සේනා දළඹුවා සබරගමුවත් ආක්‍රමණය කරයි | දිනමිණ

සේනා දළඹුවා සබරගමුවත් ආක්‍රමණය කරයි

ජාතික ආර්ථිකයට දැඩි බලපෑම් කරමින් වගාවන් සාමූහික විනාශයට ලක් කරන සේනා දළඹුවා සබරගමුව පළාත පුරා ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බව හෙළිදරව් වෙයි.

මේ බව හෙළිදරව් වූයේ පෙරේදා (21) රත්නපුර පිහිටි සබරගමුව පළාත් සභා ශ්‍රවනාගාරයේ දී පැවති සේනා දළඹුවන් ව්‍යාප්තිය මැඬලීම පිළිබදව පැවති දැනුවත් කිරීමේ වැඩමුළුවක දීය.

කෘෂිකර්ම අමාත්‍යාංශය සහ සබරගමුව පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය මඟින් මේ දැනුවත් කිරීම සිදුකරනු ලබයි.

එම දැනුවත් කිරීමේ වැඩමුළුව රජය මඟින් පළාත් නමය පුරාම ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇත.

මෙහිදී අදහස් දැක්වූ සබරගමුව පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ කේ.පී.කරවිට මහතා සදහන් කළේ,මේ වන විට සබරගමුව පළාත් වගා බිම්වල හෙක්ටයාර් 30ක පමණ සේනා දළඹුවාගේ ක්‍රියාකාරකම් හේතුවෙන් විනාශ වී ඇති බවය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා පැවසූවේ,මොනරාගල දිස්ත්‍රික්කයේ සිට සබරගමුව පළාතට ප්‍රවාහනය කෙරෙන බඩ ඉරිගු හේතුවෙන් මේ ව්‍යසනය ශීඝ්‍රයෙන් වර්ධනය වියහැකි බවය.

සේනා දළඹුවා මර්දනය කිරීම සඳහා අවශ්‍ය රසායනික ද්‍රව්‍ය ගොවීන් සඳහා නොමිලයේ නිකුත් කිරීමට කටයුතු කර ඇතැයි ද පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂවරයා මෙහිදී පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ පළාත් කෘෂිකර්ම ලේකම් සුනිල් ප්‍රේමචන්ද්‍ර මහතා සඳහන් කළේ,සේනා දළඹුවාගේ ක්‍රියාකාරීත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ජාතික ආර්ථිකය දැඩි කඩා වැටීමේ අවදානමකට පත්ව ඇති බවය.

වැඩිදුරටත් අදහස් දැක්වූ පළාත් කෘෂිකර්ම ලේකම්වරයා පැවසූවේ,විද්‍යාත්මක ක්‍රම මෙන්ම සාම්ප්‍රදායික භාවිතයන් ද යොදා ගනිමින් සේනා දළඹුවා සමූහ මර්දනයට ලක්කිරීම සදහා සබරගමුව පළාත් සභාව පියවර ගෙන ඇති බවය.

මේ වන විට සේනා දළඹුවාගේ බලපෑම් කොළොන්න සහ බලංගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස බල ප්‍රදේශවල ව්‍යාප්ත වෙමින් පවති.

කුඩා ප්‍රමාණයේ වගාවන් ආරක්ෂා කිරීම සඳහා අළු සහ වැලි මිශ්‍රණ භාවිත කිරීම යෝග්‍ය බව මෙහිදී අනාවරණය විය.

ඇඹිලිපිටිය ප්‍රදේශයේ වී,කෙසෙල් ඇතුළු වගාවන් සඳහා සේනා දලඹුවාගේ බලපෑම් පැමිණීමේ අනතුරක් පවතින බව එම ප්‍රාදේශීය ගොවීහූ පවසති.

ප්‍රධාන ලේකම් ඩී.එම්.මාලීනි,නියෝජ්‍ය ප්‍රධාන ලේකම් ප්‍රභාත් උදාකර,පළාත් සමූපකාර කොමසාරිස් බී.එම්.පී.එන්.බෙලිගම්මන,පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ කේ.පී.කරවිට,ප්‍රධාන කෘෂි විද්‍යාඥ ඩබ්.ටී.ගීතා රංජනී,කීට විද්‍යාඥ දමයන්ති ගලහීන​ සහ සහකාර අධ්‍යක්ෂ මහේන්ද්‍ර කරුණාරත්න යන මහත්ම මහත්මීහු මේ අවස්ථාවට එක්ව සිටියහ.

නව අදහස දක්වන්න