බඩඉරිඟු වගාව නතර කරන්න ඕනැ | දිනමිණ

බඩඉරිඟු වගාව නතර කරන්න ඕනැ

දුමින්ද අලුත්ගෙදර

කවුඩුල්ලේ ජයතිස්ස
සභාපති, ප්‍රගතිශිලී ගොවිජන සම්මේලනය, පුනරුද ව්‍යාපාරයේ කැඳවුම්කරු

සේනා දළඹු වසංගතය මේ වනවිට මෙරට කෘෂිකර්මාන්තයේ බරපතළම අභියෝගය බවට පත්ව තිබේ. ඒ සම්බන්ධව සහ මෙරට කෘෂිකර්මයේ වත්මන් තත්ත්වය පිළිබඳ සාකච්ඡාවකට, ප්‍රගතිශීලී ගොවිජන සම්මේලනයේ සභාපති, කවුඩුල්ලේ ජයතිස්ස ගොවි මහතා එහා ඉවුරට කැඳවූයේ එහෙයිනි. ජයතිස්ස ගොවි මහතා යනු, දේශීය බීජ, කාබනික පොහොර පදනම් කරගත් කෘෂිකර්මයෙහි ප්‍රායෝගිකව නැයැලෙන්නෙකි.

 සේනා දළඹුවාගේ ව්‍යාප්තිය සම්බන්ධයෙන් ආණ්ඩුව පූර්ව ප්‍රචාරණයක් කළා කියනවා. ඒත්, ව්‍යාප්තිය අවම කර ගන්න නොහැකි වුණා කියලයි මාධ්‍ය වාර්තා පළ වුණේ. ඒ ගැන ඔබේ අදහස මොකක් ද?

අපිත් ඇමැතිවරුන්ගේ කතා සහ කෘෂිකර්ම ඉහළ නිලධාරීන්ගේ කතා මාධ්‍යයෙන් දැක්කා.කවුරු මොනවා කිව්වත්, ඇත්ත කතාව පුවත්පතක් වාර්තා කරලා තිබුණා. පුවත්පත් වාර්තාවේ සඳහන් වුණේ, අමෙරිකාවේ මොන්සැන්ටෝ කියන සමාගම අභිජනන බීජ අලෙවි කරන්න රටවල් ගණනාවකට යොමු කරලා තියෙනවා. ඒ අතරතුර, ඒ අයගේ පරීක්ෂණාගාරවල සේනා දළඹුවා හදලා කියලයි සඳහන් වුණේ. මේ ව්‍යසනය සැලැසුමක ප්‍රතිඵලයක් කියලා, එතකොට අපට පැහැදිලියි .

 කෘෂිකර්ම නිලධාරීන් සහ රජය සේනා දළඹුවාගේ ව්‍යාප්තිය ඊසාන දිග මෝසම් සුළඟෙන් වුණා කියලා තමයි කිව්වේ. ඔබතුමා කියන්නේ ඒක එහෙම නෙමෙයි කියල ද?

අනිවාර්යයෙන් ම. ඔය කියන අමෙරිකානු සමාගමේ බීජ අලෙවි කර ගැනීමට වෙළෙඳ පොළ නිර්මාණය කර ගත්තා කියන එක තමයි කියන්න තියෙන්නෙ. මම කියන කතාව නෙමෙයි, කවුරු හරි අභියෝග කරනවා නම්, සමාගමේ නමත් දාලා තියෙනවා. අපටත් විවිධ සැක සංකා තිබුණා. කාලයක් තිස්සේ නිලධාරීන්ගේ හා දේශපාලකයන්ගේ කතා අහගෙන බලාන හිටියා. අසූ ගණන්වල අම්පාරට කීඩෑවා ආවාම, කෘමිනාශක ඉස්සේ හෙලිකොප්ටර්වලින්. ඒ කාලේ ඉඳන් ම අපට අපේ කෘෂිකර්මාන්තය ආක්‍රමණය කරනවා කියන සැකය තිබුණා. අද වෙනකොට ශ්‍රී ලංකාව, ඕනෑම කෙනකුට ඕනෑම දෙයක් පිට රටින් ගේන්න පුළුවන් විදිහට විවෘත වෙලා ඉවරයි. කවුරුත් මේවා ගැන හොයන්නෙ බලන්නෙ නෑ.

