වතු කම්කරු වැටුප රු.200කින් ඉහළට | දිනමිණ

වතු කම්කරු වැටුප රු.200කින් ඉහළට

අනුර ප්‍රේමලාල්

වතු කම්කරුවන්ගේ මූලික වැටුප රුපියල් දෙසීයකින් වැඩිකිරීමට වතු හාම්පුතුන් එකඟවූ බව කම්කරු හා වෘත්තීය සමිති සබඳතා ඇමැති රවීන්ද්‍ර සමරවීර මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව සඳහන් කළේ ඊයේ(25) කම්කරු අමත්‍යාංශය හා වතු හාම්පුතුන් අතර පැවැති සාකච්ඡාවෙන් පසු මාධ්‍ය වෙත කරුණු දක්වමින්ය. එහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ ඇමැතිවරයා මෙසේද කීය...

වතුකම්කරුවන්ගේ මූලික වැටුප රුපියල් දෙසීයකින් වැඩිවීමත් සමඟ වතුසේවකයකුගේ මූලික වැටුප රුපියල් හත්සීයක් වෙනවා. ඊට අමතරව රුපියල් පනහක ස්ථාවර දීමනාවක් ද, සේවක අර්ථසාධක අරමුදල් ද ඇතුළුව එක් සේවකයකුට දෛනික වැටුප රුපියල් අටසිය පනස්පහක් පමණ වෙනවා. දිනකට වැඩියෙන් කඩන තේ දළු කිලෝ එකකට මෙතෙක් ලබාදුන් රුපියල් විසිපහක දීමනාව දැන් රුපියල් හතළිහ දක්වා වැඩිකර තියෙනවා.

මෙහිදී වෘත්තීය සමිතිවල ඉල්ලීමකට අනුව සියලු වතු සේවකයන්ගේ ප්‍රමාද හිඟ වැටුප් ගෙවීම සඳහා රුපියල් මිලියන එකසිය පනහක මුදලක් රජය ලබා දී තියෙනවා. එහිදී රුපියල් මිලියන සීයක් ප්‍රදානයක් ලෙසද අනෙක් රුපියල් මිලියන පනහ ණයක් ලෙසද ලබාදීමට තීරණය කර තියෙනවා. මේ සඳහා වතු හාම්පුතුන් සහ වෘත්තීය සමිති සාමූහික ගිවිසුම් අත්සන් කිරීම ලබන සඳුදා(28) සිදුකරනවා.

මෙම වැටුප් වැඩිවීම වැදගත් වන්නේ එම සේවකයන්ට සේවක අර්ථසාධක අරමුදල් ප්‍රතිලාභය, පාරිතෝෂික දීමනා ද වැඩිවීමයි.

නව අදහස දක්වන්න