෂක හමුදාවලට එදා බහුල ලෙසින් එකතු වූයේ, දුප්පත් ම පවුල්වල සාමාජිකයන් බව සිහි තබා ගැනීම වැදගත් ය. සමහර තරුණයෝ රට ගැන බලවත් හැඟීමකින් හමුදාවට බැඳුණාහ. තවත් සමහර තරුණයෝ ජීවත් වීමේ මාර්ගයක් ලෙස හමුදාවට බැඳුණා හ. එහෙත්, දෙපිරිසගේම කාර්යභාරය විශිෂ්ට විය. මියගිය සොල්දාදුවකුගේ මෘත ශරීරය ගෙනගිය ඇතැම් නිවෙසක අවමංගල්‍ය උත්සවයක් පැවැත්වීමට ඉඩක් තිබුණේ නැත. තවත් මියගිය සොල්දාදුවකුට නිවෙසක් තිබුණේ ද නැත. ඇතැම් පවුලක සියලු අපේක්ෂා ගැටගැසී තිබුණේ ‍සෙබළාගේ වැටුප සමඟ ය.

යුද්ධය නිසා පීඩාවට පත් වූයේ යුද්ධය පැවැති ප්‍රදේශවල ජනතාව පමණක් ම නොවේ. රට පුරා ආරක්ෂක අංශවලට සම්බන්ධ පවුල් ද මේ නිසා පීඩාවට පත් වූහ. ගැටුම්වලින් රණවිරුවෝ සමූහයක් ජීවිතක්ෂයට පත් වූහ. තවත් පිරිසක් සදාකාලික ආබාධිත තත්ත්වයට පත් වූහ. මේ අයගෙන් යැපීමට සිටි පිරිස ඊටත් වඩා පීඩාවකට පත් වුහ. යුද්ධය අවසන් වීමෙන් පසු ද යැපෙන්නන්ගේ ගැටලුව බලවත් සේ නැඟී සිටියේ ය. ආබාධිත රණවිරුවන්ගේ සංගමය, රණවිරුවන්ගේ බිරින්දෑවරුන්ගේ සංගමය වැනි සංවිධාන බිහි වන්නේ ඉක්බිතිව ය. මේ සංවිධානවල අරමුණ වන්නේ, ඉහත කී යැපෙන්නන්ට මෙන් ම, ආබාධිත රණවිරුවන්ට ද ගෞරවණීය ලෙස ජිවත් වීම සඳහා පසුබිම සකස් කිරීම ය.

යුද ජයග්‍රහණ ගැන ද, ත්‍රස්තවාදයේ පරාජය ගැන ද උදම් අනන බොහෝ පිරිසක් සිටියෝ ය. දේශපාලකයන් මේ ගැන දැඩි උනන්දුවකින් ක්‍රියා කළ බව ද පෙනෙන්නට තිබේ. එහෙත් ආබාධිත රණවිරුවන් ගැන සේ ම, මියගිය රණවිරුවන්ගේ යැපෙන්නන් ගැන ද ප්‍රමාණවත් සංවාදයක් පවා දක්නට ලැබිණි. ඒ ගැන කතා කළ අය ද ස්වල්ප වූහ. එහෙත් , යුද ජයග්‍රහණයේ මෙන් ම, ත්‍රස්තවාදය පරාජය කිරීමේ ද මුළු මහත් ගෞරවය යා යුත්තේ රණවිරුවන් වෙත ය.

ගැටුමකින් පසු සෙබළා විවේක ගැන්වීම ද, ඔහුට උපරිම පහසුකම් ලබාදීම ද දියුණු රටවල් අනුගමනය කරන ක්‍රමවේදයකි. රජයක් සෙබළ හමුදා වෙනුවෙන් මෙලෙස විය - පැහැදම් කරන්නේ අර්ථයක් ඇතිව ය. ඕනෑම රාජ්‍යයකට ජාතික ආරක්ෂාව යන සාධකය ප්‍රමුඛ වෙයි. එය බරපතළ රාජකාරියකි. එහි නිරතවන්නාට තෘප්තිමත් ජීවිතයක් ගත කිරීමට අවස්ථාව සැලැසීම ද ඒ අනුව රජයක වගකීම වෙයි. ශ්‍රී ලංකාවේ රජය ආරක්ෂක හමුදා වෙනුවෙන් කැපී පෙනෙන කාර්යභාරයක් ඉටු කර තිබේ. එහෙත්, තව දුරටත් ඉටුවිය යුතු දේ ද තිබෙන්නට පුළුවන. ඉහත කී සංගම් දෙක ජනාධිපතිවරයා වෙත යොමු කර ඇති ඉල්ලීම් අටෙන් ද ඒ බව සනාථ වෙයි.

කොයි හැටි වුව ජනාධිපතිවරයා ගෙන ඇති තීරණය ඉතා වැදගත් ය. රණවිරුවන්ගේ යැපෙන්නන් මෙන් ම, ආබාධිත රණවිරුවන් ද මෙයින් තෘප්තිමත් වන අතර, පොදු ජනතාව ද එය පසසනු ඇත.

නව අදහස දක්වන්න