සේනා දළඹු අස්වනු හානි ගණනය නාච්චදූවෙන් ඇරැඹේ | දිනමිණ

සේනා දළඹු අස්වනු හානි ගණනය නාච්චදූවෙන් ඇරැඹේ

බුද්ධිකා ඉඹුලාන

සේනා දළඹු උවදුර හේතුවෙන් සිදු වූ අස්වනු හානි ගණනය කිරීම ඊයේ (24) අනුරාධපුර නාච්චාදුව ප්‍රදේශයෙන් ආරම්භ කෙරිණි. ග්‍රාම නිලධාරි වසම් මට්ටමින් මේ වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන අතර අදාළ ග්‍රාම නිලධාරි වසම්වල ඇති පලිබෝධ පාලන කමිටු මේ වැඩපිළිවෙළ සඳහා මූලිකත්වය ලබාදෙයි.

ඒ ඒ ග්‍රාමයන්හි, ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ කෘෂිකර්ම පර්යේෂණ සහකාර නිලධාරින්,සමෘද්ධි සංවර්ධන නිලධාරින් ,ස්වේච්ඡා සංවිධාන නිලධාරින් ,ගොවි සංවිධාන නිලධාරින්ද මේ කමිටුවට ඇතුළත් වන අතර මේ කමිටුව මගින් අස්වනු නෙළන ප්‍රදේශවල සහ වගා ප්‍රදේශවල වගා හානි ප්‍රතිශතය නියම කරන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ,සේනා දළඹු මර්දන ඒකකයේ ප්‍රධානී අනුර විජේතුංග මහතා 'දිනමිණ' ට කීය.

බඩ ඉරිඟු අස්වනු නෙළන ප්‍රදේශවල අස්වනු සාම්පල් පරීක්ෂා කර අස්වනු අඩුවීමේ ප්‍රවණතාව ගණනය කර මේ වගා හානි තක්සේරු කෙරෙන බවද විජේතුංග මහතා කීය.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ පමණක් හෙක්ටයාර 22,000ක් පමණ බඩඉරිඟු වගා කර තිබෙන බවත්, මේ වගා බ්ම්වලට සේනා ආක්‍රමණය කර තිබෙන බවත් පැවසූ විජේතුංග මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් සේනා දළඹු උවදුර මර්දනය සඳහා අනුගමනය කරන ලෙස ලබා දුන් උපදෙස් නිසි ලෙස පිළිපැදි ගොවීන්ගේ බඩ ඉරිඟු අස්වැන්න ඉතා හොඳ තත්ත්වයක තිබූ බවයි.

මේ වන විට සේනා දළඹු මර්දනය සඳහා කෘෂිකර්ම අමාත්‍යංශය පියවර රැසක් ගෙන ඇති බවත් ,වගා හානි සඳහා වන්දි ලබාදීමට මුල්‍ය ප්‍රතිපාදන වෙන් කර ඇති බවත් පැවසූ විජේතුංග මහතා පෙන්වා දුන්නේ ඊළඟට වඩාත්ම අවධානය යොමු කළ යුත්තේ මේ දළඹුවා වෙනත් භෝග සඳහා පැතිරීම වළක්වා ගැනීම පිළිබඳව බවයි.


නව අදහස දක්වන්න