‘සේනා’ මර්දනය ඉතා වගකීමෙන් සිදු කළ යුතු දෙයක් | දිනමිණ

‘සේනා’ මර්දනය ඉතා වගකීමෙන් සිදු කළ යුතු දෙයක්

බුද්ධිකා ඉඹුලාන

සේනා දළඹුවා මර්දනය සඳහා විෂ සහිත කෘමිනාශක හඳුනාගෙන ඇතත් ඉන් ගොවීන්ට මෙන්ම කෘෂි බෝග පරිභෝජනය කරන ජනතාවගේත් සෞඛ්‍ය තත්ත්වයට තර්ජනයක් විය හැකි බව කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් ඇමැති පී. හැරිසන් මහතා පවසයි. මේ නිසා 'සේනා' මර්දනය ඉතා වගකීමෙන් සිදු කළ යුතු බවද ඇමැතිවරයා පෙන්වා දෙයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා පැවසුවේ සේනා දළඹුවාගෙන් හානි වූ ගොවිබිම් වෙනුවෙන් රක්ෂණ වන්දි ලබාදිය හැකිද යන්න සොයා බැලෙන බවයි.

සේනා දළඹු මර්දනය හා ගොවීන්ට ඒ වෙනුවෙන් වන්දි ලබාදීම පිළිබඳව ගොවිජන රක්ෂණ මණ්ඩලයේ පැවැති සාකච්ඡාවේ දී ඇමැතිවරයා මේ බව පැවසීය.

'දැනට සේනා දළඹුවා අධික ලෙස බඩඉරිඟු පත්‍රවලට හානි කරනවා. දැනට කරල්වලට වෙන හානිය අවම වෙලා තියෙනවා. තවම එහෙම ලොකු හානියක් නෑ. හැබැයි මේ අය අහනවා මේකට භාවිත කරන කෙමිකල් මොනවද කියලා. අපිට පුළුවන් මිල අධික කෙමිකල් එකක් භාවිත කරන්න. බඩඉරිඟු තම්බා ස්වයං රැකියාවෙන් ජීවත් වෙන දස දහසක් මිනිස්සු, පාර දිගට බඩඉරිඟු තම්බලා විකුණන අය ගැනත් හිතන්න ඕනෑ. අපි මේ දෙපැත්තම හිතන්න ඕනෑ. මේ දළඹුවා මර්දනය කරන්නත් ඕනෑ. මිනිස්සුන්ගේ ශරීර සෞඛ්‍යයට හානියක් නොවන්නත් ඕනෑ. මේ ව්‍යාපාරය නැති වුණොත් කී දෙනෙක්ගේ රැකීරක්ෂා අහිමි වෙයිද? මේ ඔක්කොම බලලා කටයුතු කරන්න ඕනෑ.

බොහෝ දෙනෙක් මාධ්‍ය ඉදිරියට ඇවිල්ලා අමාත්‍යංශය වටලනවා, ඇමැතිව සේනා දළඹුවා කන්න ඕනෑ කියලා කියනවා. මේක එහෙම කවුරුත් කරපු කුමන්ත්‍රණයක් නෙමෙයි. සේනා දළඹුවා ඉන්දියාවේ, පාකිස්තානයේ, අමෙරිකාවේ ව්‍යාප්ත වෙච්ච සතෙක්. අපිට සියයට සීයක් මර්දනය කරගන්න බැරි වුණත් අපි උත්සාහ කරනවා කොහොම හරි මේ සතාගෙන් වෙන හානිය අවම කරගන්න.

අපි බලන්න ඕනෑ ඊළඟට බඩඉරිඟු අස්වැන්නේ අඩුවීමක් තියෙනවද, ඒ ගොවීන්ට වෙච්ච හානිය මොකක්ද කියලා. අපි බලනවා පූර්ණ හානියක් වෙලා තියෙනවානම් හදිසි ආපදා තත්ත්වයක් යටතේ වෙනත් බෝගවලට ලබාදෙන රක්ෂණ මුදල මේකටත් ගෙවන්න පුළුවන්ද කියලා. අපි බලන්නේ මේක මර්දනය කර, පාලනය කර ඒ අයට සහනයක් දීලා කෘෂිකර්මාන්තය ඉදිරියට ගෙනයන්න.

