ත්‍රස්තවාදය වැනසුවාසේම මත් ජාවාරම පරාජය කළ යුතුයි | දිනමිණ

ත්‍රස්තවාදය වැනසුවාසේම මත් ජාවාරම පරාජය කළ යුතුයි

රක්ෂණ ශ්‍රියන්ත

වසර 30ක ම්ලේච්ඡ ත්‍රස්තවාදය පරාජය කිරීමට ගෙන ගිය යුද්ධය හා සමාන යුද්ධයකින් ම්ලේච්ඡ මත්ද්‍රව්‍ය ජාවාරම සහ ජාවාරම්කරුවන් පරාජය කර ජාතිය ගලවා ගත යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කෙළේය.

ජනාධිපතිවරයා මේ බව පැවසූවේ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ ඊයේ (28) පැවැති "ජනාධිපති ප්‍රශංසා -2019" උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වෙමිණි.

මත්ද්‍රව්‍ය නිවාරණය හා පාලනය වෙනුවෙන් සුවිශේෂී දායකත්වයක් ලබා දී ඇති පොලිස් නිලධරීන් සඳහා සම්මාන ප්‍රධානය කිරීම මෙම උත්සවය ප්‍රධාන අරමුණ විය.රටේ සියලුම පුරවැසියන්ගේ නිදහස් සාමකාමී දිවි පැවැත්ම තහවුරු කරනු වස් ශ්‍රී ලංකා පොලිස් සේවයේ පරමාර්ථ යථාර්ථයක් කරමින් තික්ෂණ බුද්ධියෙන් තම කුසලතාවයෙන් සහ වෘත්තීමය පරිණතභාවයෙන් මත්ද්‍රව්‍ය, මද්‍යසාර සහ සංවිධානාත්මක අපරාධ මැඬලමින්, වළක්වාලමින්, ග්‍රහණයට ගනිමින් සහ ප්‍රජාව දැනුවත් කරමින් සිදු කරන ලද මෙහෙවරට සහ ගරු ජනාධිපතිතුමා විසින් වර්ෂ 2015 දී ආරම්භ කරන ලද මතින් නිදහස් රටක් සංකල්පය යථාර්ථයක් කැර ගැනීමට දිවි හිමියෙන් කැපවෙමින් සිදු කළ උදාරතර අභිමානවත් සේවය ඇගැයීමට ලක් කරමින් සහ මුළු මහත් ජාතියේ ගෞරවය සහ ප්‍රණාමය පුද කරමින් පොලිස් නිලධාරින් 1007 දෙනකු වෙත විශේෂ ජනාධිපති ප්‍රශංසා සහතික පත් පිරිනැමීම මෙහිදී සිදු කෙරිණි.

මෙහිදී ජනාධිපති පොලිස් විරතා පදක්කම් නිලධාරීන් 15 දෙදෙනකුටද, මත්ද්‍රව්‍ය මෙහෙයුම් වලදී මියගිය නිලධාරීන් දෙදෙනකු වෙනුවෙන් ඔවුන්ගේ බිරින්ඳෑවරුන් සඳහා එම වීරතා පදක්කම් දෙකක්ද ප්‍රදානය කෙරිණි.

මීට අමතරව පොලිස් වීරතා පදක්කම් 89ක් සුවිශේෂී දක්ෂතා දැක්වූ නිලධාරීන් සඳහා ප්‍රදානය කෙරිණි. මෙම සම්මාන ප්‍රදානය කිරීමේ උත්සවයේ මුළු නිලධරයන් සංඛ්‍යාවෙන් 92ක් සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයේදී සම්මාන ප්‍රදානය කෙරිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේද පැවසිය.

නව වසරක් ලැබූ අවස්ථාවක අපේ අතීත මතක සටහන් අවදිකරමින් රටේ අනාගතය සඳහා තැබූ පුළුල් ජාතික වැඩපිළිවෙළක තවත් එක් වැදගත් අවස්ථාවක් . පොලිස් දෙපාර්තමේන්තුවේ සේවය කරන, විශේෂයෙන්ම නීති විරෝධී මත්ද්‍රව්‍ය මර්දනය කරන, නිවාරණය, පාලනය ඒ සියලු කාර්යයන්හි නායකත්වය ගෙන පොලිසියත් ත්‍රිවිධ හමුදාවත් රේගු, සුරාබදු, වෙරළ සංරක්ෂණ තවත් ආයතන රාශියක් සහයෝගයෙන් කෙරෙන මේ මත්ද්‍රව්‍ය මර්දනයේ වැදගත් කාර්යයක් උසුලන එක් කොටසකට අද, තවත් කොටසකට ඉදිරි සති දෙකකින් පමණ ජනාධිපති ප්‍රශංසා සම්මාන වගේම ඔබේ සේවය අගය කරමින් මේ පවත්වන වැදගත් ගෞරවනීය වුත් විශිෂ්ඨ වූත් ජාතියේ අනාගතය සඳහා වු වැඩසටහනේ දී ඔබ හමුවන අවස්ථාවේදී මා ඉතාමත් සතුටට පත් වෙනවා.

