සේනා දළඹුවා වර්ධනය සහ මර්දනය | දිනමිණ

සේනා දළඹුවා වර්ධනය සහ මර්දනය

එස්.එස්. වැලිගමගේ උද්‍යාන බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ ප්‍රධාන කීට විද්‍යාඥ

සේනා දළඹු පාලනය පිළිබඳ මධ්‍යම පළාතේ පළාත් පාලන ආයතන ප්‍රධානීන් නිලධාරීන් ඇතුඵ පිරිස් දැනුම්වත් කිරීම සඳහා, ගන්නෝරුව පළෑටි ජාන මධ්‍යස්ථානයේ පැවැති වැඩසටහනකදී, උද්‍යාන බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ ප්‍රධාන කීට විද්‍යාඥ එස්.එස්. වැලිගමගේ කළ දේශනයක් ඇසුරින් සැකසිණි.

ආහාර නිෂ්පාදනය සඳහා ලොව සෑම රටක්ම දැඩි අවධානයක් යොමු කර ඇත්තේ, එය මිනිසාගේ මූලික අවශ්‍යතා අතරින් ප්‍රමුඛස්ථානයක් ගන්නා හේතුවෙනි. මෙනිසා, කෘෂිකර්මාන්තය කෙරෙහි සෑම රාජ්‍යයක්ම දක්වන උනන්දුව, අද වන විට ඉහළ අගයක පවතී .ලොව බොහෝ රටවල් සිය ප්‍රධාන ජීවනෝපායන මාර්ගය ලෙසින් කෘෂිකර්මාන්තය තෝරාගෙන ඇත්තේ, ආහාර මිනිසාගේ මූලික අවශ්‍යතාවක් වන්නා සේ ම, ලෝක අර්ථිකයේ කෘෂිකර්මාන්තයට තිබෙන ඉහළ වටිනාකම හේතුවෙනි.

කෘෂිකාර්මික ක්ෂේත්‍රයට මෙන් ම, ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා ඇතැම් වකවානුවල විවිධ තර්ජන එල්ල වේ. එම තර්ජන ලෝක ආර්ථිකය කෙරෙහි ද දැඩිව බලපායි.අද වන විට එලෙස බලපෑ ඇති දරණුතම තර්ජනය වන්නේ, සේනා දළඹු වසංගතයයි. මේ වන විට මෙරට වගා රැසක් ආක්‍රමණය කර ඇති මේ වසංගතය, රටෙහි දිස්ත්‍රික්ක රැසක කෘෂිකර්මාන්තයට විශාල බපෑමක් එල්ල කරමින් සිටී.

ලෙබිඩෙබ්ටෙරා ගෝත්‍රයට මෙන් ම, නොප්ටියුඩේ කුලයට අයත් මේ භයානක දළඹු විශේෂය, 2016 වසරේදී මුල් වරට අමෙරිකාවෙන් හඳුනා ගැනිණි. අනතුරුව, අප්‍රිකාව කරා වේගයෙන් සංක්‍රමණය වූ මොවුන්, පසුව යුරෝපීය හා ආසියානු රටවලට ශීඝ්‍රයෙන් ව්‍යාප්ත විය. ලෝක කෘෂිකර්මික ක්ෂේත්‍රයට මේ වන විට බරපතළ තර්ජනයක් එල්ල කර ඇති මේ වසංගතය විසින්, ගෙවුණු වසර දෙක තුළ, ලොව පුරා බොහෝ රටවල්, ඉතා වේගයෙන් ආක්‍රමණය කෙරිණි. එහෙත් ඉන්දියාව , ශ්‍රී ලංකාව වැනි රටවලින් ඒ පිළිබඳ වාර්තා වනුයේ ඉතා ම මෑත කාලයේදීය. පසු ගිය වසරෙහි අග භාගයේදී, මෙරට බඩ ඉරිඟු වගාව ආක්‍රමණය කිරීමට එකතු වු මේ දළඹු විශේෂය, මෙතෙක් ශ්‍රී ලංකාවේ වාර්තා නොවූ ආක්‍රමණශීලී හා නිරෝධායන පළිබෝධකයකු ලෙස මේ වන විට හඳුනාගෙන තිබේ.