ශ්‍රී ලංකාව කෘෂිකාර්මික රටක් හැටියට අපිට සතුටු වෙන්න පුළුවන්ද? අපි එක පක්ෂයකට පාටකට දොස් කියලා හරියන්නේ නෑ. පාලනය කරපු අපි ඔක්කොම මේකට වගකියන්න ඕනෑ. අපේ හරි ක්‍රමවේදයක් නැති නිසා, ප්‍රතිපත්තියක් නැති නිසා අපි අදටත් කෘෂිකර්මාන්තයෙන් ජීවත් වෙන රටක් වුණත් බෝග විශාල ප්‍රමාණයක් ආනයනය කරනවා. අපි ඒ ගැන රටක් විදිහට කනගාටු වෙනවා. කුරක්කන්, බඩඉරිඟු, මුං, කව්පි, උඳු, මිරිස් අපි පිටරටින් ගේනවා. හැමදාම ඉන්දියාවේ ගොවියන් පොහොසත් කරනවා. හැබැයි අපේ සහනාධාර දිහා බැලුවොත් මේ තරම් සහනාධාර ලෝකේ තව රටකින් දෙනවද කියලා ප්‍රශ්නයක් තියෙනවා. පොහොර සහනාධාරය, සමෘද්ධිය ඒ ඔක්කොම දීලත් අපි අසමත් වෙලා තියෙනවා. එහෙනම් අපි ගත්ත තීන්දු තීරණවල වැරැද්දක් ඇති. ජාතික ප්‍රතිපත්තියක් එක්ක අපි ඉදිරියට යා යුතුයි. මේ සඳහා නිසි ක්‍රමවේදයක් ප්‍රතිපත්තියක් සැකසිය යුතු කාලය දැන් එළැඹිලා. ඒ වෙනුවෙන් මම සහ මගේ නිලධාරීන් කැපවෙන්න සූදානම්.

රටේ බහුතරයක් දෙනා සමස්තයක් හැටියට ගත්තොත් 85% ක් පමණ සෘජුව හෝ වක්‍ර කෘෂිකර්මාන්තයට පොඩි හරි දායකත්වයක් දෙනවා. එකෙන් 30% ත් 35% විතර පූර්ණ කාලීනව කෘෂිකර්මාන්තයේ යෙදී ඉන්නවා. සමස්ත රටින් බාගයක් විතර මේ කර්මාන්තයේ යෙදී ඉද්දි අපිට බැරි වෙලා තියෙනවා හරි ක්‍රමවේදයකට යන්න. කෘෂිකර්මාන්තයට සම්බන්ධ ආයතනයක් විදිහට අධ්‍යක්ෂ ජනරාල්වරයාට යෝජනා කරන්නේ ධීවර විශ්‍රාම වැටුප අපි සක්‍රීය කරන්න ඕනෑ. අඩුපාඩු තියෙනවනම් නිවැරදි කරන්න ඕනෑ. ඒ වගේම ගොවි විශ්‍රාම වැටුපත් අඩුපාඩු හදාගෙන ඉදිරියට ගෙනයන්න ඕනෑ. ගොවීන්ට කලට වේලාවට විශ්‍රාම වැටුප් ලබාදෙන්න ඕනෑ. ඒක අපි කාගෙත් වගකීම යැයි ඇමැතිවරයා වැඩිදුරටත් කීය.

ගොවිජන රක්ෂණ මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් පණ්ඩුක වීරසිංහ, ඇමැති උපදේශිකා ශිරානි වීරකෝන් ඇතුළු නිලධාරීහු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.

 

නව අදහස දක්වන්න