අපේ රටේ පොලිස් දෙපාර්තමේන්තුවේ ඉතිහාසය ගත්විට වසර 152කට ආසන්නයි. පොලිස් දෙපාර්තමේන්තුව අවුරුදු 152කට පෙර ආරම්භ වු අවස්ථාව අද දවස ගත්විට අපේ රටේ වගේම ලෝකයේ බොහෝ පරිවර්තනයන් වගේම සිදුවීම් රාශියක් සිදු වී තිබෙනවා. දේශාපලන, ආර්ථික, සමාජමය,තාක්ෂණ ඒ විවිධ ක්ෂේත්‍රවල පුළුල් පරිවර්තනයන් රාශියක් සමඟ අපි අද ජීවත් වන්නේ අධි තාක්ෂණික ලෝකයක. අධි තාක්ෂණික ලෝකයේ අධි තාක්ෂණය මිනිසාගේ යහපත, ප්‍රගමනය, අනාගතය පිළිබඳ මග පෙන්වන්නා වු විශිෂ්ඨ කාර්යයන් රැසක් ඉටු කරනවා. පසුගාමී තත්ත්වයන් ලෝකයේ රණවිරුවන්ට වඩාත් නිවැරැදිව ශක්තිමත් කරන පුළුල් ආයතනය තමයි සෑම රටකම තිබෙන පොලිස් දෙපාර්තමේන්තුව පොලිස් ආයතනය. පොලිස් කියන වචනයේ සඳහන් ඉංග්‍රිසි අකුරු ටිකට එක් එක් විදියේ නිර්වචනයන් විග්‍රහයන් දෙන බව ඔබ දන්නවා. පොලිස් දෙපාර්තමේන්තුව ලෝකයෙත් සංවර්ධනය වෙමින් පවතින රටවල, සංවර්ධනය වු රටවල, ඉහළම සංවර්ධනයක් ඇති රටවල, නීතිය සාමය, විනය, ශීලාචාරකම, හැදිච්චකම, දූෂණයෙන් වංචාවෙන් අක්‍රමිකතාවයෙන් තොර සමාජයක්, ආදර්ශමත් චරිත ගොඩනැගීම පොලිසියේ පුළුල් කාර්ය භාරයක් බවට පත්ව තිබෙනවා. ඒ සඳහා අපි කැපවිය යුතුයි. එහිදී අපිට බොහෝ අභියෝග තිබුණත් ඒ සියලු අභියෝගයන් මා මේ මෙහොතේ කතා කරන්නේ නැහැ. විශේෂයෙන්ම අපි වගේම ලෝකයේ මුළු මහත් මානව ප්‍රජාවම ලෝකයේ සමස්ථ නව පරපුරේ දරුවන්ම මුහුණ දී තිබෙන්නා වු ප්‍රබල අභියෝගය පිළිබඳව අපි අද කතා කරන්නෙත් විසැඳුම් දෙන්නෙත්. අපි අද ඒ සේවාවන් සිදු කළ අයට ගරු සම්මාන දෙනවා. මත්ද්‍රව්‍ය මර්දනය පිළිබඳ මගේ පෞද්ගලික ජීවිතයේ අත්දැකීම් ඉතාමත් දීර්ඝ කාලීනයි. ඔබ දන්නවා මම රාජ්‍ය සේවයේ ඉතාම පුංචිම තැනක හිටපු කෙනෙක්. ඒ රාජ්‍ය සේවයේ පුංචිම තැන ඉන්න කොටත් ගමේ අරක්කු කාරයන්ට කසිප්පු කාරයන්ට ගංජා කාරයන්ට මාව ලොකු හිසරදයක් වුණා.1989 පාර්ලිමේන්තුවට ඇවිල්ලා පළමු වැනිවරට ඔබ දන්නවා ඇඩික් ආයතනයට මම සම්බන්ධ වුණා. ඔවුන්ගේ උත්සව සංවිධාන දේශනවලට මම ගියා. සෞඛ්‍ය ඇමැතිවරයා වු කාලයේ 2010ත් 2015ත් මත්ද්‍රව්‍ය මර්දනය සඳහා ගත හැකි තීන්දු තීරණ රාශියක් ගත්තා. මම රටේ යහපත වෙනුවෙන් ගත් තීන්දු තීරණ ක්‍රියාත්මක කරන්න විට ඊට විරුද්ධ වු අය මට විරුද්ධ වෙද්දී ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහින් ඇමැතිවරයෙක් විදියට බංකුවක් උඩ ඉදගෙන කටයුතු කරන්න සිද්ධ වුණා. සිගරට්වලට අරක්කු වලට ගෙන ගිය සටන මහා අභියෝගාත්මක වුණා.එය ජය ගැනීමට පහසු වුණේ නැහැ. 