 ඔබ කියන්නේ, මේ ව්‍යසනය පිටිපස්සේ බඩඉරිඟු ආනයනකරුවන් ඉන්නවා කියන එක ද?

අද වෙළෙඳ පොළේ තියෙන පොරි හදන්නෙ ශ්‍රී ලංකාවේ බඩඉරිඟු භාවිත කරලා නෙමෙයි. ඒකට අප්‍රිකාවේ බඩඉරිඟු විශේෂයක් ගේනවා. ඒ බඩඉරිඟු ගේන්නෙ ටොන් ගණන්. එහෙම ගේනකොට වරායෙ දී හුන්ඩුවක් විතරක් පරීක්ෂා කරලා, කන්ටේනර් නිදහස් කරන්නේ අත යට ගනුදෙනුවලට. මේ ප්‍රශ්නයේ දී අපට මේ වගේ කාරණා ගැනත් අවධානය යොමු කරන්න වෙනවා. අපට දැන් කරුණු දෙකක් පැහැදිලියි. අමෙරිකාවට බඩඉරිඟු වෙළෙඳ පොළක් හදා ගන්නත්, බඩඉරිඟු ගෙන්වන්නන්ගේ ආදායම තර කර ගන්නත් මේවා කරනවාද කියන සැකය අපට තියෙනවා.

 ආනයනික බීජ, කෘෂි පර්යේෂණායතනවල පරීක්ෂාවට ලක් වෙන්නෙ නැද්ද?

දැන් ශ්‍රී ලංකාවේ බඩඉරිඟු වගාව ආක්‍රමණය කරලා ඉවරයි. කෘෂිකර්ම නිලධාරිනුයි, ආණ්ඩුවේ පාලකයනුයි දැන් මේ ප්‍රශ්නය ගැඹුරින් හොයලා, යළි ඇති නොවෙන්න තීන්දු තීරණ ගන්න ඕනැ. වෙච්ච දේ ගැන දැන් කතා කරලා වැඩක් නෑ. ගොවියා විඳින්න ඕන පාඩුව විඳලා ඉවරයි. අපි පුවත්පත්වල මේ ගැන වාර්තා කරලා තිබුණාට, එක ම රූපවාහිනී නාලිකාවකවත් මේ සළඹයා ගැන හඳුන්වා දෙනවා දැක්කෙ නෑ. ගොවියෝ හැමෝම රූපවාහිනී බලනවා, ඔවුන් මේ ගැන කරුණු හොයනවා. ආණ්ඩුව යුද හමුදාව සීරුවෙන් තියනවා කිව්වට, තවම කිසි ම සැලැසුමක් දියත් වන බවක් පේන්න නෑ.

 ඔබතුමා ශ්‍රී ලංකාවේ විද්‍යුත් මාධ්‍යයට කරන්නෙ චෝදනාවක්?

