සේනා දළඹුවා පාලනයට විද්‍යාත්මක සහාය ලබා දෙනවා | දිනමිණ

සේනා දළඹුවා පාලනයට විද්‍යාත්මක සහාය ලබා දෙනවා

චන්දිමා කරුණාරත්න

සේනා දළඹු උවදුර පාලනය කිරීම සඳහා විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය යටතේ ඇති ආයතන මඟින් ලබා දිය හැකි විද්‍යාත්මක සහය ලබා දීමට කටයුතු කරන බවත් ඒ සඳහා අවශ්‍ය පරීක්ෂණ සිදු කරන බවත් විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ ඇමැති සුජීව සේනසිංහ මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ සෙත්සිරිපාය විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යංශයේ දී ඊයේ (23) පැවැති මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වෙමිනි.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

අප අමාත්‍යාංශය යටතේ පවතින ITI ආයතනය, නැනෝ තාක්ෂණ ( ස්ලින්ටෙක් ) ආයතනය හා ආතර් සී ක්ලාක් ආයතනය වැනි ආයතනවල විද්‍යාත්මක තාක්ෂණය භාවිත කරමින් සේනා දළඹු උවදුර මැඩ පවත්වන්නට අවශ්‍ය සහය ලබා දීමට කටයුතු කරමින් යනවා.

ඒ අනුව ස්ලින්ටෙක් ආයතනය මඟින් මේ සඳහා දියර ඉසින යන්ත්‍ර, ප්‍රදේශ ආවරණය කිරීම, ඩ්‍රෝන් තාක්ෂණය වැනි භාවිත කළ හැකි ක්‍රමශිල්පයන් පිළිබඳ අවධානය යොමු වී තිබෙනවා. ආතර් සී ක්ලාක් ආයතනය හරහා චන්ද්‍රිකා තාක්ෂණය මඟින් දළඹුවා පැතිරී සිටින ප්‍රදේශ හඳුනා ගැනීම, මොවුන් ව්‍යාප්ත වන ආකාරය අවබෝධ කර ගැනීම වැනි ක්‍රියාවලි සඳහාත් ITI ආයතනය මඟින් මීට සමාන වූ දළඹූ විශේෂයක් පිළිබඳ අවුරුදු එකහාමාරක් පමණ පරීක්ෂණ කර තිබෙනවා. ඇමරිකාවේ මෙම දළඹුවා විනාශ කිරීම සඳහා දියර බෙහෙත් සොයා ගෙන තිබෙනවා. ඒ නිසා එවැනි රටවල ද සහය ඇතිවන දැනුම යොදවා පුළුවන් තරම් ඉක්මනට මෙම උවදුර පාලනය කිරීමට කටයුතු සැලසුම් කර තිබෙනවා.

විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යංශයට කුඩා මුදල් ප්‍රමාණයක් වෙන් කෙරුන ද ඉතා විශාල වැඩ කොටසක් සිදු කරනවා. ඉදිරියේ දී ශිල්ප සේනා වැඩසටහන ක්‍රියාත්මක කිරීමටත්, පේටන්ට් අයිතිය සහිත නව නිෂ්පාදන අප අමාත්‍යාංශය සතු ආයතන සතුව පවතිනවා. ඒවාගේම මේ සඳහා පිටරට සිටින විද්වතුන්ගේ සහයත්, පෞද්ගලික අංශවල සහයත් ලබා ගන්නට කටයුතු කරනවා.

ඡායාරූප - සමන් ශ්‍රී වෙදගේ

නව අදහස දක්වන්න