‘සේනා‘ නිසා විනාශ වු බඩ ඉරිගු වගාවට වන්දි | දිනමිණ

‘සේනා‘ නිසා විනාශ වු බඩ ඉරිගු වගාවට වන්දි

(බුද්ධිකා ඉඹුලාන)
 
සේනා දලඹු උවදුර නිසා විනාශ වු බඩ ඉරිගු වගාව සඳහා වන්දි ලබා දීමේ වැඩපිළිවෙළක් සකසන බව කෘෂිකර්ම ඇමැති පී. හැරිසන් මහතා කියයි.
 
මේ සදහා කෘෂී රක්ෂණ වන්දි ක්‍රමය යටතේ පූර්ණ හානි වන්දි ලබා දීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බවද ඇමැතිවරයා පවසයි.
 
මෙම දළඹු විශේෂය නිසා හෙක්ටයාර 50,000ක් බඩ ඉරිඟු වගාවක් විනාශ වී ඇතියි වාර්තා වේ.
 
සේනා දළඹුවා මර්දනය සඳහා කෘමිනාශක 04ක්  කෘෂිකර්ම අමාත්‍යංශය මගින් හඳුන්වා දී ඇති අතර , කෘමිනාශක මිලදී ගැනීම සඳහා 50%ක සහනාධාර ලබා දීමට රුපියල් මිලියන 50 ක මුදල වෙන්කර ඇතැයි  ඇමැති පී.හැරිසන් මහතා කියයි. 
එහෙත් රසායනික ද්‍රව්‍යවලටම යොමු නොවී සේනා මර්දනයට වෙනත් ස්වභාවික මර්දන ක්‍රම සඳහා යොමු වීමට කෘෂිකර්ම අමාත්‍යංශය අවධානය යොමු කර ඇත්තේ ඒ රසායනික දුව්‍ය මිනිසාට අහිතකර වීමේ අවධානමක් ඇති නිසා බවද ඇමැතිවරයා පෙන්වා දෙයි. 
 
සේනා මර්දනයට ස්ථිර වශයෙන්ම පිළියම් යෙදීම ඒ උවදුරින් පීඩා විඳි කිසිඳු රටක් සිදු කර නැතැයිද පෙන්වා දෙන  ඇමැතිවරයා   සේනා දළඹුවන් මර්දනය කිරීම වෙනුවෙන් අද(16) සිට එළඹෙන 31 වනදා දක්වා විශේෂ ක්‍රියාන්විතයක් ආරම්භ කිරීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බවද කියයි.
 
ගොවීන්ගේ ද සහභාගිත්වයෙන් එහිදී විශේෂ උපක්‍රම පිළිබඳව සාමූහිකව කටයුතු කිරීමට අවශ්‍ය උපදෙස් ලබා දීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. 
 
අද(16) කෘෂිකර්ම අමාතයංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇමැතිවරයා මෙම කරුණු අනාවරණය කළේය.
එහිදී ඇමැතිවරයාගෙන් මාධ්‍යවේදීන් විමසා සිටියේ හිටපු ඇමැතිවරයකු වූ මහින්ද යාපා   මහතා පවසා ඇත්තේ රජයේ ඇමැතිවරුන් සේනා දළඹුවා මෙරටට ලෙන්වා විනාශයක් කර ඇති බවට නගන චෝදනා සත්‍යද යන්නයි.එහිදී ඇමැතිවරයා සඳහන් කළේ තමන් මෙම අමාත්‍යංශයට පැමිණ තවම කෙටි කලක් බවත් ,සේනා දළඹුවා මෙරට ආක්‍රමණය කරනේ හිටපු කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතාගේ කාලයේ බවත් ,ඒ නිසා මේපිළිබඳව විමසිය  යුත්තේ අමරවීර මහතාගෙන් බවත්ය.
 
ආනයනික එළදෙනුන් නිසා කිරිගොවියන්ට ඇතිවී තිබෙන  ප්‍රශ්නයට විසඳුම් කවරෙදැයි මෙහිදී මාධ්‍යවේදීන් විමසා සිටි අතර  ඇමැතිවරයා අවධාරණය කලේ බැංකු ණය යටතේ එම කිරිගවයින් මිලදීගෙන ඇති කිරිගොවීන්ට සහන ලබා දීමට එම බැංකු සමග සාකච්ඡා කර ඇති බවයි.
 

නව අදහස දක්වන්න