සේනා දළඹු වසංගතය ජාතික උවදුරක් වෙලා | දිනමිණ

සේනා දළඹු වසංගතය ජාතික උවදුරක් වෙලා

සේනා දළඹු වසංගතය වැළැක්වීම පිළිබඳ පෙරේදා (21) බත්තරමුල්ල ,සුහුරුපායේ පිහිටි ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැති විශේෂ මාධ්‍ය හමුවේ දී ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබල ගැන්වීම් පිළිබඳ ඇමැති දයා ගමගේ මහතා මාධ්‍යවේදීන් අමතා අදහස් දැක්වූ අවස්ථාව. අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය හීන්කෙන්ද සහ අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම් තිලක් කුමාර රත්නායක මහත්වරු ද මෙහි සිටිති. ඡායාරූප - රුවන් ද සිල්වා

සේනා දළඹු වසංගතය මේ වන විට ජාතික ව්‍යසනයක් බවට පත්ව ඇති බව ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබල ගැන්වීම් පිළිබඳ ඇමැති දයා ගමගේ මහතා පැවසීය.

මේ ව්‍යසනය වැළැක්වීම සඳහා කඩිනම් පියවර ගත යුතු බවත් ඉතා සශ්‍රීක ලෙස වගා කර ඇති මොහොතක මේ උවදුරට මෙරට වගාවන් ලක්වීම අභ්‍යගයක් බවත් මේ ව්‍යසනය තවදුරටත් පැතිරයාම වැළැක්වීම සඳහා කැබිනට් අනුමැතියකින් අදාළ ගොවීන්ට වන්දි මුදලක් ලබා දී මෙය සහමුලින්ම විනාශ කළ යුතු බවත් අමාත්‍යවරයා කීය.

සේනා දළඹු වසංගතය වැළැක්වීම පිළිබඳ පෙරේදා (21) බත්තරමුල්ල ,සුහුරුපායේ පිහිටි ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැති විශේෂ මාධ්‍ය හමුවේ දී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

පසුගිය දින 52 තුළ රට අකර්මණ්‍ය වූ මෙහොතේ සේනා දළඹුවා ශීඝ්‍රයෙන් පැතිර ගියා. කිසිම නිලධාරියකු ඒ පිළිබඳව සොයා බැලුවේ නැහැ. ඔවුන් සිහින මවමින් සිටියේ දැන් මොන ආණ්ඩුවක් එයිද අපේ තනතුරු වෙනස් වෙයිද සිතමින්. කෘෂි විද්‍යාඥයන්,කෘෂි නිලධාරීන්, රජයේ සියලු නිලධාරීන්, විශ්ව විද්‍යාල ආචාර්යවරුන්, කෘෂිකර්ම විෂය හදාරන විශ්වවිද්‍යාල සිසුන් ,පාසල් සිසුන් මේ ජාතික ව්‍යසනයට තුරන් කිරීමට දායක විය යුතු බවත් දයා ගමගේ ඇමැතිවරයා කීය.

සේනා දළඹුවන් පළවා හැරීමට සෙවණගල ,මහගම සමාධිපුර පදිංචි ඩී.එල්.ජී.ශ්‍රියානි මහත්මිය දේශීය පැළෑටි යොදා ගැනීමෙන් ඖෂධයක් සොයා ගෙන තිබේ.

‍අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය හීන්කෙන්ද මහතා ද මෙහිදී අදහස් දැක්වීය.

මානෙල් පුෂ්ප කුමාරි සහ අරුණ ඩයස්

නව අදහස දක්වන්න