යළි පැමිණීමේ අවදානම

ඉතා ම භයානක දළඹු විශේෂයක් වන මොවුන්, එක රටකින් මුළුමනින්ම ඉවත් කළ ද, යළි පැමිණීමේ අවදානමක් පවතී. ශ්‍රී ලංකාවේ වුව ද, සම්පූර්ණයෙන් ම එය ඉවත් කළ ද, ඉන්දියාව වැනි ආසන්න රටකින් සති දෙක තුනකින් යළි පැමිණීමේ අවදානමක් තිබිය හැකි ය. සුළඟත් සමඟ නිරන්තරයෙන් එහෙ මෙහෙ යාමේ හැකියාව මෙන් ම, මොවුනට බොහෝ දුර යාමේ හැකියාව තිබේ. බෝග වර්ග සියයකට පමණ ඔවුනට හානි කළ හැකි බව, මේ වන විට හඳුනාගෙන ඇත. තණ කොළ මත වුව ද සිටිය හැකි මේ දළඹු විශේෂය, තෘණ කුලයේ ශාකවල වැඩි වශයෙන් දක්නට ලැබේ. බඩ ඉරිඟු,සෝගම්,මිලට්, වී, උක්, මෙන් ම, එළවළු,පලතුරු හා රනිල බෝගවලට මෙන් ම, අර්තාපල් සඳහා මේ දළඹුවාගේ හානිය දැඩිව එල්ල වීමේ හැකියාව ඇත. මේ වන විට පර්යේෂකයන් හඳුනගෙන ඇති ආකාරයට, සේනා දළඹුවන්ගෙන් වැඩි ම හානිය සිදු වන්නේ, බඩඉරිඟු වගාවට ය. අනෙකුත් පළිබෝධකයන් හා ගත් කල මේ දළඹු විශේෂය මර්දනය කිරීම ඉතා ම අසීරු වී තිබේ. ඒ සඳහා, විශේෂ කරුණු කිහිපයක් බලපායි. ඉන් ප්‍රධාන කරුණ වන්නේ, මේ දළඹුවන් බොහෝ විට සැඟවී සිටීම ය. විශේෂයෙන් ඔවුන් ගොබය අස්සට ගොස් එහි වර්ධනය වන ළපටි කොටස්, අංකුර, දලු මෙන් ම, නොමේරූ බීජ ආදිය කා දමමින් සැඟව සිටී. වෙනත් පිළෝපික සත්වයනට හසු නොවන මෙන්ම කෘමි නාශක ආදියට විනාශ කිරීමේ හැකියාව නොපෙන්වන ,දරුණු පළිබෝධකයකු වන සේනා, ඕනෑම පරිසරයකට හොඳින් ඔරොත්තු දෙන සත්වයෙකි. එක දිගට ආහාර ලනී. එනිසා ම, සිදුවන හානිය ඉතා විශාල වේ. දිගින් දිගටම දිවා රෑ නොබලා ආහාර ගැනීම හේතුවෙන්, එතරම් ප්‍රමාණයක් මළපහ කිරීම ද සිදු වේ. එනිසා මොවුන් සැරිසරන ප්‍රදේශ පහසුවෙන් හඳුනා ගැනීමේ හැකියාව ද උදා වේ. බොහෝ සේ බිත්තර දමන සළඹයන් වන මොවුන් හට, එකවර බිත්තර එකසිය පණහක පමණ ප්‍රමාණයක් දැමිය හැකි ය. එලෙස දස වරක් පමණ බිත්තර දැමීමේ හැකියාව මේ සළඹයනට තිබීමෙන් විය හැකි හානිය ද ඉතා විශාල ය. බඩ ඉරිඟු වැනි බෝගවල පත්‍රවල විශාල බිත්තර පොකුරක් දමන මොවුන්, ඒවා නොපෙනෙන ලෙස වසා තැබීමට ද දක්ෂ ය. මේ දළඹුවන් මර්දනයට කෘමිනාශක සොයා ගැනුණ ද, ඔවුන් ඒ ඕනෑම කෘමිනාශකයකට ඉතා ඉක්මණින් ඔරොත්තු දීමට තරම් තත්ත්වයක පසු වේ.

