වතුකරය ගසාකන කොමිස් කාක්කෝ | දිනමිණ

වතුකරය ගසාකන කොමිස් කාක්කෝ

මේ සමාජයේ තැනක විවාහ වූ සැණින් හැකි විගස දරුවකු බිහිකර ගැනීම එකම අභිප්‍රාය කරගත් අයද සිටින බව ඔබ පිළිගන්නවා ද? අද විවාහ වූ සැණින්ම හෙට දරුවකු ලැබෙනවා නම් ඉතසිතින් පිළිගැනීමට බලාපොරොත්තු වන සමාජයක් ඒක.හැකි ඉක්මනින් දරුවකු බිහිකර ගැනිමේ මේ සිතිවිල්ලට මූලික වෙලා තියෙන්නේ මුදල්.මොකද ඔවුනට දරුවෙක් ලැබුණා කියන්නේ රුපියල් තිස්අටදාහක් එවෙලේම තාත්තාගේ අතේ. දෙවෙනි දරුවා ලැබුණාමත් තවත් තිස් අටදාහක් ආයෙත් ලැබෙනවා. තුන්වෙනි දරුවා ඉපදුනාම එයින් භාගයක් ලැබෙනවා. ඒ කියන්නේ රුපියල් දහනව දාහක්. එතැන සිටන් කොච්චරද දරුවන් හදන්න පුළුවන්, ඒ දරුවා ඉපදුන සැනින් රුපියල් දහනවදාහ ගානේ ලැබෙනවා.

කොහොමද මුදල් ලැබෙන්නේ කියන එක ඔබට මේ වෙනකොට ගැටලුවක් වෙන්න ඇති. නමුත් ඒ දේ සිද්ධ වෙනවා. ඒක අප්‍රසිද්ධියේ සිදුවන දෙයකුත් නෙමේ. ප්‍රසිද්ධ සමාජයේ බොහොම වගකීමෙන් යුතුව සිදුවන දෙයක්.

එහෙත් එම මවට පියාට හිමිවිය යුතු මුදල් එම දෙදෙනාටත් නොදැනීම ලබාගන්නා,උදුරාගන්න සැදී පැහැදී සිටින පිරිසක් ගැන තමයි මෙම හෙළිදරව්ව.

මෙය සිදුවන්නේ මධ්‍යම කඳුකරයේ උඩරට වතුකරයේ වතු ලැයිම් පේළි අස්සේ. මිනිසුන් හැටියට ඉපදුනත් අනුන්ගේ පහනින් එළිය බලාගෙන ජීවත්වෙන්න උත්සාහ කරනවා ඇරෙන්න වත්තෙන් එළියෙ සමාජයේ මිනිස්සු ජීවත්වෙන්න කරන කියන දෑ ඔවුන්ට ඇහෙන්නේ පෙනෙන්නේ නැති තරම්. ඒ නිසාම පිරිසක් තමන් ජීවත්වන වටපිටාවෙන්ම, පරිසරයෙන්ම මේ අමුතු රස්සාව හොයාගෙන,අපේ පිටිසර ගම්මානවල ජීවත්වෙන්න උත්සාහ කරන ‍සමහර අය කියනවා මට හැමදාම කරන්න තියෙන්නේ කොස් පොළොස් ගැට ටිකක් හොයාගෙන පොළට අරගෙන ගිහින් විකුණලා කීයක් හරි හොයාගෙන දරුපැටවුන්ට මොනවහරි අරගෙන ගිහින් කන්න දෙන එක කියල. තව සමහර අය හිතාගෙන ඉන්නව උදේ හවස ගස් බඩගාලා අතුරේ ගිහින් රා මැදලා‍ කීයක් හරි හොයාගෙන ජීවිකාව ගෙනියන එක තමයි ජීවිතේ, ඉන් එහාට තමන්ට කරන්න දෙයක් නෑ කියල.

මේ වෙනකොට රට පුරා පතුරුවාගෙන තියෙන ත්‍රීවිල් රස්සාව, ඒ රස්සාව කරන කෙනාත් නින්දට ගියාම කල්පනා කරන්නේ ඊළඟ දවසේ හයර් දුවන්න ගියාම කීයක් හරි අතට වැඩිපුර ගානක් එන හයර් එකක් වදියිද නැද්ද කියන එක ගැන. එහෙම නැත්නම් මේ මාසේ ගෙවන්න තියෙන ෆිනෑන්ස් වාරිකය ගැන. ඒ ඇරෙන්න වෙනත් අලුත් ලෝකයක් ගැන හිතන්න බැරි විදියට බොහෝ දෙනා තම තමන් තෝරාගත්තු මුල් රැකියාවල හිරවෙලා.හිරවෙලා පමණක් නෙවෙයි,ඒවායින් ගැලවෙලා යන්න බැරි විදියට තමන් තෝරාගත් වෘත්තීන්වල ඇලිලා.