2015 ජනාධිපතිවරයා බවට පත් වී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පළමු වැනි පනත වුයේ මත්ද්‍රව්‍ය මර්දනය දුම්කොළ මධ්‍යසාර මර්දනය පාලනය සම්බන්ධයෙන් නව නීති ක්‍රියාත්මක කිරීමේ පනතයි. එය පාර්ලිමේන්තුවේදී අපි ඒකමතිකව සම්මත කළා. ජනාධිපතිධූරයට පත්වු අවුරුදු හතරක කාල සීමාව තුළ දීප ව්‍යාප්තව රට වශයෙන් ඔබ සමඟ සියලු මැති ඇමැතිවරු සියලු අමාත්‍යාංශ පාසල් දරුවෝ රටේ පුරවැසියන් රාජ්‍ය මුල ආයතන මේ සියල්ල සමඟ පුළුල් වැඩපිළිවෙළක් මා ක්‍රියාත්මක කළා. එයට ඔබ සෑම කෙනෙක්ම දුන් සහයෝගය මා ඉතාමත්ම අගය කරනවා. නීති විරෝධී මත්ද්‍රව්‍ය හෂීස්, කොකේන්, මරිජුවානා, අයිස් මෙවැනි ඉතා විෂ මත්ද්‍රව්‍ය මර්දනයේදී ඔබ ජීවිත පරිත්‍යාග කර තිබෙනවා. ඒ ජීවිත පරිත්‍යාග කළ සියල්ලන්ම මම මේ අවස්ථාවේ සිහිපත් කරනවා. ඔවුන්ට මා ගරු කරනවා. ඔබ ඔබේ අතපය නැති කරගෙන තිබෙනවා. පවුල් ජීවිත විනාශ කරගෙන තිබෙනවා. පුද්ගල ජීවිතයේ සාර්ථකත්වය විනාශ කරගෙන තිබෙනවා. ඒ සියල්ල තුළ ඔබ අභියෝගාකත්මක මේ පුළුල් ජාතික කර්යයකට උරදී කැපවෙලා ජීවිත පරිත්‍යාගයෙන් ඔබ සේවය කරනවා. ඒ නිසා විශේෂයෙන්ම නාකොටික් නීති විරෝධී මත්ද්‍රව්‍ය අංශයේ සේවය කරන ඒ සියලු දෙනා ප්‍රමුඛ මුළු පොලිස් දෙපාර්තමේන්තුව ඒ වගේම යුධ නාවික ගුවන් රේගු සුරාබදු වෙරළ සංරක්ෂණ අනිත් ආයතන ඒ සියල්ලේ සේවය කරන ඒ සෑම කෙනෙකුම මුළු මහත් ජාතියේ ගෞරවය මා ජනාධිපතිවරයා විදියටත් පෞද්ගලිකව පුරවැසියෙක් විදියට ඔබට මා අද දවසේ ඉතා නිහතමානී ලෙස ස්තුතිය පුද කරනවා. අපිට හෙට දවසේ තිබෙන්නා වු අභියෝග අපි විසින් ජයගත යුතු වෙනවා. ඒ අභියෝග ජය ගැනීමට අප විසින් කළ යුතු කාර්යයන් බොහෝ විට අතපසු වී තිබෙනවා. ඔබට මතක ඇති ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු සරත් අබේපිටිය මහතාගේ ඝාතනය. මා එවකට ඇමැතිවරයෙක්. මිය ගිය විනිසුරුතුමාගේ සිරුර බදාගෙන අවුරුදු දොළහක දාහතරක දරුවා හඩපු විට මගේ ඇස් වලටත් එදා කඳුළු ආවා. විනිසුරු සරත් අබේපිටිය මහතාගේ බැංකු ගිණුමේ තිබුනේ මගේ මතකය හැටියට රුපියල් හාරසිය ගාණක්. ඉතාමත්ම ප්‍රබල අපරාධ කල්ලි මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෝ එතුමා අමු අමුවේ මරා දැම්මා. ඒ වේලාවේ රටක් විදිහට මත්ද්‍රව්‍ය ජවාරම් කාරයන්ට විරුද්ධව ගත යුතු තීන්දු තීරණ එවකට ගත්තේ නැහැ. මත් ජාවාරම්කරුවෝ රටේ ශක්තිමත් වුණා. දේශපාලනඥයෝ මේවාට සම්බන්ධ වුණා. රාජ්‍ය නිලධාරීන් මේවාට සම්බන්ධ වුණා. සමාජයේ වැදගත් මහත්වරු විදිහට ඉන්න අය මේවාට සම්බන්ධ වුණා. ඒ නිසා මේ තත්ත්වය පාලනය කරන්න මර්දනය කරන්න කළ යුතු කාර්යයන් අතපසු වී තිබුණා. ඒ අතපසු වීම් නිවැරැදි කිරීමයි මා 2015 සිට නව නීති සම්පාදනයේ සිට සියලු ප්‍රායෝගික ක්‍රියාකාරීත්වයන් තුළ සිදු කෙළේ. මම හැම දිස්ත්‍රික්කයකටම ගියා. මත්ද්‍රව්‍ය මර්දනය පාලනය නිවාරණය පිළිබඳව දහස් ගණන් පාසල් දරුවන් රාජ්‍ය නිලධාරීන් පුරවැසියන් ගෙනල්ලා සම්මන්ත්‍රණ සාකච්ඡා තිබ්බා ඕනෑ තරම්.