වර්ධනය වේගවත්

ශ්‍රී ලංකාවට අලුත් පළිබෝධකයෙකු බැවින්, කුරුල්ලන් වැනි ඇතැම් පළි‍බෝධනාශක සතුන් තවමත් මේ දළඹු විශේෂය හඳුනාගෙන නොමැත. එනිසා, ස්භාවිකව මොවුන් මර්දනය වීමට කාලයක් ගතවේ.බීජ මඟින් වර්ධනය වීමේ හැකියාව මෙහි ඉතා ම අවම මට්ටමක පවතින නමුත්, ඔවුන් එහෙ මෙහෙ යාමෙන් වර්ධනය වීමේ හැකියාව දැඩිව තිබේ. එමෙන් ම, කෝෂ සහිත කොටස්වලින් වර්ධනය වීමේ හැකියාව ද ඇත. බඩඉරිඟු වැනි බෝග ප්‍රවාහනයේදී, මේ දළඹු වසංගතය වර්ධනය වීමේ හැකියාව බහුල වශයෙන් පවතී. සමස්තයක් ලෙස මෙතෙක් වාර්තා වු අනෙකුත් පළිබෝධකයන් ව්‍යාප්ත වන ප්‍රමාණයට වඩා වැඩි වේගයෙන්, මේවසංගතය ව්‍යාප්ත වීමේ අවදානමක් ඇත.

කීට අවස්ථාව

විශේෂයෙන් බඩඉරිඟු වැනි කරල් තුළ වැඩෙන මොවුන්, ඒවා මෝරන අවස්ථාව වන විට ඉන් පැන යයි.අනතුරුව මේ දළඹුවන් නොමේරු කරල් සොයා ගොස්, ඒවායේ සැඟවී ජීවත් වෙයි. කරල් හෝ ශාක ප්‍රවාහනය මෙන් ම, ඒවා එහෙ මෙහෙ කිරීමේදී ඉන් ඉක්මණින් බැස කෝෂ ගත වීමේ තත්ත්වයක්, මේ විශේෂිත දළඹුවන්ගේ දක්නට ලැබේ. මේ පිළිබඳ දක්වන අවධානය ඉතා වැදගත් වන්නේ, අස්වනු නෙළීම,පැටවීම ,ප්‍රවාහනය, ප්‍රවාහනයේදී එහෙ මෙහෙ කිරීම ආදී සෑම අවස්ථාවකම මොවුන් ඉන් පැන, කෝෂ ගතවීමේ අවදානම දැඩිව පෙන්නුම් කරන බැවිනි.

මේ දළඹු විශේෂය තුළ, කීට අවස්ථාවේ හැව හැලීම් හයක් දක්නට ලැබේ.අනෙකුත් දළඹුවන් සහ පළිබෝධකයන් අතරින්, ස්වරූපයෙන් වෙනස්කම් රැසක් මොවුන් තුළ පෙනෙන්නට තිබේ. ළපටි කීටයන් ලා පැහැ වන අතර, වැඩුණු කීටයන් කොළ,කහ හෝ දුඹුරු පැහැයෙන් හඳුනාගත හැකි ය. දළඹුවාගේ හිස තද පැහැයෙන් යුක්ත ය. හිසෙහි යටිකුරු වූ වයි අකුරක හැඩැති සළකුණක් යොදා ඇත. කාණ්ඩ අනූව ශරීරයේ සෑම දේහ කොටසකම පෘෂ්ඨිමත් ලප හතර බැගින් පිහිටා තිබේ. මොවුන්ගෙන් වැඩුණු කීටයකු සෙන්ටි මීටර් තුනක්, හතරක් පමණ දිගැති ය. එහි සළඹයාට සුළගේ ආධාරයෙන් දිනකට කිලෝ මීටර් සියයක පමණ දුරක් පියඹා යාමට හැකියාව ඇත. වෙනස්කම් රාශියක් ඇති සේනා දළඹුවන්ගේ දක්නට ලැබෙන බොහෝ වෙනස්කම්, අනෙකුත් පළිබෝධකයන් අතර දක්නට නොලැබේ. මොවුන් එකිනෙකා ගොදුරු කර ගැනීම, ඒ අතරින් මර්දනයට ස්වභාවික පිළියමක් ලෙසින් පෙන්වා දිය හැකි වුවත්, ඔවුන්ගේ ශීඝ්‍ර පැතිරයාම එයට බාධාවකි.

