‘සේනා’ මර්දනයට වැඩපිළිවෙළක් | දිනමිණ

‘සේනා’ මර්දනයට වැඩපිළිවෙළක්

සේනා දළඹු උවදුර මර්දනය කිරීමට දිවයින පුරා විධිමත් වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අවශ්‍ය අංශ වෙත උපදෙස් ලබාදී තිබේ. මේ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබා දෙන ලෙසද අගමැතිවරයා මුදල් ඇමතිවරයාට උ‍පදෙස් ලබා දී තිබේ.

මෙම උපදෙස් ලබා දී ඇත්තේ පෙරේදා (21) අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී රැස්වූ පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදීය. ඒ අනුව සේනා දළඹු උවදුර ජාතික ව්‍යසනයක් ලෙස සලකා කටයුතු කිරීමට එක්සත් ජාතික පක්‍ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම තීරණය කැර තිබේ. සේනා දළඹු උවදුර මෙතරම් උඩුදුවා ගියේ ඉකුත් ඔක්තෝම්බරයේ සිදු වූ හදිසි බලපෙරළිය නිසා බවටද එක්සත් ජාතික පක්‍ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමේදී අදහස් පළව ඇත.

උවදුර හදුනාගත් මුල් අවස්ථාවේදී ඒ පිළිබද සුදුසු පියවර ගැනීමට ආණ්ඩුවක් රටේ නොපැවති බව එහිදී ප්‍රකාශ වී තිබේ.

සේනා දළඹු උවදුර මර්දනය කිරීම සඳහා යුද හමුදාවේ සහය ලබා ගැනීම පිළිබඳව රජයේ අවධානය යොමු වී ඇති බවද ‍බුද්ධශාසන හා වයඹ සංවර්ධන අැමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා මාහතා පවසා ඇත.

සේනා දළඹුවාගෙන් මුලින්ම හානියට ලක්වූයේ බඩ ඉරිගු වගාවයි. බඩ ඉරිගු හෙක්ටයාර 40,000 ක් පමණ හානියට ලක් වූ බව ඇස්තමේන්තු කැර තිබේ. මේ නිසා වාර්ෂික අස්වැන්නෙන් සියයට 20 ක් පමණ අහිමි වනු ඇති බවට වැඩිදුරටත් ඇස්තමේන්තු කර ඇත.


නව අදහස දක්වන්න