සේනා ව්‍යසනයෙන් ගොවියා රැක ගන්න කඩිනමින් වැඩපිළිවෙළකට යායුතුයි | දිනමිණ

සේනා ව්‍යසනයෙන් ගොවියා රැක ගන්න කඩිනමින් වැඩපිළිවෙළකට යායුතුයි

අනුර ප්‍රේමලාල්

දළඹු සේනා ව්‍යසනය දිනෙන් දින ජාතික විපතක් බවට පත්වෙමින් තිබෙන අතර කෘෂිකාර්මික රටක් ලෙස මේ පිළිබඳ විද්වත් සාකච්ඡාවක් ආරම්භ කරමින් කඩිනමින් අසරණ වී සිටින ගොවියා රැක ගන්න ඉතා කඩිනමින් වැඩපිළිවෙළක් සකස් කළ යුතු අතර ඊට අවශ්‍ය සහයෝගය දෙන්න සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව සඳහන් කළේ පෙරේදා (23) බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමිනි. එහිදි වැඩිදුරටත් කතා කළ මන්ත්‍රීවරයා මෙසේද කීය.අම්පාර දිස්ත්‍රික්කයේ කල්මුණේට මුලික රෝහල් හයක් තියෙනවා. මොනරාගලට තියෙන්නේ තුනයි. පහුගිය දවසක සෞඛ්‍ය ඇමැතිතුමා ගිලන් රථ බෙදාහැරීමක් කළා. එයින් ගිලන් රථ දෙකක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාගේ කොට්ඨාසය වු අම්පාරේ නින්දවූර් රෝහලට දුන්නා. දිස්ත්‍රික් රෝහල හා මූලික රෝහල කියලා එකම රෝහල වර්ගීකරණ දෙකක් යටතේ සඳහන් කරලා තමයි මේ ගිලන් රථ දෙක අරන් තියෙන්නේ. මීට පෙර ඕස්ටේ‍්‍රලියෙන් බෙන්ස් ගිලන් රථයක් මේ රෝහලට දීලා තියෙනවා. නමුත් අම්පාරේ තොට්ටම, අඹගහවෙල රෝහල් සහ ඈත එපිට පිටිසර රෝහල්වල ගිලන් රථ නැහැ. නැඟෙනහිර පළාතේ මඩකලපුව, කල්මුණේ, අම්පාර මහ රෝහල්වලට එම්. ආර්. අයි. ස්කෑන් යන්ත්‍රයක් නැහැ. 2014 ස්කෑන් යන්ත්‍රයක් තිබුණා. දැන් නුවරට ගේන්න ඕනෑ. නුවරට ඇවිත් මාස දෙකක් විතර ඉන්න ඕනෑ ස්කෑන් එක කරගන්න. අපේ මිනිස්සු හුන්නස්ගිරි කන්දේ, මුතියංගණයේ දී, බිබිලේ දී මැරෙනවා. එහෙම වෙන්නේ ස්කැනර් යන්ත්‍රයක් නැති නිසා.

සේනා දළඹුවා හොයා ගත්තේ අම්පාරේ මගේ කොට්ඨාසය වන දමන කොට්ඨාසයෙන්. එක දිගට කන්න තුනක් නියඟයෙන් විනාශ වුණු මිනිස්සු තමන්ගේ කණකර උගස් තියලා මෙවර කන්නය වගා කළා. දැන් සේනා ඇවිත් වගාව විනාශ කළා. මේ පාර වැස්ස ලැබුණට සේනා දළඹුවා ඇවිත් වගාව විනාශ කරලා. මේ මිනිස්සු ජීවත් වෙන්නේ කොහොමද? දුර්භික්ෂයක් ඇති වෙනවා. අපේ ආණ්ඩුව කාලයේ මේ ගොවීන් ගෙවල් දොරවල් හදාගෙන ට‍්‍රැක්ටරයක් ගත්තා. බයිසිකලයක් ගත්තා. දියුණු වුණා. පොළොන්නරුවේ, අම්පාරේ, මොණරාගල ජාතියේ බඩගින්න නිවපු ගොවියා අද බඩගින්නේ. ඊයේත් පාර්ලිමේන්තුවේ දී කිව්වා එක්කෙනෙකුට රුපියල් 40000ක් දෙනවා කියලා. මේ තරම් ප්‍රශ්න මැද්දේ ආණ්ඩුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියන වචන ගොඩක් දෙනවා. මේ රටේ සංස්කෘතියේ ගොවිතැන විනාශ වුණාම රටම බඩගින්නේ. ඒ මිනිස්සුන්ගේ ඡන්දයෙන් පාර්ලිමේන්තු ආපු ගොවියෙක් විදියට මං ඒ මිනිස්සුන්ගේ දුක ස්පර්ශ කරනවා. ඒ දුක් අදෝනාව මේ ආණ්ඩුවට ඇහෙන්නේ නැහැ . අසරණ මිනිස්සු වෙනුවෙන් හඩක් නැහැ. මම ඔට්ටු තියනවා ඔය කියන 40000 නම් ගොවියාට දෙන්නේ නැහැ. ගොවි ජනතාවයි අපියි රවට්ටන එකයි පාර්ලිමේන්තුවේ කෙරෙන්නේ.