සාමාන්‍යයෙන් ඉස්සර රූපවාහිනිය මේ රටේ කෘෂිකර්මාන්තය ගැන වාර්තාමය වැඩ සටහන් කළා. ගොවියෝ වගේ ම, ඉගෙන ගන්න ළමයි ඒවා බැලුවා. බොහෝ දේ ඉගෙන ගත්තා. අපි රූපවාහිනිය ඉස්සරහා ඉඳගන්නෙ, ඒ වගේ දැනුමක් ගන්න. දළඹුවාගේ ජීවන චක්‍රය, උගත්, බුද්ධිමත් හැමෝම දන්නවා. දළඹුවාගේ මුල් අවස්ථාව සළඹයා. යම් රූපවාහිනියක් මේ සළඹයා ගැන හොයලා බලලා, සළඹයාගේ ලක්ෂණ සජීවීව විකාශනය කරනවා නම්, ගොවියෝ මේ ගැන අවධානයෙන් ඉන්නවා. ගොවියෝ අවධානයෙන් තියන්න මේ රටේ මාධ්‍යයට වගකීමක් සහ යුතුකමක් තියෙනවා. ඒක මම කියන්න දෙයක් නෑ. අපි සේනා දළඹුවා ගැන බලාගෙන ඉන්නකොට, අනෙක් පැත්තෙන් කීඩෑවා එනවා. ඒ ගැන තොරතුරු ඕනෑ තරම් දෙන්න පුළුවන්. රූපවාහිනිය අප දැනුම්වත් කරනවද? එහෙම කරන්නෙ නෑ. ඒක තමයි මගේ චෝදනාව.

 කොහොම නමුත්, සේනා දළඹුවාට එරෙහිව සටන් කරන්න කාබනික පොහොරවලට පුළුවන් කියලා වාර්තා වුණා. ඒ ගැන ඔබ දරන මතය මොකක් ද?

අපිත් මාධ්‍ය වාර්තා පළ වෙනවා දැක්කා. අපේ කාන්තාවක් අළු භාවිතයෙන් දළඹු ව්‍යාප්තිය මඩින්න පුළුවන් කියලා හොයාගෙන තියෙනවා. කුරුදුවලින් හදාගන්න දියර ඉසීමෙන් පුළුවන් කියලා තව තැනක වාර්තා වුණා. මේ කතාවල ඇත්තක් තියෙනවා. කාබනික පොහොර භාවිත කරපු ගොවිතැන්වල, දළඹු හානිය අවම මට්ටමක තියෙනවා. රටින් ගෙනාපු බීජ කියන්නේ බ්‍රොයිලර් කුකුලෝ වගේ. ශ්‍රී ලංකාවේ බීජ, ගම් කුකුලෝ වගේ. රටින් ගෙනාපු ඒවට පොහොර ටොන් ගණන් දාන්න ඕනැ. සාමාන්‍යයෙන් ශාකයක් වැඩෙන්න මූල ද්‍රව්‍ය ගණනාවක් ඕනැ. අපි අද කරන්නෙ හැම මූලද්‍රව්‍යයක්ම රසායනික පොහොරෙන් දෙන එක. මේ කාරණය විද්‍යාත්මකයි. ඒ නිසා, තිස් අවුරුදු යුද්ධය ඉවර කළා වගේ, ආණ්ඩුවේ බලධාරීන් හෝ රජයේ නිලධාරීන් දැන් අවදි වෙන්න ඕන කාලය හරි. අපේ රටේ කෘෂිකර්මාන්තයත් සංග්‍රාමයක්.

 කෘෂිකර්මාන්තය පිළිබඳ ආණ්ඩුව සහ කෘෂිකර්ම බලධාරින්ගේ අවධානයක් නෑ කියලද ඔබ කියන්නේ?

මේ රටේ රසායනික පොහොර ගැන දීර්ඝ කාලයක් කතා කරනවා. මේ ආණ්ඩුව ග්ලයිෆොසෙට් තහනම් කළා. තහනම් කළාට පස්සේ ආයෙත් ඇමැතිරවරු කීප දෙනෙක් දඟලලා, කොහොම හරි තහනම ඉවත් කර ගත්තා. පැවැති හා පවතින ආණ්ඩු වැඩියෙන් ම බර තියන්නෙ, කෘෂි රසායනිකවලට කියලා පැහැදිලියි. අපි කියන්නේ රසායනික ගැන හිතන්න ඕනැ අවසාන මොහොතේ දී මිසක්, පළමු මොහොතේ නෙමෙයි. දළඹුවා ගැන හිතලා බලන්න. දළඹුවාට අවදි හතරක් තියෙනවා. අවස්ථා දිහා බැලුවොත්, සළඹයා, බිත්තර, පනුවා, කෝෂය තමයි තියෙන්නේ. මේ අවදි හතරෙන් අපට හානි කරන්නේ, පනුවා අවස්ථාවේ විතරයි. අපි අවදියෙන් ඉන්නවා නම්, කලින් කිව්වා වගේ දේශීය ක්‍රමවලින්