ඒ නිසා අපි මේ කාර්යයන් වලදී විශේෂයෙන්ම අපේ වගකීම් හා යුතුකම් වලදී මම පැහැදිලිව කියන්න ඕනෑ 2015 ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව ජාතික මත්ද්‍රව්‍ය ප්‍රතිපත්තියක් හදලා සම්මත කළා. අලුත් නීති රීති හැදුවා. අවුරුදු තිහක මිලේච්ඡ ත්‍රස්ත්‍රවාදීන් පරාජය කර ඒ යුද්ධය අවසන් කළ අපේ රණවිරුවන් එදා ඒ කළ යුද්ධයට හා සමාන යුද්ධයක් අද ජාතිය ගලවා ගැනීම සඳහා මත්ද්‍රව්‍ය වෙනුවෙන් කිරීමට අද සිදු වී තිබෙනවා. එය අප පැහැදිලි කර ගත යුතු වෙනවා. එය රටේ ජනතාවට පැහැදිලි කළ යුතු වෙනවා. ප්‍රභාකරන් සමඟ ත්‍රස්ත්‍රවාදී යුද්ධයේදී ජයග්‍රහණය කළ ඔබ ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය මේ මත්ද්‍රව්‍ය මර්දනයේ දී එදා ඒ දැක්වූ කුසලතාවයන් දක්ෂතාවයන් නිර්මාණශීලී භාවයන් එඩිතරකම වීරත්වය කැපවීම අවංක කම ජාතියේ අනාගතය වෙනුවෙන් කැපවීම මේ සියල්ල තුළ ජාතියේ නාමයෙන් මේ රටේ අනාගත පරපුර නාමයෙන් මා ඔබෙන් ඉල්ලා සිටිනවා එදා ප්‍රභාකරන් විනාශ කරන්න ගෙනිච්ච යුද්ධයට සමානව මේ උතුම් වූ ශ්‍රේෂ්ඨ මහගු කාර්යයට උරදෙන්න කියා.ඒ සඳහා අවශ්‍ය කරන නායකත්වය මම දෙනවා. කසිප්පු මුදලාලි, ගස් කපන ජවාරම්කාරයින් ගමේ ඉන්න විවිධ ජාවාරම් කරන අය නීති විරෝධි අය පොලිසියේ ඕ.අයි.සී මාරු කරපු යුගය මම අවසන් කරනවා කියන එක බොහොම පැහැදලිව තමුන්නාන්සේලාට කියනවා. මහා සංඝරත්නය, අන්‍යාගමික පුජකතුමන්ලා, ආණ්ඩුකාරවරුන්, මැති ඇමැතිවරුන්, තානාපතිවරුන්, ත්‍රිවිධ හමුදාපතිවරුන් , ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන්, පොලිස්පති ඇතුළු නිලධාරීන් ආරක්ෂක අංශ ප්‍රධානි මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ඡායාරූප - සුදත් මලවීර

නව අදහස දක්වන්න