‘සේනාට’ එරෙහිව හමුදාව සීරුවෙන්! | දිනමිණ

‘සේනාට’ එරෙහිව හමුදාව සීරුවෙන්!

සේනා දළඹු මර්දනය සඳහා ආරක්ෂක හමුදා යොදා ගන්නැ’යි ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇත. දළඹු වසංගතය මර්දනය කිරීම සඳහා ජනාධිපති කාර්ය සාධක බළකායක් ද පිහිටුවා තිබේ. මේ කටයුතු දෙක ම ඉතා වැදගත් ය. හමුදාවක් සටන් කරන්නේ ඉලක්කයක් හා ඊට අදාළ කාල පරාසයක් සටහන් කරමින් ය. සේනා දළඹු මර්දනයට ඉලක්ක හා කාල පරාස නොවූ බව කිව හැකි ය. එවැන්නක් තිබුණේ නම්; මේ වන විටත් සේනා දළඹු වසංගතය අවසන් වී තිබිය යුතු ය. හමුදාව මේ සඳහා යොදා ගැනීමේ තවත් වාසියක් තිබේ. එම වාසිය ඇත්තේ කාර්යක්ෂමතාව තුළ ය. හමුදාවට රැයක් -දවාලක් කියා වෙනසක් නැත. ඔව්හු ඉලක්කය කරා වේගයෙන් ඇදී යති.

සේනා දළමු වසංගතය ආරම්භ වී මාස කිහිපයක් ගෙවී ඇත. බඩ ඉරිඟු වගාවෙන් ආරම්භ වූ වසංගතය කොමඩු වගාවට ද, කොමඩු වගාවෙන් එළවළු වගාවටද ව්‍යාප්ත වී තිබේ. නුවරඑළිය හා යාපනය යන දිස්ත්‍රික්ක දෙක මේ වසංගතයෙන් බේරී සිටි බවට ප්‍රවෘත්ති පළවී තිබුණ ද මේ වන විට එම ප්‍රදේශ තුළද සේනා දළඹුවා ඇති බවට තොරතුරු හෙළිදරව් වී තිබේ. ඇතැම් ප්‍රදේශවල වී වගාව තුළද සේනා දළඹුවන් ඇති බවට ආරංචි පැතිර යයි. එය ඉතා භයානකය. රටේ ප්‍රධාන ආහාර භෝගය වන වී වගාවට සේනා දළඹුවාගේ ආක්‍රමණය කඩා වැදුණහොත් ජනතාව බත් කා හමාරය.

මේ අර්බුදය විග්‍රහ කරගෙන යන විට පෙනීයන්නේ මෙය කෘමි වසංගතයක් බව ය. ලෝකය පුරා කෘමි වර්ග මිලියන ගණනක් ජීවත් වෙති. ලෝකයේ අවසානය හෙවත් කල්ප විනාශය දක්වා යහතින් සිටින සත්වයා ලෙසද කෘමියා හැඳින්වේ. එහෙත් කෘමියා හැමවිටම මිනිසාට හිතකර නැත. අපගේ අත්දැකීම් ගතහොත් වරක් වැලිගම ප්‍රදේශයේ ගම්මානයක් කෘමීන්ගේ ආක්‍රමණයට ලක්විය. එදා පුවත්පත් වාර්තාවල සඳහන් වූයේ අදාළ ගම්මානයේ කෘමි බෝම්බ ඇති බවය. තව වරක් උක් වගාවේ සුදු පත්‍ර ‍රෝගයක් පැතිර ගියේ ය. ඊට හේතුව කෘමියෙකි. තවත් වරක් කරවිල කුලයේ භෝග විනාශ කරන කෘමියෙක් ව්‍යාප්ත විය. මේ හැරෙන්නට එක්තරා කාලයක දී තිත් පළඟැටියෝ ද වගාවට හානි කළහ. මේ සියල්ල මර්දනය කිරීමට අපි සමත් වී ඇත්තෙමු.

සිංහරාජ අඩවිය ආසන්නයෙහි ඇති කිතුල්ගහනයටද අලුත් රෝගයක් බෝ වී ඇත. එය හඳුන්වන්නේ කිතුල් පත්‍ර දුඹුරුපැහැ ගැන්වීම ලෙස ය. කිතුල් අතු අප්‍රාණිකව දුඹුරු පැහැ ගැන්වී කඩා වැටෙන අතර පැණි අස්වැන්න ශීඝ්‍රයෙන් පහළ යන්නට පටන්ගෙන තිබේ. මේ රෝගය ගැන පරීක්ෂණ කරන කෙනකු නැත. ඊට සොයාගත් පළිබෝධ නාශකයක් ද නැත. සිංහරාජය කේන්ද්‍රකොටගත් ගම්මාන රැසක ජනතාවගේ ජිවනෝපාය වී ඇත්තේ කිතුල්හකුරු නිෂ්පාදනය යි. අද එය අර්බුදයට ලක්වී ඇත. සේනා දළඹුවාගේ ආක්‍රමණය තරමට මේ රෝගය ව්‍යාප්ත වෙමින් පවතී. ඊට ද විසැඳුමක් අවශ්‍ය බව අපි මේ තීරුව තුළ සටහන් කර තබමු.