ඒ විදියට එකම රැකියාවේ පාරම්පරිකව අවුරුදු 200ක් නියැළී සිටින පිරිසක් ඉන්නවා කිව්වොත් ඒක ඇත්තක්.ඒ තමයි කන්ද උඩරට තේ වතුවල අදටත් වැඩකරන ඉන්දියන් සම්භවයකින් යුත් දෙමළ ජනතාව.

ඒ පිරිස්වලට එම වතු අස්සෙම පේළි නිවාස හදල දීලා ඒ තුළ පදිංචිකෙරුවේ තේ වත්තේ වැඩට යන එන ඔවුනගේ පහසුවට වගේම වතු පාලකයන්ගේ සේවක පාලන කටයුතුවලත් පහසුවට.

ඔවුන් හැමවිටකම සුදු ජාතිකයින් අතර ඉතා විශ්වාසවන්ත මිනිසුන් පිරිසක් හැටියට ප්‍රචලිත වී තිබුණා.ඒ විශ්වාසය ඔවුන් ක්‍රියාවෙන්ද ඔප්පුකොට තව තවත් විශ්වාසය දිනාගෙන තිබුණ හින්දා ඒ කාලෙ ඉඳලම මෙම වතු ජනතාව වෙනුවෙන් නොයෙකුත් දීමනා ලබාදීමට සුදු ජාතික මහත්වරු පුරුදුවෙලා හිටියා.

ඒ දෙන දෙයක් ගත්ත බහුතරයක් වතු කම්කරුවන් තමන්ට ඊට වැඩි දෙයක් හොයන්න, ඉල්ලන්න උත්සාහ කළේ නෑ. ඒකට ලොකුම හේතුවක් වුණේ ඔවුන් වත්තේ ලොකු මහත්තයට එහෙම නැතිනම් හාම්පුතාලාට තිබුණ අධික ගරු කිරීම. ඒ වගේම ඔවුන් තමන් වෙනුවෙන් හාම්පුතා ඉදිරියේ පෙනී සිටින තලේවාර් දක්වාම විශ්වාස කළ පිරිසක්. ඒ කියන්නේ ඔවුන් හැමදෙනාම පාහේ ඔවුනට ඉහළින් ඉන්න හැම කෙනෙකුම විශ්වාස කළා. ඒ වගේම එකම ලැයිම් පේළියේ එකට ජීවත්වන තමන්ගේ අයත් විශ්වාස කළා.

අතින් ඇල්ලුවාම අත් දෙක පිච්චිලා යන තරමට සීතලක්, හිරිවැටීමක් දැනෙන මල් තුහින වැටිලා අයිස් මිදිල තියෙන දවස්වලටත් ඔවුන් උදේ පාන්දරම නැගිටලා තේ දලු නෙළන්න පෝලිමේ යන්නේ සමහර අයෙකුගේ දෙපාවලට පාවහන් දෙකක්වත් නැතිව. ඒ තරම් දුකට ඔරොත්තු දෙන විදියට ඔවුන්ගේ බොහෝ අවයව හැදී තිබුණා.

ඒ වගේම තමයි ගිනි ගහන අව්ව. ඒ ගිනි ගහන අව්වත් ඔවුන්ට තවත් එක වැස්සක් පමණයි. මොට්ටැක්කිලිය හිස මත දමාගෙන තේ කූඩය පිට මත එල්ලාගෙන සිටින ඒ තේ දලු නෙළන බහුතරයක් ළඳුන්ට පිටස්තර වෙන ලෝකයක් පෙනුණේ නෑ.

උදේ ඉඳන් දවල් වෙනකල් ඔවුන් දැක්කේ රවුමට වැවී තිබෙන තේ පඳුර මතින් උඩට එන්න දඟලන නෙළීමට සුදුසු තේ දල්ල පමණය. දලු ටික දලු මඩුවට කරගහගෙන ගිහින් කිරල දීල හවසට ගියාම කාමරයක් දෙකක් තියෙන ලැයිම් කාමරය ඇතුළට වකුටුවෙලා,රොටියක් පුච්චාගෙන කාලා නිදියන එක තමයි බොහෝ දෙනාගේ දිනචාර්යාව වුණේ.

ඔවුනගේ ඒ කැපවීම වෙනුවෙන් තමයි අදටත් උඩරට තේවතු පාලනය කරන වැවිලි සමාගම්වලින් මේ ජනතාව වෙනුවෙන්ම පමණක් සිදුකරන්නාවූ දීමනාවක් තාමත් එක ලෙසම ගෙවීම සිදුකරන්නේ. ඒ අනුව තමයි අප මුලින් සඳහන් කළ අන්දමට තේ වත්තේ වැඩ කරන කාන්තාවකට කුළුඳුල් දරුවා ලැබුණුවිට එම තේ වත්තෙන් රුපියල් 38000ක මුදල් දීමනාවක් ලැබෙන්නේ.