2005 ලංකාවේ බඩඉරිගු නිෂ්පාදනය වාර්ෂිකව මෙටි‍්‍රක් ටොන් 34000යි. මහින්ද රාජපක්ෂ මහත්තයා යනකොට වාර්ෂිකව මෙටි‍්‍රක් ටොන් 264000යි. රටේ බීජ නිෂ්පාදනය කළා. බටහිර වාණිජ නිෂ්පාදනයක් කළා. පොහොර, නියඟය ආණ්ඩුවේ අනුග්‍රහය පිළිබඳ ප්‍රශ්න නිසා ජනතාව වගාවෙන් ඉවත් වුණා. වගාවෙන් 30%ක් සත්තුන්ගෙන් හානි වෙනවා. මගේ ඉඩමේ මෑ කරලක් තියාගන්න බැහැ. මොනරු ඇවිත් කනවා. රටක් ගොඩ නඟන්නේ කොහොමද? මොන තාක්ෂණික විප්ලවයක් තිබුණත් අපේ මිනිස්සු ජීවත් වෙන්නේ කෘෂිකර්මය හරහා. දෙහි වගාව තිබුණා කියලා දෙහි කෑල්ලක් රට යවනවාද? නැඟෙනහිර ගව සම්පතක් හිටියට කිරිපිටි කම්හලක් හැදුවද? පහුගිය කාලයේ ආර්ථිකයේ තියෙන්නේ පහළට ඒමක්.

දයා ගමගේ මහත්තයා එක්ක පෞද්ගලික ප්‍රශ්නයක් නැහැ. අයවැය ලේඛනයෙන් මහඔය ආර්ථික කළාපයක් හදනවා කියලා බුලත් විට කඩයක්වත් දැම්මේ නැහැ.

හිටපු පළාත් සභා මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා-

13 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 154 ඊ අනුව මේ වනවිට පළාත් සභා හයක කාලය අවසන්. ආණ්ඩුකාරවරු, ලේකම්වරු ඇතුළු නිලධාරීන් තමයි පළාත් සභාවල වැඩ කරන්නේ. පළාත් සභාවේ මුල්‍ය පාලනය වියයුත්තේ 1947 අංක 2 දරන පනතට යටත්වයි. කවදාහරි දවසක ආණ්ඩුකාරවරුන්ටත් ප්‍රධාන ලේකම්වරුන්ටත් එෆ්. සී. අයි. ඩි යන්න වෙනවා. ඒක වළක්වන්න බැහැ. පළාත් සභාවේ මුදල් පළාත් සභා අරමුදලට බැර වෙන්න ඕනෑ. මේ මුදල් වියදම් කරන්න පළාත් මහ ඇමැතිවරයා යටතේ අධිකාරී බලපතක් නිකුත් කළ යුතුයි. මහ ඇමැතිවරයාට මේ අධිකාරි බලපත්‍රය නිකුත් කළ හැක්කේ විසර්ජන පනත් කෙටුම්පත අනුවයි.පළාත් සභාවේ අනුමැතිය නොමැතිව පොදු කාරණා සඳහා පළාත් සභාවේ මුදල් වියදම් කිරීම නීතියට පටහැනියි. ව්‍යවස්ථානුකූල නොවන විදියට නීති විරෝධිව කෙරෙන මේ පළාත් සභා පරිපාලනයට කවදා හරි කාට හරි වගකියන්න සිද්ධ වෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලන ලේකම්, හිටපු පළාත් සභා මන්ත්‍රී රේණුක පෙරේරා මහතා-

රට දැවැන්ත අර්බුදයකට මුහුණ දී ඇති අවස්ථාවක මාධ්‍යවේදීන් රටේ ජනතාව නිවැරදි දිසාවට ගෙනියන්න කැපවෙමින් සිටීම අපි අගය කරනවා. පහුගිය වකවානුවල සිද්ධවුණු හැමදේකදීම, රටේ ජනතාවට මොකක් හෝ බොරුවක් කියලා මඟ හරින්න ආණ්ඩුව සූක්ෂමව කටයුතු කළා. ජනතාවගේ මුලික ප්‍රශ්න ගැන කිසිම කතාවක් නැහැ. හාල් කිලෝව රුපියල් 100ට ඉහළ ගිහින්. එළවළු මිල වැඩිවෙලා. කිරිපිටි රුපියල් 170කින් වැඩි කරන්න ඉල්ලීම් කරනවා. වරායට ගෙනාපු කිරිපිටි ටික රේගුවෙන් නිදහස් කර ගන්නේ නැහැ. මේ නිසා කොයි මොහොතක හෝ කිරිපිටි හිඟයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. රජයට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් කිරිපිටි රුපියල් 170කින් වැඩි කරන්න සිද්ධ වෙනවා. නැත්නම් රජය බද් ධ ඉවත් කරලා කිරිපිටි මිල වැඩිවීම පාලනය කරන්න වෙනවා.

සියලූ රාජ්‍ය නායකයෝ රටේ අවශ්‍යතාව අනුව ණය අරන් තියෙනවා. මහින්ද රාජපක්ෂ මහතා රට බාරගෙන නික්ම යනතෙක් ඊට පෙර රජයන් ගත් සියලූ ණය ගෙවන්න අදෝනා තිබ්බේ නැහැ.රාජ්‍ය නායකයෝ ණය අරන් තියෙන්නේ රටේ සංවර්ධනයට. මහින්ද රාජපක්ෂ මහත්තයා ගත්ත දේවල් අත දිග ඇරලා පෙන්නන්න පුළුවන්. ඩොලරය තවම නතර වෙන බවක් පේන්නේ නැහැ. සැබෑ පිළිතුරු හොයන්න ඕනෑ. අවසානයට අපි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා හමුවු අවස්ථාවේ දී එහි සභාපති පැවසුවේ ඔක්තෝම්බර් 20 එතුමාට තියෙන අවසන් දිනය බවයි.


නව අදහස දක්වන්න