පනුවා හෝ දළඹුවාගේ වැඩීම මර්දනය කරන්න පුළුවන්. අපේ යෝජනාව තමයි, දළඹුවාගේ හෝ ව්‍යාප්තිය වළක්වන්න නම්, බඩඉරිඟු වගාවෙන් ඉවත් වෙන්න ඕනැ.

 නැවත දැනුම් දෙනතුරු බඩඉරිඟු වගාව නොකරන්න කියලා කෘෂිකර්ම අධ්‍යක්ෂවරයා නියෝගයක් නිකුත් කළා?

බඩඉරිඟු කන්න නෑ කියලා අපේ රටේ මිනිස්සු මැරෙන්නෙ නෑ. ඒ නිසා, කන්නයක් දෙකක් බඩඉරිඟු වගාවෙන් අයින් වුණා නම් හරි. අපි කියන්නෙත්, කෘෂිකර්ම අධ්‍යක්ෂවරයා දුන්නු නියෝගය ඉතා නිවැරැදියි කියලයි. මහා පරිමාණයෙන් බඩඉරිඟු වගාව කරපු කීප දෙනෙක්, දැනටමත් වගාව නවත්වලා තියෙනවා.

 වගාව නැවැත්තුවොත්, අපේ රටේ බඩඉරිඟු අවශ්‍යතාවට මොකද කරන්නේ?

අපේ රටේ බඩඉරිඟු බොහෝවිට භාවිත කරන්නේ ත්‍රිපෝෂ හදන්න. ත්‍රිපෝෂ බඩ ඉරිඟු නැතිව හදන්න පුළුවන්. ඒ වෙනුවට, මුං ඇට, කව්පි, සෝයා, කුරක්කන් ගන්න පුළුවන්. අපේ කෙනෙක් මේ ධාන්‍ය වර්ග හතරෙන් ත්‍රිපෝෂ හදනවා. ඒකට අපේ පරණ හාලුත් ගන්නවා. බඩඉරිඟු නොගෙන්වා මේ වගේ ආදේශක ඕනෑ තරම් අපට තියෙනවා. බඩඉරිඟු වගාව නැවැත්තුවොත්, මේ ප්‍රශ්නය විසඳගන්න පුළුවන්. එහෙම නැති වුණොත්, අනෙකුත් වගාවලටත් මේ ව්‍යසනය අත්වෙන්න පුළුවන්.

 අපේ රටේ කෘෂිකර්මාන්තය අද වෙනවිට ක්ෂය වීගෙන යනවා කියලා ගොවියෝ මැසිවිලි නඟනවා. ඒ තත්ත්වය ඉතිහාසයේ සිට ක්‍රමානුකූලව සිදුවුණ දෙයක් කියලයි බොහෝ දෙනෙක් පෙන්නලා දුන්නේ. ඇත්තද ඒ කතාව?