සුදු පාට ගෝලාකාර බිත්තර පොකුරු රැසක් පත්‍ර මත දැමීමේ හැකියාවක් පවතින දළඹු විශේෂයක් වන මොවුන්, එම බිත්තර සල්ක මතින් වසා දැමීමට පිළියම් යොදයි. විශේෂයෙන් බඩඉරිඟු ආශ්‍රිත ඕනෑම බෝගයක් තුළට යාමටත්, ඒවායේ බිත්තර දැමීමට ඇති හැකියාව මෙන් ම, බඩඉරිඟු,උක් වැනි ශාක පත්‍ර තුළ සැඟව සිටීමේ හැකියාව සේනා දළඹුවන් සතු වීම නිසා, එම ශාකවල වාසය කිරීමට ප්‍රිය කෙරති. එහෙයින්, වෙනත් ශාක තුළ මොවුන් වාසය කරන්නේ නම්, මර්දනය කිරීමේ හැකියාව වැඩි වශයෙන් පවතී. එවිට එය සාමාන්‍ය දළඹුවන් මර්දනය කරන ආකාරයට වුව ද කළ හැකි ය. වැඩි වශයෙන් බඩඉරිඟු උක් වැනි ශාකවල සැඟව වාසය කිරීමට ප්‍රිය වීම හේතුවෙන්, මේ වසංගතය දරුණුතම ඛේදවාචකයක් බවට අද වන විට පත්ව තිබේ.

මෙකී වසංගතයට ලක් වූ විට, ඕනෑම බෝගයක මූලිකවම සිදු වනුයේ, පත්‍ර තුළ සුදු පැහැති පැල්ලම් ඇති වීම ය. අනතුරුව දිගින් දිගටම හානි සිදු වේ. සළඹයාගේ ජීවන චක්‍රයට මාසයක් දෙකක් ගත වේ. වසරකට දහ වරක් පමණ ජීවන චක්‍රය සම්පූර්ණ කිරීමේ හැකියාව මොවුනට ඇත. සේනා දළඹුවාට සමානත්වයක් පෙන්නුම් කෙරෙන වෙනත් දළඹු විශේෂ කිහිපයක් ද එළවඵ ආදියේදි අපට දැකගත හැකි ය. ඔවුන් අපට ආගන්තුක සතුන් නොවේ. ස්ටෙබ්වරා ලිවූරා ඉන් එක් දළඹුවකු ලෙස හඳුනගෙන ඇත. ආර්මි වර්ම් ලෙස ද හඳුන්වන මොවුනට, සේනා දළඹුවන් මෙන් මෝස්තර නොමැත. මොවුන් වැඩි වශයෙන් ගෝවා වැනි එළවළු වර්ගවල දැකිය හැකි ය. බොහෝවිට බීට්රූට්වල තවත් වර්ගයක් සිටිනු දැකිය හැකි අතර, ඔවුන් බීට් ආර්මිවර්ම් ලෙස හැදින්වේ.