කෘමි රෝග, වගාවට කඩා වැදුණේ අද ඊයේ නො වේ. වගාවට මිනිසා යොමු වූ කාලයේ සිට ම කෘමි ආක්‍රමණ ද පැවැතිණි. අතීත මිනිසා එයට විසැඳුම් සපයා ගත්තේ පරිසරයේ සාධක උපයෝගී කරගනිමින් ය. කෘමියාගේ පැවැත්ම හා වර්ධනය පාලනය කරන ස්වාභාවික උපාය මාර්ග තිබේ. කුරුල්ලා එක උපාය මාර්ගයකි. දැන් අපේ වගාබිම්වලට කුරුල්ලන් එනවා අඩු ය. හේතුව ඒවායේ බහුල ලෙසින් ඇත්තේ වස - විෂ වීම ය. කුරුල්ලන්ට එය දැනෙයි. මෙහි යටි අර්ථය වන්නේ ස්වාභාවික හා සාම්ප්‍රදායික වගා ක්‍රම වෙත නැවත අප යා යුතු බව ය. එහෙත් එය කළහැකි ද යනු ගැටලුවකි. වැඩිවන ජනගහනයට අනුව විශාල අස්වැන්නක් අපේක්ෂා කරනු ලැබේ. එහෙත් භූමි ප්‍රමාණය විශාල වන්නේ නැත. මේවා විමර්ශනයට ලක්විය යුතු කරුණු ලෙස සැලැකිය හැකි ය.

සේනා දළඹුවා මර්දනය කිරීම සඳහා අළු ඉසීමේ ප්‍රතිකාරය කළ යුතු යැයි පරිසරවේදීහු කිහිප දෙනෙක් පෙන්වා දෙති. එහෙත් ඒ කෙරෙහි අවධානය යොමු වී නැත. කෘෂිකර්ම නිලධාරීන් හා පර්යේෂකයන් එබඳු සාම්ප්‍රදායික ක්‍රමවේද ප්‍රතික්ෂේප කරන තැනක සිටින බව පෙනෙයි. ගොවියන්ගේ තත්ත්වය ද ඊට වෙනස් නැත. මීට සති දෙකකට පමණ පෙර අළු ප්‍රතිකාරය ගැන නොමිලේ සම්මන්ත්‍රණයක් පැවැත්වීමට කටයුතු යොදා තිබුණද එකම ගොවියකු හෝ ඊට සහභාගී වී නැත. එය කනගාටුවට කාරණයකි. සියල්ල රජයෙන් ඉටුකර දෙන තෙක් ගොවීන් බලා සිටින බවක් දකින්නට පුළුවන. මෙය හොඳ තත්ත්වයක් නොවේ. ගොවියාගේ සක්‍රීය මැදිහත්වීමකින් තොරව සේනා දළඹු ආක්‍රමණයට විසැඳුමක් සොයා ගැනීම අසීරුය.

ආරක්ෂක හමුදාවල මැදිහත් වීම වැදගත් වන්නේ මෙබඳු පසුබිමක් තුළ ය. අප මුලින් සඳහන් කළ පරිදි ආරක්ෂක හමුදාවලට දවාලක් - රැයක් නැත. අව්ව - වැස්ස නැත. ශීතල - රස්නය නැත. ඔව්හු ඉලක්කයක් කරා වේගයෙන් හඹා යති. ගොවියන් සේනා දළඹු මර්දනයට අවශ්‍ය පළිබෝධ නිසි වේලාවට නිසි ප්‍රමිතියෙන් පාවිච්චි නොකරන බවට තොරතුරු වාර්තා වී ඇත. දළඹුවා සිටිය දීම අස්වැන්න කපා අලෙවි කිරීමට සමහර ගොවියෝ උත්සුක වෙති. මේ ගැන ද පරීක්ෂණ කළ යුතුය. වසංගතය පැතිර යෑමට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ ද රෝග කාරක අස්වැන්න විවිධ ප්‍රදේශවලට ප්‍රවාහනය කිරීම ය. එමගින් දිවයින පුරා වසංගතය පැතිර ගොස් තිබේ. හමුදාව මැදිහත් වන්නේ නම්; මේ සියල්ලට සාධනීය පිළිතුරක් ලබා ගත හැකි ය.

ලෝකයේ ඕනෑම රටක ආරක්ෂක හමුදාව තම මාතෘභූමියේ අර්බුද විසැඳීම සඳහා ඉදිරිපත් වෙති. ස්වාභාවික ව්‍යසන, වසංගත රෝග, මිනිස් කණ්ඩායම් අතර ගැටුම් ආදී ලෙසින් ඇතිවන ඕනෑම අර්බුදයක දී හමුදාව ඉදිරිපත් වී ඒවා නිරාකරණය කරති. ඒ පමණක් නොව; ආහාර අර්බුද පවතින අවස්ථාවලදී පවා හමුදාව ඒවා විසැඳීමට ඉදිරිපත් වී ඇත. උතුරේ ගංවතුර, මධ්‍යම කඳුකර ප්‍රදේශවල නාය යෑම්. රටේ විවිධ ප්‍රදේශවල ගිනි ගැනීම්. වනාන්තරවල ලැව් ගිනි ආදී ආපදා අවස්ථාවලදී හමුදාව මැදිහත් වී ඒවා නිරාකරණයට පත් කළ ආකාරය රටේ = ජනතාවට අමතක නැත. සේනා දළඹු මර්දනයට ආරක්ෂක හමුදාව මැදිහත් කරගැනීම අප දකින්නේ බුද්ධිමත් තීරණයක් ලෙසයි. ඒ ගැන ජනාධිපතිවරයාට ජාතියේ කෘතඥතාව හිමි විය යුතු ය.

ඕනෑම අර්බුදයක් විසැඳීමට ඉලක්ක, සැලැසුම්, උපායමාර්ග හා කාර්යක්ෂම මැදිහත්වීමක් ද තිබිය යුතුය. ඒවා හොඳින් ම ඇති ආයතනය හමුදාව යැයි කියන්නට පුළුවන.

 


නව අදහස දක්වන්න