කලින් කී පරිදි දෙවෙනි දරුවාටත් රුපියල් 38000ක් ලැබෙනව වගේම එතැන් සිට ලැබෙන සෑම දරුවා වෙනුවෙන් පළමු දරුවා වෙනුවෙන් ලබාදුන් දීමනාව වන තිස් අටදාහක මුදලෙන් අඩක්, එනම් රුපියල් දහනවදාහක් ගෙවීමට අදටත් වතු සමාගම් කටයුතු කරනවා.

ඒ වගේම තමයි එම දරුවා වෙනුවෙන් අවුරුද්දක කාලයක් යනතුරු නොමිලයේ කිරිපිටි ලබාදෙනව. අවුරුදු දෙකක් යනතෙක් පාන් පිටි ලබාදෙනවා. එවැනි දේවල් වතු සමාගම්වලින් දෙනකොට වතු අස්සේම තවත් පිරිසක් සිටිනවා වත්තේ ගැබිනි මව්වරුන් දෙසම ඇස ගසාගෙන සිටින. ඔවුන්ට තියෙන්නේ ඒ අනුන්ගේ බිරිය, වත්තේ අසල්වැසි කාන්තාව කොයි වෙලාවෙද දරුවෙක් බිහි කරන්නේ කියන පිපාසාව.

ඒකයි මුලින් කිව්වේ වතු කම්කරු ජනතාව බොහෝ වෙලාවට අවට බලලා තමා වටා තියෙන ලෝකයවත් හඳුනා ගැනීමට, වටහා ගැනීමට උත්සාහ නොකරන බව. ඒ නිසාම ඔවුන් අතරින්ම දැන් කොමිස් කාක්කන් පිරිසක් බිහිවෙලා ඉවරයි. ගැබිනි වතු කාන්තාව විලිරුදාව හැදී රෝහල් ගතකළාට පස්සේ ඇයගේ සැමියාට වඩා මේ ගැබිනි මව ගැන සෙවීමක් බැලීමක් තියෙන්නේ කොමිස් කාක්කාට. දරුවා ලැබුණ ගමන් කොමිස් කාක්කා තාත්තව ඇදගෙන දුවන්නේ තේ වත්තේ කාර්යාලයට. ඒ දරුවා වෙනුවෙන් නියමිත දීමනාව අරගෙන දෙන්න උදව් කිරීමට.

තමන් ඉපදුනදා සිට ජීවත්වෙන වත්තේ කාර්යාලයට ගිහින් කතා කරලා වැඩක් කරවා ගන්න පවා ඔවුන් ඒ වත්තෙම තවත් කෙනෙකුගේ සහය පතන තත්ත්වයට පත්වෙලා ඉන්නේ. එනම් වත්තේ තලේවාර් කෙනෙක් එහෙම නැතිනම් මේ කියන කොමිස් කාක්කෙක් ඔවුනට නැතිවම බෑ.

ඒ තිස් අටදාහක මුදල අතට ගත්ත ගමන් කාක්කා දරුවගේ තාත්තව එක්කගෙන යන්නේ තාමත් රෝහලේ ඉන්න මව බැලීමටවත් නෙමෙයි. නගරයට, සුරා පොළකට. එතනට ගිහින් එම මුදලෙන් කොටසක් දියකර හරිනවා.

ඉන්පස්සේ ඉතිරි මුදලෙන් තවත් කීයක්හරි වතු කාර්යාලයෙන් සල්ලි අරගෙන දීමේ ක්‍රියාවලිය වෙනුවෙන් මහන්සිය හැටියට කොමිස් කාක්කාට දිය යුතුයි. සමහර වෙලාවට මෙම මුදල රුපියල් දෙතුන්දහසක අවමයේ සිට පන්දහස ද ඉක්මවා යනවා.

ඒ මොහොත වනවිට සල්ලි‍ අතේ තියාගෙන තාත්තාගේ මත් ගතියේ ප්‍රමාණය හා කොමිස් කාක්කාගේ කතාවේ දක්ෂතාවය අනුව තමයි එම මුදල තීරණය වන්නේ කියන එක තමයි ඇත්ත.

මෙය මේ වනවිට වතුකරයේ බොහෝ තැන්වල අදත් සිදුවන දෙයක්. තමන්ට ලැබුණ තම දරුපැටියා වෙනුවෙන් වත්තේ මහත්තුරු ඒ කාලෙ ඉඳලම මෙවැනි දීමනාවක් දෙන්නේ ඇයි කියන දේවත් සිතන්නෙ නැතිව හෙට දවසේත් දරුවකු ලැබුණ පසු වත්තෙන් නිකම් දෙන මුදල ලබාගැනීමට වතු තාත්තලා මේ කොමිස් කාක්කන්ගේ පිහිට ‍පතනු ඇති.

සී.මහගම-නුවරඑළිය සමූහ

නව අදහස දක්වන්න