ඩී. එස් සේනානායක මහත්තයාගේ මරණෙන් පස්සේ අපේ හරක් බාන් තිහෙන් කරන දේ එකවර කරන්න තීන්දු වුණා. එතැනින් පස්සේ හොඳ දේට වගේම නරක දේට ඇබ්බැහි කර ගන්නා තැනකට අපේ කෘෂිකර්මාන්තය ගෙනාවා. අද වෙනකොට අපිට ඒවා මතම යැපෙන්න වෙලා ඉවරයි. සාමාන්‍යයෙන් යල කන්නයේ කීඩෑ උවදුරක් එනවා කියන්නේ කලාතුරකින් වෙන දෙයක්. ඒත් ගිය යල් කන්නයේ කීඩෑ උවදුරෙන් අක්කර එක් ලක්ෂ හැට දෙදහෙන් ලක්ෂයක්ම විනාශ වුණා කියලා කෘෂිකර්ම දෙපාතමේන්තුවත් පිළිගත්තා. එදා පොළොන්නරුවේ ගොවීන්ගේ අක්කර ලක්ෂයකට යට කරපු සල්ලි, මහන්සිය වතුරේ ගියා. එහෙමනම් දෙපාර්තමේන්තුවේ හරි දේශපාලනයේ හරි මේවට වගකියන බලධාරීන් ඉල්ලලා අස්වෙන්න ඕන. එහෙම අස්වුණා ද? නැව ගිලෙනතුරුත් කප්පිත්තා නැවෙන් යන්නෙ නෑ. නැවත් එක්ක ඔහුත් මැරෙනවා. අපේ කෘෂිකර්මාන්තයට එහෙම කවුද ඉන්නෙ.

 කෘෂිකර්ම පර්යේෂණ ආයතනයේ සහයෝගය කොහොමද?

ඒ අයට කෘෂිකර්මය ගැන හරි අවබෝධයක් නෑ. පර්යේෂණ කියලා දාලා ඉන්න නිලධාරීන් කෘෂිකර්මය සම්බන්ධ පාඨමාලාවක් කරලා ඇවිත් ඉන්නෙ. එදා KVS කියලා තනතුරක් තිබ්බා. අද ඒවා නෑ. අද කෘෂිකර්ම නිලධාරි ඉන්නෙ වස කඩේ. කඩේ මුදලාලි තමයි උපදෙස් දෙන්නෙ. කඩේ ඉන්න කෘෂි අධ්‍යක්ෂ වැඩියෙන් කොමිස් තියෙන කෘමිනාශක ගොවියට දෙනවා.

 සේනා දළඹුවා පැතිරුණේ සුළඟෙන් කියලා කිව්වා නේද?

අනිවාර්යයෙන්ම, මේ ගැන අවබෝධයෙන් කතා කරන්න ඕනැ. රටේ කෘෂිකර්මාන්තයට ආදරේ කරන කෘෂි නිලධාරීන් පිරිසකුත් ඉන්නවා. ඒ අතර ශිෂ්‍යත්ව ගන්න, විදෙස් රටවල පුරවැසිභාවය ගන්න කෘෂි රසායනික මාෆියාවට යට වුණ, ඒ වෙනුවෙන් වැඩ කරන පිරිසකුත් ඉන්නවා. ඒ පිරිස තමයි මේ රටේ කෘෂිකර්මාන්තය වනසන්නෙ. ශ්‍රී ලංකාවේ හිටපු පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරු දෙන්නෙක්ම විදෙස් රටවල පදිංචියට ගියා කියලා මම දන්නවා. ශ්‍රී ලංකාව අතහැරලා එහෙම යන්න ලැබුණේ, ඒ අය තනතුරේ ඉන්න කාලේ, ඒ රටවල සමාගම්වල කාර්යභාරය හා යුතුකම්, වගකීම් අකුරටම ඉටු කරපු නිසයි. අපේ ඉහළ පැලැන්තිය, වරදාන වරප්‍රසාද වෙනුවෙන් උපරිමයෙන් වැඩ කරනවා.

 අපට තිබුණ බීජවලට මොකද වුණේ?

අපි කණ්ඩායමක් විදිහට සංවිධානය වෙලා, සුදු හීනැටි, සුවඳැල්, රත්දැල් කියන වර්ගවලට යන්න ලෑස්තියි. මේවාට යූරියා ඕනෑවට වඩා දාන්න බෑ. දැම්මොත් කොළ විතරක් වර්ධනය වෙනවා. මේ වගේ උවදුරු, දේශීය ක්‍රමවලින් පාලනය කර ගන්න පුළුවන්. ගොම දියර, එළ මුත්‍රා, කුකුල් පොහොර වගේ දේ භාවිතය ඉතා සාර්ථකයි. රසායනික පොහොර යෙදුවොත්, ගොයම් කරල් එන්නෙ නෑ. මේවා ගැන ආයෙත් හිතනවා නම්, අපට අපේ දේ රැක ගන්න අමාරු නෑ.