වගා හානිය

මෙරට බඩඉරිඟු වගාව හෙක්ටයාර් අසූ දහසකි. ඉන් හෙක්ටයාර් හතළිස් අට දහසකට පමණ මේ වනවිට මෙකී හානි සිදුව ඇත. එතරම් හෙක්ටයාර් ප්‍රමාණයකට හානි සිදු වුව ද, එසේ හානි සිදුව ඇති බඩඉරිඟු වගාවල සමස්ත බඩඉරිඟු කරල් සියල්ලට ම මොවුන්ගේ හානිය සිදු වී නැත.

මොවුන් ශාක පත්‍ර කා දැමීම හේතුවෙන්, වගාව තුළ ඉරුණු හා කඩතොලු වූ පත්‍ර බොහෝ සේ දැකිය හැකි ය. තෙත සහිත ලී කුඩු වැනි මළ අපද්‍රව්‍ය මේ වගාවල බහුල ලෙස දැකිය හැකි ය. ළපටි පත්‍රවල ගොබය තුළ කීටයන් ද දැකිය හැකි ය. සාමාන්‍ය බඩඉරිඟු පුරුක් පණුවා මෙන් නොව, සේනා දළඹුවා කරල් තුළට පාර්ශ්විකව ඇතුඵ වී, බීජ කා දමති.

මේ දළඹු වසංගතයට මෙතෙක් ස්ථීර විසැඳුමක් සොයා ගැනීමට හැකියාවක් ලැබි නොමැත. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින්, තාවකාලික ඒකාබද්ධ පාලන ක්‍රම කිහිපයක් හඳුන්වා දී තිබේ. අසාදිත බෝග අවශේෂ පුඵස්සා මුළුමනින් ම විනාශ කිරීම,පසේ සිටින පිලා අවස්ථා විනාශ කිරීම සඳහා වගාවලදී ගැඹුරට සී සෑම මින් ප්‍රධාන විකල්ප ක්‍රියාමාර්ග ලෙස පෙන්වා දේ. එමෙන් ම, ගොවීන් සාමූහිකව නියමිත කන්නයට සී සෑම මඟින් ද මෙය පාලනය කිරීමේ හැකියාව පවතී. හෙක්ටයාරයට ටොන් දහයක් ලෙසින් මේවගාවල පසට කාබනික පොහොර එක් කිරීම ද, මේ සඳහා වන විකල්ප ක්‍රියාමාර්ගයකි. විශේෂයෙන් රසායනික පොහොර යෙදීමේදී, නයිට්‍රජන් පොහොර වැඩි වශයෙන් යෙදීමෙන් වැළකී, නිර්දේශයට ප්‍රමාණයට පමණක් යෙදීම කළ යුතු ය. එමෙන් ම, මේ වගා ක්ෂේත්‍රය අවට වල් පැළ මර්දන කිරිම ද මේ වෙනුවෙන් කළ යුතුව තිබේ. හානිය මුල් අවස්ථාවේදීම හඳුනා ගැනීම සඳහා, වගාව ආරම්භයේ සිටම සතියට දෙවරක් බෝගය පරීක්ෂා කර, පළිබෝධකයාගේ බිත්තර කැදලි හා දළඹු කොටස් එකතු කර විනාශ කිරීම මඟින් ද මෙය යම් දුරට පාලනය කර ගැනීමේ හැකියාව පවතී. වගාව ආරම්භයේදී ම මේ පළිබෝධකයා සඳහා ෆෙරමෝන උගුල් යෙදීම මෙන් ම, සියුම් වැලි, අළු වැනි දෑ හානි කරන ලද බඩඉරිඟු පැළවල ගොබය තුළට දැමීම මඟින් මෙය යම්තාක් දුරට මර්දනය කරගත හැකි ය. කොහොඹ ඇට නිස්සාරකය, ජලය ලීටර් දහයට ග්රෑම් 300-500 ත් අතර ප්‍රමාණයෙන් යෙදිම ද මේ සඳහා වන විකල්පයකි.

සටහන
ඉන්දික පොල්කොටුව


නව අදහස දක්වන්න