වතු සේවක වැටුප් වැඩි නොවුණොත් අධිකරණයට | දිනමිණ

වතු සේවක වැටුප් වැඩි නොවුණොත් අධිකරණයට

අනුර ප්‍රේමලාල්

වතු සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමේ සාමුහික ගිවිසුම සංශෝධනය කරන්නැයි ඉල්ලා ඉදිරියේදි අධිකරණයට යන බව ඒකාබද්ධ වතු වෘත්තීය සමිති සමුළුවේ මහලේකම් එස්. රාමනාදන් මහතා ප්‍රකාශ කරයි.

රාමනාදන් මහතා මේ බව සඳහන් කළේ ඊයේ (29) ‘දිනමිණ‘ සිදු කළ විමසුමකදීය. එහිදි වැඩිදුරටත් කතා කළ රාමනාදන් මහතා මෙසේද කීය. අත්සන් කළ සාමුහික ගිවිසුමෙන් ඵලදායිතා දීමනාව රුපියල් එකසිය හතළිහ හා පැමීණීමේ ප්‍රතිශතය 75%ක් දක්වා නම් ලබාදෙන රුපියල් හැටක දීමනාව මේ ගිවිසුමෙන් ඉවත් කර තිබීම සේවකයින්ට අසාධාරණයක්. ඒ නිසා මෙම ගිවිසුම අත්සන් කරන්න බලය හිමි වෘත්තීය සමිති තුනෙන් එකක් වන ඒකාබද්ධ වතු වෘත්තීය සමිති සමුළුව ඊට එක් වුණේ නැහැ.

මෙවර සාමුහික ගිවිසුම නීත්‍යානුකූලව ක්‍රියාත්මක වෙන්නේ 2019 ජනවාරි මාසයේ (28) සිට බව කිව්වත් එය වැරදියි. වැඩිපුර කඩන තේ දලු කිලෝ ගණනට ලබා දෙන මුදල වැඩි කරනවා කිව්වට එහිදි වැඩ පරීක්ෂකවරු අතින් වංචාසිදුවන බව අප නිරන්තරයෙන් පෙන්වා දුන්නා. අනෙක දිනකට කඩන තේ දලු ප්‍රමාණය වත්තෙන් වත්තට වෙනස්. ඒ සම්බන්ධයෙන් 2003දී අත්සන් කළ ගිවිසුමේ වතු වෘත්තිය සමිති නායකයින් හා වැඩපරීක්ෂකවරු ගෙන් සමන්විත කමිටුව සති දෙකෙන් දෙකට හමු වී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ යුතු යැයි තිබෙනවා. වතු කම්කරුවන්ට ආගමික උත්සවයට යන්න බැහැ. ඒකටත් නිවාඩු කපනවා. වර්තමානයේ වතු කම්කරුවන්ට මෙවැනි අසාධාරණකම් රැසකට මුහුණ දෙන්න සිදු වෙලා. මේවා පිළිබඳ අදාළ පාර්ශ්ව දැනුම්වත් කිරීමට අපේ වෘත්තීය සමිතිය කටයුතු කර තියෙනවා.

මෙවර සාමුහික ගිවිසුම අත්සන් කිරීම සඳහා ලංකා කම්කරු කොංග්‍රසය හා ජාතික වතු කම්කරු සංගමය සහභාගි වුණා. ඒකාබද්ධ වතු වෘත්තීය සමිති සමුළුවට අයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ලංකා සමසමාජ පක්ෂය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂවලට සම්බන්ධ වතු වෘත්තීය සමිති ඇතුළු වතු වෘත්තීය සමිති දහයක නායකයින් මේ ගැන තීරණයක් ගැනීම සඳහා සාකච්ඡා කොට ඉදිරි වැඩකටයුතු කිරීමේ බලය මට පවරා තිබෙනවා. අපි මේ ගැන මුලින්ම ඉල්ලීමක් කර විසඳා ගන්න බැරි වුණොත් අධිකරණයට යන්න සිදු වෙනවා.

නව අදහස දක්වන්න