සේනා කළ හදියක්... | දිනමිණ

සේනා කළ හදියක්...

පාර දෙපස බඩඉරිඟු අලෙවිය තාවකාලිකව නවතී

හලාවත-කොළඹ ප්‍රධාන මාර්ගයේ මහවැව ප්‍රදේශයේ මාර්ගය දෙපස තාවකාලිකව පවත්වාගෙන යන කුඩා පරිමාණ ව්‍යාපාරික ස්ථානවල බඩඉරිඟු අලෙවි කිරීම තාවකාලිකව නතර කිරීමට පුත්තලම නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ ඩබ්ලිව්. එම්. එස්. වන්නිනායක මහතා පියවර ගෙන තිබේ. පුත්තලම නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලයේ නිලධාරීන් හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් එම ප්‍රදේශයේ වෙළඳසල් පරීක්ෂාවට ලක් කිරීමෙන් අනතුරුව බඩ ඉරිඟු කරල් තුළ ‘සේනා‘ නම් වූ ආක්‍රමණශීලී දළඹු විශේෂය බහුලව වශයෙන් සිටීම හේතුවෙන් මෙම පිය පියවර ගෙන තිබේ. ආහාරයට ගැනීම සඳහා සූදානම් කර ඇති බඩ ඉරිඟු කරල් වල සහ ගබඩා කර තිබූ බඩ ඉරිඟු කරල්වල මේ දළඹුවා බහුල වශයෙන් හමුවී තිබේ.

එම වෙළඳසල්වල තැම්බීම සඳහා සූදානම් කර තිබූ සියලුම බඩ ඉරිඟු පුළුස්සා විනාශ කිරීම්ට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු නිලධාරීන් එම අවස්ථාවේ පියවර ගෙන ඇත. ආහාරය සඳහා සූදානම් කරන බඩඉරිගු කරල්වල ආවරණ පුළුස්සා විනාශ කිරීම සිදුකළ යුතු බවට හා එසේ සිදු නොකළහොත් ප්‍රදේශයේ වී සහ වෙනත් වගාවන් අතර ද සේනා දළඹු විශේෂය පැතිර යා හැකි බව මීට පෙර කීප අවස්ථාවකදී ම එම නිලධාරීන් විසින් ව්‍යාපාරිකයන් දැනුවත් කළ බව සඳහන් කරයි. එහෙත් ඒ සම්බන්ධව ඔවුන් කිසිදු අවධානයක් යොමු නොකර ඇති බව නිලධාරීහූ සඳහන් කරති. සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂිකා බී. වී. ටී. ශ්‍යාමලී මහත්මිය ඇතුළු නිල්ධාරීහූ රැසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

මිහිර විජේසේකර මාරවිල සමූහ

නව අදහස දක්වන්න