 ගොවි සංවිධාන නියෝජිතයෙක් විදිහට, ගත යුතු ක්‍රියාමාර්ග ගැන යෝජනා කරන්නේ කුමක් ද?

දැන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට බැණ බැණ ඉඳලා හරියන්නෙ නෑ. මොන ආණ්ඩුව කවුරු හොඳයි කිව්වත්, ගොවිතැනට වින කළා. ඒ නිසා මෙතැනදී අපි අවදි වෙන්න ඕනැ. අද ඉන්න කෘපනිස කියලා කියන්නෙ දේශපාලන පත්වීම්. නිකමට හිතන්න, යුද්ධයකට දරුවෝ පුහුණු කරන්නේ, පාසලේ කැඩෙට් ටීම් එකෙන්. රූපලාවන්‍යයටත් ඕනෑ තරම් පාසල් තියෙනවා. වඩු වැඩටත් එහෙමයි. ඔය පාලකයන්ට පුළුවන්ද අපේ කෘෂි පාසල මේක කියලා සිය දහස් ගාණක් ඉන්න වේදිකාවකට නැඟලා ගිරියෙන් කෑ ගහලා කියන්න. කෝ එහෙම එකක්. ඉගෙන ගන්න බැරි නම්, උදැල්ල අරන් කුඹුරට පලයන් කියලා තමයි අද කියන්නෙ. අපි කන්නෙ බත්. ඒක ප්‍රධාන ආහාරය. ඒත් එතැන වධකාගාරයක් කළේ කවු ද? කෝ ආණ්ඩු? ගොවියෝ දිහා බැලුව ආණ්ඩුව කෝක ද? මම අහන්නෙ එච්චරයි.

 ශ්‍රී ලංකාව කියන්නේ කෘෂිකර්මය පදනම් කරගත්, සමාජ ක්‍රමයක් තියෙන රටක්. ඒ රටේ ජනපතිවරයා කෘෂිකාර්මික ජනපදවලින් ගොඩනැඟුණු කෙනෙක්.

මේ ජනපතිවරයා පත් කරගන්න කැප වුණේ අපි. එතුමා ජනපති වුණාම ගොවියෝ ගොඩක් සතුටු වුණා. එතුමට තනි අතින් අප්පුඩි ගහන්න බෑ කියලා ගොවියෝ දැන් තේරුම් අරන් ඉවරයි. එතුමා ගන්න උත්සාහය අපි නොදන්නවා නෙමෙයි. ජනපතිවරයා දැවැන්ත අරගලයක් කරනවා කියලා අපි දන්නවා. ඒත්, කරගන්න බැරි හේතු ගැන අපි කනගාටු වෙනවා. ජනපතිවරයා දරන උත්සාහය ආණ්ඩුවේ අනිත් නායකයන්ට තියෙනවා කියලා අපට පේන්නෙ නෑ. ඒ නිසා, අපේ මාධ්‍ය ආයතන ගොවියා දිහා ඇස් ඇරලා බලන්න. අපේ මාධ්‍ය ආයතන ව්‍යාපාරිකයන්ගෙ වුවමනා විතරක් ඉටු කරන්න එපා. මේ රටේ නායකයාගේ දැක්ම මොකක් ද කියලා හොයලා බලලා ගොවීන්ට පෙන්වන්න. ටෙලි නාට්‍ය පුරවලා අපේ ඔළු ටික විනාශ කරන්නැතිව, අප දැනුමෙන් පෝසත් කරන්න. ඒ වගකීම් ටික අපේ මාධ්‍ය ආයතන ඉටු කරනවා නම්, මේ සටන ජය ගන්න පුළුවන්.

 


නව අදහස දක්වන්න